2018 මාර්තු 10 වන සෙනසුරාදා

‍චොකලට් ස්නැක් බෙදූ බොලිවුඩයේ ඔස්කාර්

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 120

මාර්තු සිව්වැනිදා රාත්‍රිය හොලිවුඩයට විශේෂ, එමෙන්ම චමත්කාරජනක රාත්‍රියක් වූයේය. ත්‍රාසජනක, රෝමාන්තික, සිනා සරදමින් පිරුණු තාරකා අහස් තලයෙන් වේදිකාවට ගොඩවී උන්හ. නෙක රූ රටා මැවූ වස්ත්‍රාභරණයෙන් සැරසී හුන් මේ තාරකාවෝ හොලිවුඩයේ මහා මංගල්‍යය ශෝභාමත් කළේ, මේ තරු දෙස දෑස් අයා බලාසිටිනා ලෝකවාසී සියලුදෙනාගේ සිත් සතුටින් පුරවාලමිනි. මේ රාත්‍රිය වූ කලී අනූවැනි ඇකඩමි සම්මාන උළෙලයි. කවුරුත් දන්නා ඔස්කාර් සම්මාන රාත්‍රියයි. 

මෙවරත් ඔස්කාර් සම්මාන රැයේ ප්‍රධාන නිවේදකයා වූයේ ගියවර එම කාරිය ඉටුකළ ජීමී කිමෙල්ය. විනෝදකාමී රූපවාහිනී නිවේදකයෙකු ලෙස ඉහළ ජනප්‍රියත්වයක් අත්කරගෙන සිටින ජිමී ගිය වතාවට වඩා ඉතා උසස් අන්දමින් මෙවර තම කාරිය අකුරටම ඉටුකළ බව සිනමා විචාරකයන්ගේ අදහස වී තිබේ. 

තම කටහඬ මනාව ගලපමින්, දෙපිට කැපෙන විහිළු කරමින් ජීමී වේදිකාව තම අණසක යටතට ගත්තේ තාරකාවලින් සුසැදි ප්‍රේක්ෂකාගාරය ද අවස්ථානුකූලව තම කතාබහට එකතු කරගනිමිනි. 

තවත් අපූරු අංගයක් වූයේ සම්මාන උත්සවය අතරතුර ඒ සඳහා පැමිණ හුන් තාරකා කිහිපයක් සමඟින් අසල පිහිටි සිනමා ශාලාවකට ගොඩවැදී එහි සිටි සිනමා රසිකයින් හා කාලය ගත කිරීමට ද ජීමී කිමෙල් කටයුතු කිරීමය. අපි හැමෝම අද මෙතැන මේ වේදිකාව මත ඉන්නේ අපේ රසිකයෝ නිසායි. කවුද එන්නේ මාත් එක්ක රසිකයෝ හම්බවෙන්න යන්න? ඔහු ඔස්කාර් වේදිකාවේ සිට විමසීය. 

වොන්ඩර් වුමන් චිත්‍රපටය හරහා සුපිරි තරුවක් වූ ගැල් ගැඩොට් ඇතුළු සුපිරි තාරකාවන් කිහිපදෙනෙකුම ජීමී සමඟ එක්වූහ. ඔවුහු අසල තිබූ සිනමා ශාලාවකට ගොඩවැදී ඒ තුළ චිත්‍රපටයක් නරඹමින් හුන් ප්‍රේක්ෂකයන් පුදුමයෙන් පුදුමයට පත් කළහ. ඔවුන්ට චොක්ලට් සහ ස්නැක් වර්ග ද බෙදා දුන්හ. 

මේ ආකාරයේ අපූරු සිද්ධි රැසක් මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී දකින්නට ලැබුණි. අමෙරිකානු ABC රූපවාහිනිය ඔස්කාර් රැය ලොව පුරා විකාශය කළ අතර එය මිලියන 26.5ක ජනතාවක් සජීවීව නැරඹූ බව ද දැනගන්නට තිබේ. 
අනූ වැනි ඔස්කාර් රාත්‍රියේදී හොඳම සිනමාපටය ලෙස පිදුම් ලැබුවේ ගිලමෝ ඩෙල් ටෝරෝ අධ්‍යක්ෂණය කළ The Shape of Water චිත්‍රපටයයි. මේ වෙනුවෙන් ඔහුට හොඳම අධ්‍යක්ෂණයට හිමි ඔස්කාර් සම්මානය ද හිමි විය. හොඳම නළුවා බවට පත්වූයේ Darkest Hour හි රංගනය වෙනුවෙන් ගැරී ඕල්මන්ය.  Three Billboards Outside Ebbing, Missouri සිනමාපටයේ රඟපෑ ෆ්‍රැන්සස් මැක්ඩෝමන් හොඳම නිළිය සම්මාන දිනාගත්තාය. 

දෙපිට කැපෙන විහිළු එක්ක ජිමී හැම තරුවක්ම හිනාගස්සවයි

සම්මාන හතරක් සමඟින් වැඩිම සම්මානලාභී චිත්‍රපටය බවට The Shape of Water පත්වූ අතර Dunkirk සම්මාන තුනක්, Blade Runner 2049, Coco, Darkest Hour, and Three Billboards Outside Ebbing, Missouri සම්මාන දෙක බැගින් හා I, Tonya, Get Out, Call Me by Your Name, A Fantastic Woman, Icarus, Phantom Thread, Heaven Is a Traffic Jam on the 405, The Silent Child, Dear Basketball යන චිත්‍රපට සම්මාන එක බැගින් දිනාගැන්මට සමත් විය. 

සම්මාන උළෙලේ සමාප්තිය සටහන් වූයේද තවත් අපූරු තෑග්ගක් පිරිනමමිනි. ඒ තවත් සම්මානයක් නොව රළ මත පැද යා හැකි ජෙට් ස්කී යාත්‍රාවකි. සම්මාන උළෙල ආරම්භයේදීම ජීමී කීවේ වේදිකාව මත අඩුම වේලාවක් කතා කරන ඔස්කාර් සම්මානලාභියාට මෙම ජෙට් ස්කී තෑග්ග දෙන බවය. එහි අරමුණ වූයේ ඔස්කාර් රාත්‍රිය සම්මාන කතාවලින් දිගුවීම වළක්වාගන්නටය. ඒ අනුව තත්ත්පර 36 ක් පමණක් වේදිකාව මත වැය කළ හොඳම ඇඳුම් නිර්මාණ ශිල්පියාට හිමි ඔස්කාර් සම්මානය දිනාගත් මාක් බ්‍රිජර්ස් මේ අපූරු තෑග්ගට ද හිමිකම් කීවේය. 

 

► Text — Rajitha