පබෝධා... මේ දවස්වල මොනවද කරන අලුත් වැඩ එහෙම...?
මේ දවස්වල රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කරන තරංග දිසානායක රචනා කරපු රැජිනියෝ ටෙලිනාට්‍යයෙත් සනත් අබේසේකර අධ්‍යක්ෂණය කරන උරුමයක අරගලය කියන ටෙලිනාට්‍යයෙත් රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඊට අමතරව අධිරජ ධර්මාශෝක නාට්‍යයේ දේවි හඬ කැවීම්වලටත් මම සහභාගී වෙනවා.
රැජිනියෝ ටෙලිනාට්‍යයෙත්, උරුමයක අරගලය ටෙලිනාට්‍යයෙත් චරිත දෙක එකිනෙකට වෙනස් චරිත නේද...?
ඔව්... ඇත්තටම ඒක එකිනෙකට වෙනස් තමයි. රැජිනියෝ ටෙලිනාට්‍යයේ මම රඟපාන්නේ පික්පොකට් ගහන අම්මා කෙනෙක්ගේ චරිතයක්. ඒ උරුමයක අරගලය ටෙලිනාට්‍යයේ රජ කාලයේදී දිවෙන චරිතයක්.
පබෝධා ඒ වගේ චරිතයක් කරන පළමුවෙනි අවස්ථාව මේක නේද...?
ඔව්... මීට පෙර ඒ වගේ චරිතයක් නම් කරලා තිබුණේ නැහැ. ඒ චරිතය ඇත්තටම මට අභියෝගයක් වුණා. ඒ නාට්‍යයේ ඒ කතා කරන දෙබස්වල වචන පවා මට නුහුරුයි. ඒ වචන වෙනස්. මුලින් පොඩ්ඩක් අපහසු වුණා. හැබැයි ඒකට සනත් අයියා වගේම ශ්‍රියන්ත අයියා මට ගොඩාක් උදවු කළා. ඒනිසා ඒ අයගේ සහයෝගයෙන් ඒ වචන උච්චාරණය කරන්න මට පහසු වුණා. දැන් නම් ඒ දේවල් මට ටිකක් හුරුයි.
කාලයක් පබෝධා නිර්මාණ කටයුතුවල දකින්න ලැබුණේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව වුණේ පුංචි පුතාද...?
ඔව්... ඒකට ලොකුම හේතුව වුණේ පුංචි පුතා තමයි. නිර්මාණවලට අවුරුදු දෙකහමාරක් විතර මම සම්බන්ධ වුණේ නැහැ. පුංචි පුතා ලැබෙන්න හිටපු කාල වකවානුවයි, පුතාට අවුරුද්දයි මාස දහයක් වගේ කාලයක් වෙනතුරුත් සම්බන්ධ වුණේ නැහැ. මුලින්ම ගින්දරී ෆිල්ම් එකට තමයි මට ආරාධනා ලැබුණේ. ඒ අතර තවත් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. හැබැයි සමහර නිර්මාණ බාරගත්තේ නැහැ. මට තේරුණු දෙයක් තමයි මුලින්ම මම මගේ ජීවිතේට මුල්තැන දෙන්න ඕනේ කියලා. පුතාට මාව ඕනේම කාලයේදී මම එයා ළඟ ඉන්න ඕනේ. ඒනිසා ඒ කාලෙදී ලැබුණු නිර්මාණ මම බාරගත්තේ නැහැ. අවුරුදු දෙකක් කියන්නෙත් එච්චර කාලයක් නෙමෙයිනේ. දැන් ඉතින් ආයෙත් පොඩ්ඩ පොඩ්ඩ නිර්මාණවලට මගේ දායකත්වය ලබලා දෙනවා.
දැන් පුංචි පුතා ළදරු පාසල් අධ්‍යාපනය ලබනවා නේද...?
ඔව්... දැන් ඒයා මොන්ටිසෝරි යනවා... දැන් පුංචි පුතාට වයස අවුරුදු හතරහමාරයි. දැන් නම් එයා ටික ටික දඟ වේගෙන තමයි එන්නේ. ඒ නිසා දැන් අපිටත් වැඩ වැඩියි. එයා ලොකු වෙද්දී මම නම් හිතුවේ අපිට වැඩ අඩුවෙයි කියලා. හැබැයි දැන් තමයි වැඩ වැඩිවෙන්නේ. පුතා හරි ආසයි චිත්‍ර අඳින්න. එයා පාට කරන්න හරි ආසයි. ඒ හැරුණාම එයා අපිත් එක්ක සෙල්ලම් කරන්නත් හරි ආසයි. ඉතින් ගෙදර ඉන්න වෙලාවට එයා එක්ක අපි සෙල්ලම් කරනවා නම් ඊට වඩා දෙයක් එයාට නැහැ. එයා සමහර වෙලාවට මම ඉන්න නාට්‍ය එහෙමත් පුටුවට වෙලා බලනවා. මම ගෙදර ඉඳිද්දී ඒ දේවල් බලලා අන්න අම්මී කියලා කියනවා.
කොහොමද සිදත්ගෙන් ඔයාගේ වැඩවලට ලැබෙන සහයෝගය...?
සිදත්ගෙන් ලොකු සහයෝගයක් මට ලැබෙනවා. මම ෂූටිං හරි හඬ කැවීම්වලට හරි ගියාම පුතාගේ වැඩ අම්මලා එක්ක එකතුවෙලා කරන්නේ එයා තමයි. කොහොමත් මම වැඩි කාලවේලාවක් ෂූටිංවලටම වෙන් කරන්නේ නම් නැහැ. කොහොමටත් සිදත්ට මේ ෆීල්ඩ්එක ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ෂූටිං ගියාම නිදහසේ ඒ දේවල් කරලා එන්න මට පුළුවන්.
ඇයි මේ දවස්වල කොට්ටාවේ පාර පුරා දුවන්නේ...?
කොට්ටාවේ...? ආ... ඒ මේ රැජිනියෝ ටෙලිනාට්‍යයටනේ. කොහොමටත් පික්පොකට් ගහලා දුවන්නනේ තියෙන්නේ. ඉතින් මගේ වැඩේම කොට්ටාව පාර පුරා දුවන එකම තමයි සමහර දවස්වල පාරේ මිනිස්සුත් කලබල වෙනවා. එකපාරටම ගෑනු කෙනෙක් පාර පුරා දුවගෙන යද්දී. අනික වාහන අතරින් දුවන එකත් ලේසි නැහැ. ඒකත් එක අභියෝගයක් තමයි. හැබැයි ඉතින් රැජිනියෝ කියන්නේ මම හරිම ආසාවෙන් කරන නිර්මාණයක්.
මොනවද පබෝධා තියෙන බලාපොරොත්තු...?
තියෙන ලොකුම බලාපොරොත්තුව අපේ පුතාට හොඳට උගන්වන එකයි. නිර්මාණ පැත්තෙන් හොඳ නිර්මාණවලට දායකවෙන්න ආසයි. ඒකට මේ කාලයේදී ලොකුවට කැපවෙන්න පොඩ්ඩක් බැරිවෙලා තියෙනවා. හැබැයි හොඳ වැඩවලට සම්බන්ධවෙලා ඉස්සර කළා වගේ හොඳ නිර්මාණවලට දායකවෙන්න ආසයි. තාමත් මිනිස්සුන්ට ගින්දරී, බහුභූතයෝ වගේම පබළු ටෙලිනාට්‍ය එහෙමත් හොඳට මතකයි. ඉතින් ඒ වගේ හොඳ නිර්මාණවලට දායක වෙන්න ආසයි. මම ආසයි එකිනෙකට වෙනස් වුණු නිර්මාණවලට මගේ දායකත්වය ලබාදෙන්න.
Text -Dishani / Pic - Internet