2018 මාර්තු 17 වන සෙනසුරාදා

මගේ පෑන‍ෙන් නා‍ෙලියූ ද‍ෙයක් නෑ

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 168

පුවත්පත් කලාවේදියෙක්, ගීත රචකයෙක්, කවියෙක් මෙන්ම නවකතාකරුවෙක් වශයෙන් නමක් දිනූ ධර්මරත්න පෙරේරාගේ නවතම ගී කාව්‍ය වර්ණනා කෘතිය ලිහිණින් රෑන දොරට වැඩීම 23 වැනිදා සවස 4ට  ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙනවා. මේ කතාබහ ඒ පිළිබඳවයි.

ලිහණින් රෑන කියන්නේ මොකද්ද?
ඇත්තටම මම හැදුවේ ගීත පොතක් කරන්න. මගේ මිත්‍රයෝ දෙන්නෙක් තමයි මේ අදහස දුන්නේ. ඒ අය කීවා මම ලියපු ජනප්‍රිය ගීත ගැන විචාරක මතය ඔවුන් ලවාම ඉදිරිපත් කළානම් වටිනවා කියලා. ඒ විදිහට පොත නිර්මාණය කළා. ඒ අතරට මගේ පුවත්පත් කලා ජීවිතය ගැනත් තොරතුරැ ඇතුළත් වෙනවා.

පුවත්පත් කලා ජීවිතය ගැන මතක් කළොත්?
මුලින්ම මගේ කවියක් වනිතා විත්ති පුවත්පතේ පළ වුණේ 1969 වර්ෂයේදී. පස්සේ යොවුන් වනිතා, කුමරි, රන්ලිය, පෙරමුණ ජාතික පුවත්පතේ තිළිණ අතිරේකය රැජින, දිවයින, නවලිය පත්තරවල විශේෂාංග ලේඛකයෙක් විදිහටත් කුමරි සහ රන්ලිය පුවත්පතේ කර්තෘවරයා විදිහටත් සේවය කළා. මේ විදිහට අවුරුදු 33ක් පුවත්පත් කලා ජීවිතය ගත කළා. 

ඔබ කොහොමද  පත්තරකාරයෙක් වුණේ?
මුලින්ම මම සිනමාවට ආදරය කළා. ඒ නිසා කලාපොළ සිනමා පාඨමාලාව හැදෑරුවා. ඔය අතර මම කවි ලිව්වා. සමහර කවි පත්තරවලට තැපැල් කළා. මුල්ම කවිය වනිතා විත්ති පත්තරේ පළවුණා. ඊට පස්සේ චින්තන ජයසේන මහතාගේ විලාසිතා සඟරාවට කවි ලීවා. දවසක් ප්‍රවීණ පුවත්පත් කලාවේදී ධර්මසිරි ගමගේ මහතාගෙන් මගේ නමට තැපැල්පතක් ලැබුණා. ධර්මරත්න ලේක් හවුස් එකට පැමිණ මා හමුවන්න කියලා ඒකේ තිබුණා. මම එතුමා දන්නෙත් නෑ. දැකලත් නෑ. මම එවේලෙම ගිහින් හමුවුණා. යොවුන් ජනතා පුවත්පතට මම ලියපු කවි දැකලයි එතුමා මට කතා කරලා තිබුණේ. පස්සේ යොවුන් ජනතා පත්තරේ කවි පිටුවට කවි තෝරන්න මට අවස්ථාව ලැබුණා.

ගීත රචනාවට යොමු වුණේ කොහොමද?
ඉස්සර මම ලියන කවි එකතුවක් ළඟ තිබුණා. කාටවත් පෙන්නලවත් නෑ. කුමරි  පත්තරේ ඉද්දී ප්‍රණීත් අභයසුන්දර මගේ මිතුරෙක්. ඔහු මේ කවි දැකලා කීවා ධර්මේ මේ කවි නෙවේ ගීත කියලා. ඒක මුලින්ම හඳුනාගත්තේ ඔහු තමා. පස්සේ ඔහුම මාව එක්ක ගියා අනිල් මිහිරිපැන්න සර් ළඟට. එතනදී පළවෙනි සින්දුවට මෙලඩියක් දාලා කරලා එඩ්වඩ් ජයකොඩි මහත්තයා සින්දුව කීවා. ඒ 1981 අවුරුද්දේදී. ඉන් පස්සේ ජනප්‍රිය ගීත රැසක් ලියලා තියෙනවා. මේ වෙද්දී ගීත 350ක් විතර ලියලා තියෙනවා. ගොඩක්ම කැසට්පට ගීත. ඊට අමතරව ටෙලිනාට්‍ය තේමා ගීත ලියලා තියෙනවා.

නවකතා සහ අනිත් පොත් පිළිබඳව කියනවනම්?
තොටුපළ අද්දර මගේ මුල්ම නවකතාව. අන්තිම දා රෑ නමින් කෙටිකතා සංග්‍රහයක් පළ කළා. පස්සේ 2002 අවුරුද්දේ කිංකිණි ප්‍රකාශන ආයතනය ආරම්භ කළා. එතනදී අපේ කාලේ නාරිලතා නවකතාව කළා. වට වන්දනාවේ ගියදා අපෙ අම්මා කවි සංග්‍රහය පළ කළා. නිල්වන ලන්දේ ගීත සංග්‍රහය පළ කළා. සංසාරේ එක මොහොතක් නවකතාව සහ හැඩකාර කවිකාරී නවකතා පළ කළා. 2016 වසරේදී සුන්දර සනධ්‍යාව කාව්‍ය සංග්‍රහය පළ කළා.

අලුත්ම පොත තමයි ලිහිණින් රෑන?
ඔව්. මෙතන තියෙන්නේ මම ලියපු ජනප්‍රිය ගීත පිළිබඳ විචාරක මතය දැක්වීමක්. මේ ක්‍රමය වෙනත් ගීත පොත්වලට වඩා වෙනස්. මේ පොත සංස්කරණය කළේ මගේ දුව කිංකිණී මේධාවිනී සහ තාරකා අතාවුදහෙට්ටි.

ලිහිණින් රෑන එළිදැක්වීම ගැන කීවොත්?
23 වැනි සිකුරාදා සවස 4ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනවා. ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර සහ එඩ්වඩ් ජයකොඩි මහත්වරුන් දේශනා දෙකක් සිදු කරනවා. ඒ වගේම සනත් නන්දසිරි, එඩ්වඩ් ජයකොඩි, ප්‍රියා සූරියසේන, චරිතා ප්‍රියදර්ශනී පීරිස්, සමිතා මුදුන්කොටුව, ලක්ෂ්මන් හේවාවිතාරණ, චන්දන ලියනආරච්චි, මල්කාන්ති නන්දසිරි, නාමල් උඩුගම සහ කීර්ති පැස්කුවල් යන පිරිස් සහභාගී වෙලා මහින්ද බණ්ඩාරගේ සංගීතයට ගීත ගායනා කරනවා. ඒ වගේම මේ අවස්ථාව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි විසින් මෙහෙයවනවා.

නුඹෙ සුවඳ රැඳුණ පුංචි කාමරේ
රතු රෝස මලක පෙති හැලී තියේ
මට නපුරු වුනේ ඇයි දයාවියේ
මේ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ.....

ඇතුළු ගීත 150කට ආසන්න සංඛ්‍යාවක් ඔහු ලියා තියෙනවා. 
ලිහිණින් රූන පියා සලන්නේ - මන්දාරම් වැහි පොද වැටෙන්නේ
රුක්මල් හැන්දෑවේ පිපෙන්නේ - සිහිනෙන් වත් නුඹ නෑ පෙනෙන්නේ....

වැනි ලාංකික ගීත ශ්‍රාවක රසික පරපුර අදටත් වින්දනාත්මකව ශ්‍රවනය කරන ගීත ඒ ගී සංකලනයේ අන්තර්ගතයි. ගුණදාස කපුගේ, අල්හාජ් මොහිදීන් බෙග්, සනත් නන්දසිරි, එච්.ආර්. ජෝතිපාල, එඩ්වඩ් ජයකොඩි, ලතා වල්පොල, වික්ටර් රත්නායක, අමරසිරි පීරිස්, විජය කුමාරණතුංග වැනි ලාංකික ගායන ක්ෂේත්‍රයේ සිටි සහ සිටිනා ප්‍රවීණයන්ට වගේම නව පරපුරේ ශෂිකා නිසංසලා වැනි ගායිකාවන්ටත් ඔහු ගී පද පබැඳුවා.
ලතා මඬුල්ල නමින් 1981 එළිදුටු කැසට් පටයට තමා ඔහු කැසට් පටයක් සඳහා ලියූ මුල්ම ගීය ලීවේ. ඒ සරත් දසනායක සංගීතය නිර්මාණය කළ ටී.එම්. ජයරත්න ගයන සුදු රෝස කැලෑවේ... අපේ හැඟුම් මුලාවේ කියන ජනප්‍රිය ගීතය. ධර්මරත්න පෙරේරාගේ පෑනින් නොලියූ දෙයක් නැති තරම්.

සාහිත්‍යයේ සියලු කඩඉම් ඔහු සොයා ගියා. නවකතා, කවි, සින්දු මේ සියල්ල අතර ඔහුගේ සාහිත්‍ය සුවිසැරියේ සලකුණු හමුවෙනවා. මේ සියල්ල අතරේ ඔහු පත්තර කලාවටත් පෙම්කළ පුවත්පත් කලාවේදියෙක්.
ලිහිණින් රෑන පියාඹගෙන එන්න හදන වෙලාවේ අපේ පත්තර පිටුවක ඉඩක් ඒ ලිහිණින් රෑන ගැන කියන්න අපි වෙන්කළේ ඒ නිසයි.

► Text & Pic –Samantha