ආරෝග්‍යා පරමා ලාභා
සන්තුෂ්ඨි පරමං ධනං
විශ්වාසං පරමා ඥාති
නිබ්බානං පරමං සුඛං
ඒ බුදු බණ පද කොයිතරම්නම් ඇත්තක්ද කියලා හිතෙන්නේ මේ සමාජයේ කටුක නීරස අත්දැකීම් අඩුවක් නැතුව විඳිද්දී. ලෙඩක් දුකක් හැදුනම එහෙම මොහොතක කාත් කවුරුත් නැතුව අසරණ වෙන කෙනකුට දැනෙන ශාරීරික වේදනාවත් යටපත් කරගෙන දැනෙන මානසික වේදනාව අකුරු බවට පත්කරන්න අමාරුයි. තමන්ගේ ජීවිතය වටා බැඳීම් පිරුණු කවදාවත් තනිකම අත්දැකීමක් විදිහට විඳලා නැති කෙනකුට මම මේ කියන දේ සමහරවිට තේරෙන එකක් නෑ. තමන්ගේ කියලා පවුලක් පිටස්තර බැඳීම් ඔස්සේ හෝ ගොඩනගාගත්ත කෙනකුට ඒතරම් තේරෙන එකකුත් නෑ.
ඒත් තමන්ට තමන් විතරක්ම වුණු ජීවිත හිමි අයට තනිකම කාත්කවුරුත් නෑ කියන හැඟීම විසින් ජනිත කරන මොකක්දෝ මානසික වේදනාවක් ජීවිතේ සමහර තත්ත්පරවල දැනෙනවා. ඒක මම හිතන්නේ අත්දැකීමෙන්ම විඳින්න ඕන හරිම රුදුරු, කටුක හැඟීමක්. සතුට.. මට හිතෙනවා ලැබුණත් නොලැබුණත් මිනිස්සු ජීවිතයේ සියල්ල කරන්නේ සතුට අපේක්ෂාවෙන්. ඒත් බොහෝ දේ අවසානයේ මිනිසුන් නොලබන්නෙත් නොවිඳින්නේත් සතුට. අපි ලෝකය අල්ලන හීන වෙනුවට අපේ ලෝකය සතුටින් පුරවන හීන දකින්න උත්සාහ කරනවානම් සතුට අපිට හුඟක් දුර නෑ. හුඟක් මිනිස්සු දෙයක වටිනාකම දකින්නේ එය අත්පත් කරගන්නතුරු පමණයි. අත්පත් කරගත් දෙයෙහි වටිනාකම බොහෝවිට ඉතාමත් කෙටි කාලයකින් මිනිසුන් කෙරෙන් දුරස් වී යනවා.
ඒත් ආදරය යාවත්කාලීන වෙන හැඟීමක් බවට පත්කරගන්න පුළුවන්නම් හැම මොහොතකම නොලැබෙන දෙයට ආදරය කිරීම වෙනුවට ලැබෙන දෙයින් තුටු විය හැකි මානසිකත්වයක් අපිට අපි තුළ ඇති කරගන්න පුළුවන්නම් සතුට, සැහැල්ලුව උත්පාදනය කරන මාර්ගයක් බවට එය නිරායාසයෙන්ම පත්වෙනවා. පොළොවේ ඉඳන් අහසට පයින් ගහන්න එපා. ඒත් පොළොවේ පය ගහලා ඉඳන් අහස අත්පත් කරගන්න උත්සාහ කරන්න. ඔබට ජයග්‍රාහකයකු වීමේ මාර්ගය එතන තියෙන්න පුළුවන්.
විශ්වාසය.. මම හිතන්නේ එය ජීවත්වීමේදී පුදුමාකාර ප්‍රබල ආධාරකයක්. ඒත් අපිට තව කෙනකුගෙන් එය බලාපොරොත්තු විය හැක්කේ කෙසේද යන්න ප්‍රශ්නාර්ථයක්. මොහොතක් ගාෙණ් මිනිස්සුන්ගේ හිත් සිතුවිලි වෙනස් වෙනවා. ඒත් ඔයා උත්සාහ ගන්න හැම මොහොතකම තවත් කෙනකුට විශ්වාසවන්තයෙක් වෙන්න. බැඳීමක නොවෙනස් පදනම වගේම සම්මුතිය වෙන්නෙත් ඒ විශ්වාසය. ඒත් කොයිම මොහොතකවත් තවත් කෙනෙක් ගැන ප්‍රතිරූපයක් මවාගන්න හදිස්සි වෙන්න එපා. ඒක අප්‍රමාණ මෝඩකමක්. තමන්ගේ සැබෑ ප්‍රතිරූපය හුඟක් වෙලාවට මිනිස්සු ඉන්නේ සඟවාගෙන. එය සැබෑවටම හඳුනාගන්න සමහරවිට ඔබට මුළු ජීවිත කාලය මුළුල්ලේම කළ නොහැක්කක් වේවි.
නිර්වාණය සැබෑ සුවයක්. ඔව්.. ඒත් මට හිතෙන්නේ නිර්වාණයට පෙර සංසාර සුවිසැරියේදී අපි ජීවිතය වචනයේ පරිසමාප්ත වදනින්ම වින්දනය කළ යුතුයි. සියල්ල අත්හැරීමේ සතුට ප්‍රාර්ථනාවක් කරගත හැක්කේ ජීවිතය භුක්ති විඳි කෙනකුට පමණක් කියලයි මට හිතෙන්නේ.
I Saara