ගංඟා ජලය ස්නානය කරලා විශ්ව නාත් ජීගේ ආශිර්වාදය අරන් වෙළෙඳ සැලට යන තාත්තා ඊළඟට කළේ ලිපිකරුට එදා දවසේ කළ හමාර කළ යුතු වැඩකටයුතු පවරපු එක. තාත්තා වෙළෙඳ සැලට යද්දී ලිපිකරු පැමිණ සිටිය යුතුයි. නැත්නම් එදා දවසේ ලිපිකරුට කොහෙත්ම ගැලවුමක් නම් නෑ. ලිපිකරුට වැඩ පවරපු ගමන්ම ඊළඟට තාත්තා යන්නේ ඇඟට හොඳට ව්‍යායාම අරගන්න. පැය තුනක පමණ කාලයක් තාත්තා වැය කරන්නේ ඒ වෙනුවෙන්. ඊට පස්සේ ගෙදර ඇවිත් උදේ කෑම කනවා. ආයෙත් වෙළෙඳ සැලට යන තාත්තා මහ රෑ වෙනකම්ම කාලය ගත කරන්නේ වෙළෙඳ සැලේ ගණන් හිලවු එක්ක. රුපියල්වලට එහා ලෝකයක් එයාට නොතිබුණු ගාණට තමයි තාත්තා ඒ වැඩ වෙනුවෙන් එයාගේ කාලය යෙදෙව්වේ.
ඇත්තටම එයා පුදුම මනුස්සයෙක්.. දවසටම එයා කෑවේ එක වේලයි. මට හිතුණේ තාත්තා ජීවිතෙත් එක්ක වගේම බඩගින්න එක්කත් අරගලයක් කළා. ඒත් එයා පුදුම ශක්තිවන්තයෙක්. දෙවියෝ මේ ලෝකෙට එවපු අමුතු මනුස්සයෙක් විදිහටයි මට තාත්තව පෙනුණේ. අඩි දෙකහමාරක් දිග කිලෝ සීයක් විතර බර මුගුරක් තාත්තට කරකවන්න පුළුවන්.
සමර්කාන්ත් හැමදාමත් තනියෙන් ඉන්නද කල්පනාව... මේ දරුවට අම්මෙක් නැති අඩුව කුඩම්මා කෙනෙක්ගෙන් හරි පිරිමහන්න වෙයි නේද?
තාත්තා ගෙදර සිටි නිවාඩු දවසක හැන්දෑවේ තාත්තා හොයාගෙන ආව එයාගේ යාළුවෝ කතාව පටන් ගත්තේ එහෙමයි.
මට කුඩම්මෙක්.. කුඩම්මෙකුට පුළුවන්ද අම්මා කෙනෙක් වෙන්න.. සමහර අම්මලාටවත් බැරිකොට හරියට අම්මා කෙනෙක් වෙන්න.
අමර් මොනවා කියයිද කවුද දන්නේ?
එයා දවසක එයාගේ තාත්තා තේරුම් ගනියි.. දරුවෙක් හිටියා කියලා උඹගේ තරුණ ජීවිතේ ගෑනියක් නැතුව ගෙවන්න පුළුවන්ද?
සමර්කන්ත්ටනම් ගෑනියකුට වඩා රහ හාලුයි හකුරුයි.
ලේ හීතල නොවුණු පිරිමියෙකුට ගෑනියක් නැතුව ඉන්න පුළුවන්ද?
ඇයි ගෑනු නැතුව ජීවත් වෙන පිරිමි ලෝකෙ නැද්ද? මොකටද ගෑනියක්.. අනිත් එක ගෑනි මැරුණ මිනිහකුට තවත් ගෑනියක්.. ෂික් මම කැමති නෑ ඒකට. අපේ අම්මට මාව හම්බුණා වගේ එයාටත් තව ළමයි හම්බවෙයි... ඇයි ගෑනුන්ට කසාද බැන්දම ළමයි හම්බ වෙන්නේ.. කොහෙන් බඩට එනවද ළමයි කියලා ජාතියක්... කුඩම්මාගේ බඩටත් ආවොත් මොනවා වුණත් මට නංගිලා මල්ලිලානේ.. තාත්තාගේ ආදරේ කී දෙනෙකුට බෙදන්නද? අන්තිමට මට වැහි බින්දුවක් තරමටවත් කිසිදෙයක් ඉතුරු වෙන එකක් නෑ...
මගේ හිතට පැලෙන්න තරම් ඉරිසියාවක් දැනුණා.
මොකද කියන්නේ සමර්කාන්ත් අපි හොයන්නද අලුත් මනමාලියක්
හැබැයි නාස්තිකාරියක්නම් එපා.. නාස්තිකාර බොරු සෝබන ගෑනු ගත්තොත් පිරිමි ඉවරයි.
හරි අපි හොයන්නම්. උඹටම කැපෙන, වතුරෙන් හොදි හදන, පොල්කුඩුවලින් සම්බෝල හදන වතුරට කිරි දාලා තේ හදන ජාතියේ ගෑනියක්.
මිතුරන්ගේ සිනා හඬ මැද තාත්තාගේ උත්තරය මට ඇසුණේ නෑ.
අවසානයේ කුඩම්මා කෙනෙක් ගේන්නදැයි තාත්තා මගෙන් ඇහුවේ නෑ. කුඩම්මා ගෙදරට ගේන්න දවසකට පෙර තාත්තා රෑ මගේ කාමරයට ආවා.
අමර් හෙට ඉඳන් මේ ගෙදර තව කෙනෙක් පදිංචියට එනවා.
මගේ මතකයට එක්වරම ආවේ මෑත දවසක තාත්තගේ යාළුවන් කියපු දේවල්. මගේ සර්වාංගය ඇතුළෙන් හදවත හරහා අකුණක් වැදුණා.
කවුද?
ඇයි ඔයා අකමැතිද?
තාත්තා හෙට කෙනෙක් එක්ක එනවා කියලා මගෙන් කැමතිද අකමැතිද අහලා වැඩක් තියෙනවද? මම එපා කීවොත් තාත්තා හෙට එයාව එක්ක නෑවිදින් ඉන්නවද... මගේ කටහඬේ තිබුණේ අඬන්න ඔන්න මෙන්න ගතියක්.
නෑ... ඒත් ඔයා මගේ පුතා. මම කියන දේට ඔයා කැමති වෙන්න ඕන.. මට ඔයාගෙන් උත්තර එපා.
එහෙනම් මොකටද ඔයා මගෙන් අර ප්‍රශ්නෙ ඇහුවේ?
ඇහුවෙ නෑ. කීවා.
පදිංචියට එන්නේ කවුද කියලා මම දන්නවා.
තාත්තා මගේ දිහා බැලුවේ ප්‍රශ්නාර්ථයක් ඇස් දෙකේ රඳවාගෙන
කුඩම්මෙක්... මම එහෙම කියද්දී තාත්තා ඔව් කීවෙත් නෑ. නෑ කීවෙත් නෑ.
හ්ම්
මොකටද?
මොකටද අහන්නේ... ගෑනි මැරුණට මම තාම තරැණ මිනිහෙක්.. තාත්තෙක් වුණාට මමත් පිරිමියෙක්.. උඹ තාම අවුරුදු හතේ පොඩි එකෙක්. ලොකු වුණාම හිතපන් ඇයි තාත්තා තව කසාදයක් කර ගත්තේ කියලා.
මේ ගෙදර අම්මගේ සුවඳ තාම තියෙනවා.
හුස්ම වැටෙන පිරිමියකුට ගෑනියෙක්ගේ සුවඳත් එක්ක හැමදාම ජීවත් වෙන්න බෑ අමර්.
තාත්තා නරකයි... තාත්තා...
මට ඉතුරු හරිය කියන්න හම්බවුණේ නෑ.. මට හයියෙන් ඉකිගැහුණා. තාත්තා මොකුත්ම නොකියා කාමරයෙන් එළියට ගියා.
කුඩම්මට වෙනස්කමක් කරනවා නෙවෙයි.. එහෙම වුණොත්..... තාත්තා ආයෙත් කාමරයට එබුණා. එහෙම වුණොත්... තාත්තා එහෙම වුණොත් මොකද වෙන්නේ කියලා වචනවලින් කීවේ නෑ. තාත්තා මගේ ජීවිතේ වගේම කතාබහෙත් හිස්තැන් තියන්න ලෑස්ති වෙනවා කියලා මට හිතුණා.
► අනුවර්තනය : චන්දන වරාවිටගේ & සංජු