සිංහල අලුත් අවුරුද්ද මතක් කරපු ගමන් මට එකපාරටම මතක් වෙන්නෙ මගේ පුංචි කාලේ මගේ ගෙදර. ඒ කාලේ මගේ ගෙදර හරියටම අවුරුදු සමරන ගෙදරක්. සතියකට කලින් ඉඳන් අපේ අම්මා කැවුම් ඇතුළු කැවිලි පෙවිලි හදන්න පටන් ගන්නවා. එහෙම පටන් අරගෙන අවුරුද්ද වෙද්දී ගෙවල් දොරවල් හොඳට අස්පස් කරලා අවුරුද්ද පිළිගන්න සූදානම් වෙනවා. හැබැයි ඉතින් අම්මා කැවුම් හදද්දී ඒවා අවුරුද්දටත් කලින් අපේ බඩේ. මගේ පවුලේ සහෝදර සහෝදරියන් අටදෙනෙක්. ඉතින් අම්මා පොඩි ළිපක් බැඳගෙන කැවුම් හදහදා ළඟ තියෙන භාජනයට දානවා විතරයි, අපි හෙමිහිට අරගෙන බඩට දාගන්නවා. උණු උණු කැවුම් අත පිච්චි පිච්චි කට පිච්චි පිච්චි කාපු ඒ කාලේ හරි සුන්දරයි. අටදෙනා දෙපාරකට කැවුම් දෙක ගානේ කෑවත් කොච්චරක්ද...? ඉතින් අම්මා දහඩිය පෙරාගෙන ළිප ළඟින් නැඟිටිද්දී භාජනයේ තියෙන්නෙ කැවුම් පොඩ්ඩයි.
ඒ විතරක් නෙමේ.. කැවුම් උස්සද්දී අපි හැංගි හැංගි එක්එක්කෙනාට කැවුම් පාස් කරනවා. අපි ලොකු ඔංචිල්ලාව බඳින්නේ සතියකට විතර කලිනුයි. නොනගතය වෙලාවේ කන්න දෙන්නෙ නැහැනෙ. හැබැයි ඒ වෙලාවෙත් අපි කට්ටිය හොරෙන් හොරෙන් බඩ පිරෙන්නම කනවා. කොහොමහරි ඒ වෙලාවට අපේ අම්මා විතරයි අන්තිමට බඩගින්නෙ ඉන්නෙ. අපි කට්ටියම මොන මොනවහරි හොරෙන් කාලා ඉවරයි.
අලුත් අවුරුද්ද ලබද්දී අද මම අකමැතිම දේ තමයි ඒ දේ සමරන්න ගෙදර ඉන්න ලැබෙන්නෙ නැති එක. මෑත කාලයේදී කවදාකවත් අවුරුද්දට ගෙදර ඉන්න ලැබුණේ නෑ. හැම අවුරුද්දකම මොකක්හරි වැඩක්, එහෙමත් නැත්නම් මොකක්හරි රටක තමයි ඉන්න ලැබෙන්නෙ. ඒක තමයි ඉතින් අකමැතිම දේ. ඒත් ඉතින් මොනවා කරන්නද...?
සිංහල අවුරුදු කාලෙදී මම කැමතිම දේ තමයි එදාට හැමෝම එකතු වෙනවා දකිනඑක. එදාට ලොකු සමගියක් ඇතිවෙනවා... හැමෝම ඒ දවස නිවාඩුවක් කරගෙන කාර්යබහුලකමින් මිදිලා තමන්ගෙ පවුල වෙනුවෙන් කාලය වෙන්කරගන්නවා. මට මතකයි මම පොඩි කාලේ අම්මා තාත්තා බලන්න ගමේ හැමෝම එනවා. අපේ ගෙදර ඒ කාලේ සෙනඟ පිරිලා. එහෙම ගෙදරට සෙනඟ පිරිලා විනෝදවෙන සතුටින් ගතකරන දවස කියන එක තමයි මට සිංහල අවුරුද්ද කිව්වගමන් මතක් වෙන්නෙ. ඒකට මම ආසයි. ඒ දවසෙදී හැමෝගෙම මුහුණේ සතුටක් තියෙනවා. ඒ සතුට සල්ලිවලට ගන්න බෑ.
සිංහල අලුත් අවුරුද්දෙදී මම අකමැතිම දේ තමයි රතිඤ්ඤා පත්තුවෙන එක. ඒ සද්දයට මම ආසම නෑ. ගෙදරදී රතිඤ්ඤා පත්තු කළත් මම හරිම අකමැතියි. අනෙක ඒ සද්දය නිසා පොඩි දරුවන් වගේම බොහෝ සත්තුත් හරියට බයවෙනවා. ඒ විතරක් නෙමේ... රෝගීන්ටත් ඒ සද්දය හරිම හිසරදයක්. ඉතින් තවත් කෙනෙක්ට සතුටක් ගෙනාවට බොහෝ දෙනෙක් කැමති නැති රතිඤ්ඤා පත්තු කරන එකටනම් මමත් කැමති නෑ. ඒකට හැමෝටම සතුටු වෙන්න බෑ. අනික රතිඤ්ඤාවලින් මොනතරම් විනාශ වෙනවද...? ඒ නිසා සිංහල අලුත් අවුරුද්දෙන් රතිඤ්ඤා ඈත්කරනවානම් මම ඒකට කැමතියි.
අලුත් අවුරුද්ද මතක් වෙද්දී මම ආසම කරන දේ තමයි ලැබෙන නිවාඩු දවස් ටික. පුතාගේ ඉස්කෝලෙ නිවාඩුවත් එක්ක ඒ දවස් ටිකේ තමයි ගෙදර සුමිත්, මම, පුතා, තුන්දෙනාම රැඳෙන්නෙ. අලුත් අවුරුද්දත් එක්ක අපිට විවේකයක් ලැබෙනවා. ඒ ගැන සතුටුයි. ඒ කාලෙදී ගෙදර අපිට උදව්වට ඉන්න සේවිකාවත් එයාලගේ ගෙදර යනවා. එතකොට ඒ කාලෙදී අපිට අපි කැමති දෙයක් අපේ අතින් හදාගෙන කන්න බොන්නත් අවස්ථාව ලැබෙනවා. අපේ අතින්ම කෑමක් බීමක් හදලා කන්න අපි නිවාඩු කාලෙදී කැමතියි. මට මතකයි ඉස්සර පුංචි කාලෙනම් අලුත් අවුරුද්දට මම ආසම දේ තමයි අලුත් ඇඳුම් ලැබෙන එක. අද කාලේ වගේ අපිට ඒ කාලේ හිතුණ හිතුණ විදිහට ඇඳුම් ගන්න ලැබෙන්නෙ නෑ.
ඔය ජනවාරි පළවෙනිදාට, උපන්දිනයට, අලුත් අවුරුද්දට වගේ දෙයකදී තමයි අපිට අලුත් ඇඳුම් ලැබෙන්නෙ.ඉතින්... අලුත් අවුරුද්දට දවස් කිහිපයකට කලින් ඉඳන්ම තමයි අපි අපේ අලුත් ඇඳුම් ඩිසයින් කරගන්නෙ. ඒ කාලේ හරි අපූරුයි. උදේ පාන්දරම නැඟිටලා අපි අර අලුත් ඇඳුම ඇඳගන්නවා. ඊටපස්සෙ ඉතින් ඒක වෙනමම ලෝකයක් තමයි.
දැන් නම් මම අලුත් අවුරුද්දේ අකමැතිම දේ තමයි ඒ කාලෙදී අපි ඉන්න වටපිටාවේ, පාරවල්වල පොඩි පාළුවක් දැනෙනවා. කඩවල් වහලා. වාහන පාරේ අඩුවෙන් යන්නෙ. පාරේ වුණත් වෙනදා වගේ මිනිස්සු යන්නෙ නෑ. ඒ පාළු ගතියට මම පොඩ්ඩක් අකමැතියි.
මගේ ගම කෑගල්ලේ. ඉතින්... එදා වගේම අදටත් මම අවුරුද්ද සමරන්නේ කෑගල්ලේම තමයි. පුංචි කාලේ මම හරිම ආසම දේ තමයි කෙසෙල් කැන් වළදාන එකට. අලුත් අවුරුද්ද ළංවෙද්දී අපේ කෙසෙල් කැන් ගොඩාක් කපලා වළක් කපලා ඉන්දන්න කියලා වළදානවා. ඕකට බිලිං කොළ කපලා දාන වැඩේ හරිම ආසාවෙන් කරන්නේ මමයි. අලුත් අවුරුද්දට අපේ ගෙදර කැවිලි පෙවිලි රාශියක් හදනවා. ගමේ ගෑනු කිහිපදෙනෙක්ම අපිට උදව් වෙන්න එනවා. ඉතින් ඒ අයට පුංචි කාලේ ඉඳන්ම මාත් උදව් වුණා. හාල් දියේ දාලා වංගෙඩියේ දාලා හාල්ටික කොටලා දෙන්නා තුන්දෙනා එකතුවෙලා කරද්දී ඒක හරි අපූරුයි. ඒ අත්දැකීම් ටිකට මම හරි කැමතියි. ඔන්න තේ බොද්දී කට්ටිය කයිය ගහ ගහ තේ බිව්වා. අපේ අම්මා ඒ හදපු කෑමවලින්ම තේවලට අපිට කන්න දුන්නා. එක දවසකට කැවිලි දෙකක් හදන දවසුත් තිබුණා. ඒ අතරතුරේදී කෙසෙල්වලට දුම් පිඹින වැඩෙත් බාරවෙලා තිබුණේ මටයි. ඒ වැඩෙත් මම ආසාවෙන් කළා. හැබැයි ඒ අත්දැකීම් නගරාසන්නයේ ජීවත්වෙන කිසිම කෙනෙකුට ලැබුණේ නැහැ. හැබැයි ඒ දුම් පිඹින වැඩේ හරි කැමැත්තෙන් කළා.
සිංහල අලුත් අවුරුද්දේ දී මම අකමැති කිසිම දෙයක් නැහැ. අපිට ලැබෙන ඇඳුම් විටනාකම ගැන අපි කවදාවත් අහලා නැහැ. මගේ වත්ත පිටියේ වැඩ කරන මනුස්සයාගේ ඉඳන් අපි හැමෝටම අපේ අම්මා අලුතින් ඇඳුම් අරන් දුන්නා. ජම්බු ගස්වල ජම්බු පිරිලා. ජෑම්, පේර ගහේ, අඹ ගහේ ගෙඩි පිරිලා. ඒ කාලේ මගේ වැඩේම ඔය ගස්වල වඳුරෝ වගේ නැගලා ගෙඩි කඩාගෙන කන එකයි. ඒ සතුටේ සීමාවක් නැහැ. අපිව කොතනකවත් කොටුවෙලා තිබුණේ නැහැ. මගේ ගෙදරින් “ඔට්ටුයි කියලා හැංගිමුත්තන් කරද්දී අපි ගිහින් හැංගෙන්නේ අක්කර හතක් අටක් තියෙන අනිත් ගෙදරකයි. ඉතින් ඒ සිංහල අවුරුදු කාලෙදි හැංගිමුත්තන් කරලා දාඩිය පෙරාගෙන ගෙදර එද්දී ගමේ කුස්සියෙත් අපිට උණු උණුවේ කැවුමක් කන්න ලැබුණා. මට මතකයි මගේ ගමේ ගංගා අක්කා, හිමාලි අක්කා කියලා යාළුවෝ හිටියා. ඒ අය එක්ක සෙල්ලම් කරද්දී සමහර වෙලාවට හොයාගන්න බැරිවෙනකොට තරහ වෙලයි නවතින්නේ. අදටත් මම අලුත් අවුරුද්ද සමරන්න කෑගල්ල ගෙදරට යනවා. කොළඹ ඇවිත් නිළියක් වුණාට ඒ ගමේ සුන්දර ජීවිතේ මම නැති කරගන්න පොඩ්ඩක්වත් කැමැති නැහැ.
අලුත් අවුරුද්ද මතක් වෙද්දී මට එකපාරටම මතක්වෙන ආසම දේ තමයි කැවිලි පෙවිලි. මගේ පුංචි කාලේ මතකයන් දෙකක් තියෙනවා. ගොඩක්ම පුංචි කාලේ මම හිටියේ මහනුවර. ටිකක් පුංචි කාලේ මම හිටියේ කොළඹ. ඉතින් ගොඩක් පුංචි කාලේ මම හිටියේ වත්තේගම කියන ගමේ. ඒ කාලේ අපිට නොතේරුණාට වැඩිහිටි ජීවිතවල පුංචි පුංචි අමනාපකම් අපිට වඩා වැඩියි. මම දකින විදිහට කැවිලි පෙවිලි කියන්නෙ බඩජාරිකමට කන දෙයට වඩා ඒ කිරිබත් කෑල්ල ඇතුළෙ අමනාපකම් දුරුවෙන එක, සමාව ගැනීම. යාළුකම් අලුත් කරගන්න එක වගේ දේ ගැබ්වෙලා තිබුණා. අපිට අපේ සමකාලීන පුංචි දරුවන් එකට දකින්න ලැබෙන එක නිසා අපි අවුරුද්ද එනකම් තවත් බලාගෙන හිටියා. තරහවුණු පවුලේ අය අපිත් එක්ක යාළුවුණාට පස්සෙ අපිත් එක්ක සෙල්ලම් කරන අයට තව කෙනෙක් වැඩිවෙයි කියලා අපි බලාගෙන හිටියා.
මගේ දෙවැනි පුංචි කාලය ගෙවුණේ අපි කොළඹට ආවට පස්සෙයි. වත්තේගමදී අපිට දැනුණේ නෑයෝ. එදිනෙදා අපේ ගමේ ඉන්න දකින අය අතර් තියෙන හිතවත්කම්වලට කෑම ගෙන ගියා කියන එකට වඩා ජාතීන් අතරත් ඒ බැඳීම ඇතිවුණා. මම හැදුණේ මරදාන කියන ප්‍රදේශයේ. ඉස්සරහා ගෙදර කිරිබත් කෑල්ලක් අරගෙන මුස්ලිම් ගෙයක් ඇතුළට ගියා වගේම එයාලගේ සන්ජි කෑල්ල අපේ ගෙදරට එන ජාතීන් අතරේ තියෙන බැඳීම හරි ලස්සනට තේරුම් ගන්න පුළුවන් වුණා...
නමුත් එකේ අවසන් කාලයේ දී අද වෙද්දී පුදුමවෙලා බලාගෙන ඉන්නවෙලා තියෙනවා. අපි බත්වේල පෝලිම් ගස්සවලා දන්දෙන රටක්. ලේ නෑ කියපුවම ලේ දුන්නු රටේ, කෑමවලට හදවත උණුවුණු රටේ, ඒ ඉතිහාසයේ කෑමවල රසය කොච්චර නැවුම් ද කියලා හිතෙනවා. නමුත් අපේ කිරිබත්වලට හෙට මොනවා වෙයිද කියලා මම දන්නේ නැහැ.
පුංචි කාලේ මම කැමැතිම දේ අද මට අලුත් අවුරුද්දේ අකමැතිම දේ වෙලත් තියෙනවා. පොඩි කාලේ බුලත් කොළයක් සොයාගෙන කාගෙන් හරි ණයට හරි රුපියල් දහයක් දීලා නැන්දලා මාමලා ඊට වඩා දෙගුණයකින් දෙන සල්ලි බලාගෙන වැන්ඳා. වෙනදා අපිව වඩාගෙන මිරිකලා ඒ මාමාලා “අනේ මෙන්න මූ අදත් ඇවිල්ලා කියලා අපේ අතට සල්ලි දීලා ඔළුව අතගෑවා. එදා එහෙම හිටපු මම අද ලොකු මිනිහෙක් වෙලා. අද මම මාමෙක්නේ. ඉතින් අලුත් අවුරුද්දට අද පොඩි එවුන් බුලත් අරගෙන මම වඳිද්දී එදා මාමලාට වෙච්චි දේ අද මට වෙලා තියෙනවා.
හැබැයි පෞද්ගලික ජීවිතේදී අපිට සතුටු වෙන්න තියෙන දවස් හරි පොඩ්ඩයි. ආපසු හැරිලා බලද්දී අපි හදවතට එකඟව සතුටු වෙච්චි දවස් හරීම අඩුයි. ඒ නිසා සතුට තියෙන තැන්වල දී තියන සතුට උපරිමයෙන්ම ගන්නවා මිසක් ඒ සතුට මඟහරින්න එපා.
► Text – Dishani Pic -Internet