ජීවිතය කටු අත්තක් ...ඒත් ඒ කටු අත්ත මත එක මලක් හෝ පිපෙනකම් හීන දකින ඒ හීනයට අත්තටු දෙන්න ජීවිත කාලයේම අරගල කරන මිනිසුන් මේ ලෝකයේ අප්‍රමාණයි. පන්ති වශයෙන් බෙදුණු ලෝකයේ මිනිසුන් මිනිසුන්ට අයිති මනුස්ස කියන පොදු කුලකයෙන් වෙන්කරන බෙදීමේ රේඛාවන් සීමා නීර්ණයන් බොහෝමයි. ඒත් ඒ සියල්ල විනිවිද ඔයත් මමත් ප්‍රකෘතිය තුළ දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක්. ඒත් ඔයාගේ දරුවා කවදාවත් සැප වාහනයකින් මිස බස් එකකින් කෝච්චියකින් පයින් ගමනක් ගිහින් නැතිවෙද්දී තව දරුවෙක් ආසාවකටවත් සැප වාහනයකින් අඩියක තරම්වත් දුරක් ගිහින් නැතුව ඇති. ඔයාගේ දරුවා ලෝකේ තියෙන රසම කෑම කද්දී මේ ලෝකෙම තව දරුවෙක් ඉඳුල් බත් කටක්වත් නැතුව බඩගින්නෙන් අඬනවා ඇති. සීතලට සැප ඇඳක උණුසුමක සුව විඳින ඔයාට මහ වැස්ස කියන්නේ අතිශය සොඳුරු භාවාත්මක වින්දනයක් වුණාට ඒ මහ වැස්සේත් වීදියේ ඉටිකොළ යට ගුලි ගැහුණු මිනිස්සුන්ට ඒ වැස්සම මහ ශාපයක්. ඉදිකටු තුඩු වගේ අනින සීතල බඩගින්න එක්ක උන් විඳවනවා. ඔයා විඳිනවා. දෙවියෝ හොඳ අහන්නේ පොහොසත් මිනිස්සුන්ගෙන් කියලා විතරයි මට හිතෙන්නේ. දෙවියෝ දුක අහන්නෙත් පොහොසතුන්ගේ විතරයි කියලා මට හිතෙන්නේ. පින් පව් කුසල් අකුසල් කර්මය සමාජ ක්‍රමය මේ එක් එක් සිද්ධාන්ත ඇතුළෙ මිනිස්සු මිනිස්සු විදිහට විඳින වෙනස අර්ථකථනය කරනවා. මට හිතෙන්නේ ඒ හුඟක් මිනිස්සු තම තමන්ගේ හිත් හදාගන්ට සාධාරණීකරණය කළ හැකි හේතුවක් හොයනවා.
ඔයා වෙනස පසෙකින් තියන්න. හරි දැන් අපි දෙන්නම මනුස්ස කියන පොදු කුලකයේ මිනිස්සු. දැන් ඔයා මට කියන්න තියෙන දේ අහන්න. මට ඔයාට කියන්න ඕන ඒ දරුවෝ ගැන. සවන් හිමි වුණත් ඔයා අහන තරමට එයාලට අහන්න බෑ. දෑස් හිමි වුණත් ඔයාලා දකින දුර එයාලට දකින්න බෑ .කියාගන්න දාහක් දේ තිබුණට ඒ හැඟීම් ලෝකෙට දැනෙන්න ඔයාලට වගේ වචන වලට පෙරළන්න එයාලට බෑ. ඒ දරුවෝ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්. ඒත් එයාලගේ ඇස් අස්සෙත් ඉල්ලීම් තියෙනවා. එයාලගේ හදවත් අස්සෙත් කතාවක් තියෙනවා. එයාලගේ ජීවිත අස්සෙත් ආසාවන් ප්‍රාර්ථනාවන් තියෙනවා. එයාලගේ ඇස්වලටත් කඳුළු එනවා. එයාලත් ආදරය හොයනවා. එයාලා ඔයාලගෙන් ඉල්ලන දෙයක් තියෙනවා. ඒ තමා ආදරය සහ පියාපත්. එයාලා වාරු ඉල්ලන්නේ මේ මහපොළොවේ පය තියලා හිටගන්න.
මට ඒ දරුවන්ව මුණගැසුණේ වීරකැටියේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පාසලකදී. ඒ වෙනසට පව් පින් මත නිර්වචන අර්ථකථන දෙනවට වඩා ඔයාට ඒ වගේ දරුවන් වෙනුවෙන් කරන්න යුතුකමක් තියෙනවා. මොන තාත්තගේ ලෙයින් මොන අම්මගේ කිරෙන් හැදුනත් ඒ දරුවා දරුවෙක්. දරුවෙක් අයිති ලෝකයටම. ඒ වෙනසට ගරහන්න එපා. වදයක් කරදරයක් කියලා හිතන්න එපා. ඒ වගේ දරුවෙක් කාගෙවත් ප්‍රාර්ථනයක් නොවුණට කවර හෝ හේතු මත මේ ලෝකෙට ඇවිත් ඉන්න ඒ දරුවෝ අහකට විසි කරන්න අපට බෑ. කර්මය ගැන මතවාද විශ්ලේෂණ පැත්තකින් තියලා සමාජ මානුෂික අරගලයේ යථාර්ථය ගැන අපි කතා කරමු. දරුවා කුසට අ මොහොතේ සිට මානසිකව විඳවන අම්මලා මේ සමාජයේ ඕන තරම් ඉන්නවා. දරුවා කුසේ තියාගෙන ජීවත් වෙන්න අව්ව වැස්ස එක්ක අරගල කරන අම්මාවරු මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. දරුවට අවශ්‍ය පෝෂණය වෙනුවෙන් නෙවෙයි බඩගින්න වෙනුවෙන් කන්න දෙයක් නැතුව විඳවන අම්මාවරු ඕන තරම් ඉන්නවා. තව දෙයක් තියනවා. ලංකාවේ නීතිය අනුව ගබ්සාව තහනම්. ඇතැම් දැඩි ආගමික මතවාද ඒ නීතියේ කිසිම සංශෝධනයකට ඉඩක් දෙන්නේ නෑ. කුස දරා හිඳින දරුවා සම්බන්ධ ශෝචනීය හඳුනාගැනීමකදී, ගැහැනියක් දූෂණයක් නිසා ගැබ්ගත් අවස්ථාවකදී ඒ කළලය කුස දරාගෙන ඉන්න තරම් මානසික ස්නේහයක් ගැහැනියක් තුළ ඇති වෙන්න පුළුවන්ද? නීතියේ සංශෝධන අවශ්‍ය වෙන්නේ එවන් අතිශය මානුෂික අවස්ථාවලදී.
ජීවිතේ තනියෙන් විඳින මිනිස්සු අතරේ තව කෙනෙක්ගේ සතුට යහපත තමන්ගේ සතුට යහපත බවට පරිවර්තනය කරගන්න තරම් මනුෂ්‍යත්වයෙන් පිරිපුන් සුන්දර... මිනිසුන්... ලෝකයේ විරලයි... එහෙත් එහෙම මිනිස්සු ලෝකයේ තාමත් ඉන්නවා. දුප්පත් පොහොසත් කා වෙනුවෙනුත් පංගු පේරුවක් නැතුව දොර අරුණු, සල්ලි තියෙන පොහොසත් දායකයන්ට පමණක් වෙන් නොවුණු, දායකයන්ගෙන් ලැබෙන දේවල් සේප්පු තුළ හිර නොකර පොදු සමාජයීය යහපත වෙනුවෙන් නැති බැරි මිනිස්සු වෙනුවෙන් පන්සල් වෙනුවෙන් පරිත්‍යාග කරන කොළඹ ලොකුම පන්සල තමයි කොළඹ ගංගාරාමය. ඒ ලොකු පන්සලේ වැඩ වෙසෙන ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් ඇතුළු හැම හිමිනමක්ම මනුෂ්‍යත්වයට සපයන සොඳුරු නිදසුන් අපමණයි. ගංගාරාමයේ වැඩවෙසෙන ආචාර්ය කිරින්දේ අස්සජී හාමුදුරුවන්ගේ 50 වැනි උපන්දිනය දවසේ සූරියවැව සහ වීරකැටිය ප්‍රදේශවල ජනතාවට ලක්ෂ ගණනක මුදල් වැයකරමින් සිදුකළ පරිත්‍යාග අතරේ එක් පියවරක් වශයෙන් තමයි වීරකැටිය විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පාසල-අරුණැල්ල පාසල වෙනුවෙන් ගංගාරාමය මුල සිටම කළ සේවාවේ තවත් දිගුවක් විදිහට එදත් ආධාර උපකාර ලබාදුන්නේ.
ඔයත් ජීවිතයේ විශේෂ දවස් පැය දෙක තුනක් යාළුවො එක්ක කන්න බොන්න විනෝද වෙන්න දස දහස් ගණනින් සල්ලි වියදම් කරනවා ඇති. ඒ සතුට දවස් දෙකක් තුනක් විඳිනවා ඇති. ඒත් තව කෙනෙක්ගේ සරණක් අවැසි මිනිසුන් සමඟ හැකිනම් ජීවිතයේ එක දවසක් ඔබ ගෙවන්න. ඔවුන් වෙනුවෙන් යමක් කරන්න. අපි මේ ලෝකෙට එන්නේ යන දවසත් කොහේ හරි ලියාගෙන. අන්න ඒ යන දවසේදීත් ඒ වගේ විසල් පරිත්‍යාගයකින් ලබන සතුට ඔබට සිහිපත් වේවි.
I Saara