මේ වසරේ මැයි මාසයේදී පැවැත්වීමට නියමිත රාජකීය මංගල්‍යය දෙස සියලු දෙනා බලා සිටින්නේ දැඩි විමසිලිමත් බැවිනි. සැතපුම් දහස් ගණනක් දුරින් සිටියත් අපට ද බ්‍රිතාන්‍ය රජ පවුල ඉතා සමීපය. මහ රැජනගේ චාල්ස් කුමරුගේ විලියම් හැරී කුමරුවන්ගේ ජීවන විලාසය ගැන දැනගන්නට, රජ පවුලේ අලුත් ආරංචි ගැන දැනගන්නට අපේ රටේ උදවියට ඇත්තේ ලොකු උනන්දුවකි, ආසාවකි.
එවැනි උනන්දුවක් ඇති අයට හොඳ ආරංචියක් පසුගිය සතියේදී එංගලන්ත මාධ්‍ය මගින් අනාවරණය විය. ඒ ලබන මැයි මාසයේදී විවාපත් වීමට නියමිත හැරී කුමරුත් මේගන් (අනාගත) කුමරියත් තම මධු සමය සඳහා තෝරාගෙන ඇති ගමනාන්තය පිළිබඳව ය.
ලොව පුරා පිහිටි ඕනෑම රටක, ඕනෑම සුඛෝපභෝගීත්වයක් පිරුණු නිවාඩුවක් ගත කිරීමේ හැකියාව මේ රාජකීයයන් දෙදෙනාට තිබුණද ඔවුන් තම මධුසමය වෙනුවෙන් තෝරාගෙන ඇත්තේ තරමක වෙනස් ආකාරයේ තැනකි. කොටින්ම කාන්තාරයකි.
ඒ අප්‍රිකානු රටක් වන නැමීබියාවයි. අප්‍රිකානු කලාපයේ කාන්තාර සහ වනාන්තර ආශ්රිත සුඛෝපභෝගී කඳවුරු පවත්වාගෙන යන Natural Selection නම් සංචාරක සමාගමක් සමඟ හැරී කුමරු තමන්ගේ මධුසමය සැලසුම් කර ඇති බවත් දැනගන්නට ඇත. ඒ අනුව නැමීබියාවේ ස්ථාන ගණනාවක හැරී මේගන් යුවල කාලය ගත කරන්න නියමිත බවත් වාර්තා වේ.
ඒ අතර 2018 වසරේ මැයි මාසයේදීම විවෘත කිරීමට නියමිත තරු පන්තියේ කඳවුරු භූමියකුත් තිබේ. හෝනිබ් නිම්නයේ පිහිටා තිබෙන මේ කඳවුරු භූමිය පෞද්ගලිකත්වය හොඳින්ම ආරක්ෂා කිරීමට වැඩි ප්‍රමුඛතාවයක් සලසා ඇති බවත් කියැවේ.
එය කොයිතරම් හුදෙකලාවේ ගිලී ඇති පෙදෙසක් ද කියතොත් ළඟම ඇති නගරයට ළඟා විය හැක්කේ පැය හතරක වාහන ගමනකින් අනතුරුවය.
මේ කඳවුරු හෝටලයේ එක් රැයක් සඳහා අය කෙරෙන මුදල පවුම් 500ක් බවත් සඳහන්ය. පවුම් 500ක් යනු ලංකාවේ මුදලින් රුපියල් එක් ලක්ෂ දස දහසකට ද වැඩි මුදලකි.
හෝනිබ් නිම්නය ලෝකයේ අවම ජනගහනයක් ඇති ප්‍රදේශයක් ලෙස ද සැලකේ. විශේෂයෙන්ම පිටස්තර ලෝකයෙන් බැහැර වූ හුදෙකලා ලෝකයක් ලෙස සැළකිය හැකි මේ ප්‍රදේශයේ වාසය කරන්නේ හිම්බා ගෝත්‍රිකයන් පමණි. ඔවුන්ට අමතරව හෝනිබ් නිම්නයේ ඇත්තේ තෙරක් නොපෙනෙන වැලි කඳු යායකි.
නැමීබියාව යනු කළු රයිනෝසිරස්, ජිරාෆ් සහ අප්‍රිකානු අලින් නැරඹීමට ඇති හොඳම රටක් ලෙස ද සඳහන්ය. එහෙත් බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ විසින් හැරී කුමරුට නැමීබියාවේ සංචාරය නොකරන ලෙස තරමක අවවාදයක් ලබාදී ඇතැයි ද බ්‍රිතාන්‍ය පුවත්පත් වාර්තා කරයි. ඊට හේතුව වී ඇත්තේ නැමීබියාව යනු වීථි ප්රචණ්ඩ ක්‍රියා සහ අපරාධ බහුලව සිදුවන රාජ්‍යයක් වීමය. මේ සියල්ල හමුවේ හැරී මේගන් යුවල නැමීබියාවට යාවිද නැද්ද යන්න තවමත් ස්ථීර නැත. නමුත් යම් හෙයකින් ඔවුන් දෙදෙනා එහි ගියහොත් එය නැමීබියාවේ සංචාරක කර්මාන්තයට ද හොඳ කලදසාවක් උදා කරනු නියතය.
► Text — Rajitha