2018 මාර්තු 31 වන සෙනසුරාදා

කොසු පොල්ලෙන් වැඩ දාද්දී අපිට ඇඬුණා

 2018 මාර්තු 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 137

නිමේෂ්... වෙනස් විදියේ හැකියාවක්නේ ඔයාට තියෙන්නේ... කොහොමද ඔයා ඒ හැකියාව පුරුදු පුහුණු වුණේ...?
මම ඉගෙන ගත්තේ කඳවල නවෝද්‍ය මහ විද්‍යාලයේ. පුංචි කාලේ ඉඳන් මම මගේ අත්දෙක පිටපස්සට කර කර හිටියා. ටික දවසක් කරද්දී ඒ කරන දේ ඉබේම මට විනෝදාංශයක් වගේ වුණා. මම පිටිපස්සට අත් අදින එක වැඩිපුර කරන්න ගත්තා. ඊට පස්සේ තමයි මට ඒකට ආසාව වැඩිපුර ඇති වුණේ.

ඒ හැකියාව ඔපමට්ටම් කළ ගුරුවරුන් දෙදෙනා ගැන ඔයා නිතරම කතා කරනවා...?
ඔව්... ඇත්තටම වුණේ ඒකම තමයි. මම ඉගෙන ගත්තේ නිකුම් නිර්මාල් සර් සහ පිලිප් ජොයල් පීටර් සර් යටතේ Life Is Dance Academyයේ. ඒ දෙන්නා එකතුවෙලා මගේ හැකියාව හඳුනාගෙන මට කලාව ප්‍රගුණ කළා. සර්ලා දෙන්නාගේ මඟපෙන්වීම යටතේ මට තව බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන් වුණා. අත්දෙක විතරක් පිටුපසට හරවන්න පුළුවන් වුණු මට බෙල්ල පවා පිටුපසට හරවන්න හැකියාව ලැබුණා.

කොහොමද ඒ ගුරුවරුන් දෙදෙනා මුණගැසුණේ...?
ඒ සර්ලා දෙන්නා මට මුණගැසුණේ මගේ අයියා සහ එයාගේ යාළුවෙක් නිසා. 

කොහොමද මෙහෙම කරන්නේ ඔයා ලංකාවෙද ඇහුවා

නිමේෂ්ගේ පවුලේ තව කාටද මේ වගේ හැකියාවක් තියෙන්නේ...?
මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අයියයි, අක්කයි විතරයි. මම පවුලේ බාලයා... මගේ අයියයි අක්කයි පොඩි කාලේ ඉඳන්ම මාත් එක්ක අත් පිටිපස්සට කරනවා. අයියට ටිකක් කරන්න පුළුවන්. අක්කට ඉස්සර පුළුවන් වුණාට දැන් එච්චර බැහැ. 

පාසැලේදී නිමේෂ්ගේ ඔය හැකියාවට තැනක් තිබුණාද...?
ම්... එහෙමත් නැහැ. ඉස්කෝලෙදී ඔය ක්‍රීඩා තරග තියෙද්දී අපි නටනවා. ඉඳලා හිටලා ඒ නටන ගමන් මම අත්දෙක පිටිපස්සට කරනවා. කොහොමත් මම නටන පැත්තට බරයි. ඒ නිසා ඒ කාලේත් නැටිල්ලම තමයි ඇඟේ තිබුණේ.

ඔබ එක්තරා රූපවාහිනි නාලිකාවක් ඔස්සේ දියත්කළ Youth with Talent  තරගයකට ඉදිරිපත් වුණා... තෙවැනි ස්ථානය ලබා ගනිමින් ජයග්‍රහණයක් හිමිකර ගත්තා...?
ඒ තරගයට මාව ඉදිරිපත් කළේ මගේ සර්ලා දෙන්නයි. ඇත්තටම ඒ වගේ සර්ලා දෙන්නෙක් ලැබීම මගේ වාසනාවක්. මුල් කාලයේදීනම් අත් බෙල්ල එහෙම කරකවද්දී ටිකක් රිදුණා. ඇඟ එහෙමත් ටිකක් රිදුණා. හැබැයි පුරුදු වෙන්න පුරුදු වෙන්න මට ඒවා සාමාන්‍ය දේවල් වුණා.

තරග වේදිකාවේදී බෙල්ල, අතපය කරකවද්දී කොහොමද ලැබුණු ප්‍රතිචාර...?
මෙහෙම මම බෙල්ල අතපය කරකවද්දී මුලින්ම විනිශ්ච මණ්ඩලය පවා බය වුණා. මුලින්ම අපේ තරගය තිබ්බේ මහරගම තරැණ සේවා සභාවේ. මගේ හැකියාව බලලා ගොඩක් අය ඇහුවේ. “කොහොමද මෙහෙම කරන්නේ ඔයා ලංකාවේද ඉන්නේ කියලා...අන්තිම තරගයේදීත් මම මුලින්ම ස්ටේජ් එකට ආවේ බෑග් එක ඇතුළේ රිංගලයි. ඒ බෑග් එක ස්ටේජ් එකට ඇදගෙන ආවේ මගේ අයියා. මගේ අයියත් මම වගේමයි. ඉතින් ගොඩාක් දෙනෙක් එදා හිතුවේ ඒ බෑග් එක ඇදගෙන එන්නේ මම කියලයි.

තරගාවලියෙන් තෙවැනි ස්ථානය දිනාගත් නිමේෂ්ගේ ඊළඟ ඉලක්කය මොකද්ද...?
හැම දෙයක්ම සර්ලාගෙන් අහලා තමයි කරන්න උත්සාහ කරන්නේ. ඒ අතරේ මගේ හැකියාවත් ටී.වී. එකේ දැකලා විදේශ රටක ජීවත් වෙන ලාංකිකයෙක් මට ගොඩාක් උදව් කළා. ඉතින්... තාම මගේ ලොකු  හීන නැහැ. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගාය කළේ 2016 වසරේ. ඉතින්... කොහොමටවත් මේ මගේ හැකියාවෙන් යම් වෙනසක් කරන්න තමයි මගේ බලාපොරොත්තුව වෙන්නේ.

නිමේෂ් පුංචි කාලේ හීන දැක්කේ කවුරු වෙන්නද...?
පුංචි කාලේ ඉඳන් මගේ ආසාව වුණේ මෝටර් රථ කාර්මිකයෙක් වෙන්නයි. මගේ තාත්තාගේ රස්සාවත් පින්තාරු කිරීමයි. තාත්තාගෙ අයියාගේ පුතා රැකියාව විදිහට කරන්නේ මෝටර් රථ කාර්මිකයෝ විදිහට වැඩ කරන එක තමයි. මගේ ළමා කාලය වැඩිපුරම ගතවුණේ මගේ අයියයි, ඒ මහප්පාගේ පුතා එක්කයි. ඉතින්... ඒ නිසා පුංචි කාලේ ඉඳන් වාහන අතපත ගාණ පුරුද්දක් මගේ තිබ්බා. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මම වෘත්තීය පුහුණු අධිකාරියෙන් ඒ සම්බන්ධව පුහුණුවීමක් ලැබුවා.

පාසැලේදීත් නිමේෂ් නර්තනය හැදෑරුවාද...?
ඔව්... පාසැලේදීත් මම කලා විෂයට කළේ නර්තනයයි. මම හිතන්නේ ඒ කලාව මගේ ඇඟේම තියෙන්න ඇති. 
නිමේෂ් මධුවත්ත ගැන එයාගේ අම්මත් අපි එක්ක කතා කළා...

නිමේෂ් මේ වගේ හැකියාවක් තියෙන දරුවෙක් කියලා මුලින්ම දැනගනිද්දී මොකද හිතුණේ...?
මෙයාට වයස අවුරුදු දහතුනක් විතර වෙද්දී දවසක් මම ළඟට ඇවිත් “මම අත් ඔන්න පිටිපස්සට නවනවා අම්මේ කියලා එක පාරටම පිටිපස්සට නැව්වා. එතකොට මම බයවුණා. මම අත්දෙක හොඳට අතගාලා බැලුවා. ඇත්තටම මම එදා හිතුවේ පුතාගේ අත කැඩුණා කියලයි. ඒ වෙලාවේ පුතා “නෑ... අම්මා මුකුත් වුණේ නෑ... බය වෙන්න එපා කියලා මට කිව්වා... ඒ වෙලාවේ මම ලොකු පුතාට මේ ගැන කියද්දී “බයවෙන්න එපා... අම්මේ ඕක මායි මල්ලියි අම්මලාට හොරෙන් පුරුදු වෙලා හිටියේ. ඒ නිසා බය වෙන්න එපා... කීවා. මේ දෙන්නයි මගේ දුවයි අපේ ගෙදර උඩතට්ටුවේ තමයි අපිට හොරා ඔය දේවල් පුරුදු වෙලා තිබුණේ...

අවසන් තරගය බලන්න නිමේෂ්ගේ ගෙදර අයත්  ගියානේ... මොකද හිතුණේ...?
පුතා මේ තරගයට ගියපු මුල්ම තරගය බලන්න මටයි පුතාගේ තාත්තාටයි එන්න කිව්වා. එදා පුතා කොසු පොල්ල දාලා අත් දෙක අඹරද්දී නිමේෂ්ගේ තාත්තාටයි මටයි හොඳටෝම ඇඬුණා. ඇත්තටම එදා අපි දෙන්නා හොඳටෝම බය වුණා. පුතාට මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියලා අපි දැනගත්තේ එදයි. ඇත්තටම පුතා ගැන අපි දෙන්නටම හරි සතුටුයි... ඒ සතුට අපිට දුන්නු හැමෝටම ගොඩාක් ස්තූති කරන්නම ඕනේ. පුතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පුතාගේ ගුරුවරුන් දෙදෙනාත් එයාගේ යාළුවත් අපේ නෑදෑයින් වගේම මේ ගමේ අයත් ලොකු සහයෝගයක් දුන්නා.

 

► Text -Dishani  /  Pic - Sumudu