2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

හොකී තරුවෙන් ’’කිරි’’ පාඩමක්

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 120

මෑතකදී මව් පදවිය ලැබුණු සේරා ඉන් මාස කිහිපයකට අනතුරුව නැවතත් හොකී පිටියට පිවිසුණේ තම දරුවාට මෙන්ම ක්‍රීඩාවට ද තදින් ආදරය කළ නිසාය. එහෙත් ක්‍රීඩාව නිසා කිසිවිටෙක තම දරුවාට අඩුවක් වන්නට ද ඈ ඉඩ නොතැබුවාය. ඊට හොඳම සාක්ෂියක් පසුගියදා ෆේස්බුක් හරහා දක්නට ලැබුණි. 

සතියකට පමණ පෙරාතුව හොකී ක්‍රීඩා තරගයක් අතරතුරදී සේරා ක්‍රීඩා විවේකාගාරයට පැමිණ තම මාස අටක් වයසැති දියණිය එලී හට මව්කිරි ලබාදෙන පින්තූරයක් ඇය තම ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණි. විවේකාගාරයේ සෙසු ක්‍රීඩිකාවන් සිටියදීම තම උඩුකය ඇඳුම සම්පූර්ණයෙන්ම පහතට ඇද දමා අනවශ්‍ය ලජ්ජාවකින් තොරව ඈ තම සිඟිත්තියට සුව සේ කිරි උරා බීමට ඉඩ සලසා තිබුණාය. 

“ඒ වෙලාවේ මම හිතුවට අනිත් අය මා දිහා බලාගෙන ඉඳීවි කියලා, එයාලා ඒ ගැන ලොකු තැකීමක් කළේ නැහැ. ඉතින් මට පොඩ්ඩක්වක් ලජ්ජාවක් දැනුණෙ නැහැ” ඇය පසුව මාධ්‍ය හමුවේ කියා තිබුණි. 
ඒ වෙනුවට ඈට තම කණ්ඩායමේ සාමාජිකාවන්ගෙන් හිමිව තිබුණේ දිරිගන්වන සුලු වදන්ය. 

“මම එලීට කිරි දුන් සිදුවීම ගැන එයාලා කතා කළේ නැහැ. ඒගොල්ලෝ ඒක බොහොම සාමාන්‍ය දෙයක් හැටියටයි සැලකුවේ. ඒ වෙනුවට ඒ ගොල්ලෝ එලීගේ හුරැබුහුටිකම් ගැන නම් කතා කළා”. 
ඈ තමා එලීට ක්‍රීඩා විවේකාගාරයේදී කිරි දෙන පින්තූරයක් අන්තර්ජාලයට එක් කරන්නට තීරණය කර තිබුණේ ද කණ්ඩායමේ සෙසු ක්‍රීඩිකාවන්ගෙන් ලැබුණු සහයෝගී ප්‍රතිචාරය නිසාය. 
“මම හිතන විදිහට මව්වරු තමන්ගේ බිළිඳු දරුවන්ට ප්‍රසිද්ධ ස්ථානවලදී වුණත් කිරි දෙන්න මැළිවිය යුතු නැහැ. අනිත් අතට පියයුරු කියන්නේ ලිංගික සංකේතයක් ලෙස දකින එකත් වැරදියි. මොකද පියයුරුවල කාර්යභාරය දරුවන් පෝෂණය කිරීමයි” ඈ කියන්නීය. 

ඇත්තෙන්ම සේරා කළ දෑ බටහිර ලෝකය තුළ සාමාන්‍ය මවක් නොකරන තරමේ දෙයකි. එහෙත් ලංකාව ඇතුළු ආසියාතික සහ අප්‍රිකානු බොහෝ රටවල මව්වරු ප්‍රසිද්ධ තැන්වලදී පවා තම දරුවන්ට කිරි ලබා දීම පිණිස පියයුරු නිරාවරණය කිරීමට මැළි නොවෙති. එය බටහිරටත් පෙරදිගත් අතර තිබෙන සංස්කෘතිකමය, ආකල්පමය වෙනසකි. 

එහෙත් දැන් දැන් අපේ රටවල නාගරික සමාජය තුළදී ද ප්‍රසිද්ධ තැන්වලදී දරුවන්ට මව්කිරි දීම වෙනුවට පිටි කිරි දැමූ බෝතලයක් කටේ ගැසීම මෝස්තරයක් වී හමාරය. එසේත් නැතිනම් මව්කිරි දොවා තබා බෝතලයක ආධාරයෙන් දරුවන්ගේ කටේ ගැසීමට මව්වරු හුරු වී සිටිති. එහෙත් මවක් තම දරුවාට කිරි දීම යනු සමාජයෙන් සැඟවිය යුතු දෙයක් නොවේ. එය ලජ්ජාවට කරුණක් ද නොවේ. බටහිර ලෝකයෙන් පමණක් නොව ආසියාවෙන් පවා ගිලිහී යන යමක් නැවත ප්‍රචලිත කිරීමටත්, ඒ ඔස්සේ තම දරුවන්ගේ නිසි පෝෂණය ගැන සිතීමටත් සේරාගෙන් පාඩමක් උගත හැක්කේ එනිසාය. 

► Text — Rajitha