කළණි... අද ප්‍රවීණ වයලීන් වාදකයෙක් වුණු ඔබගේ ළමා කාලය ගෙවුණේ කොහොමද?
මගේ ගම නුගේගොඩ. ඉපදිලා අවුරුදු දෙකක විතර කාලයක් නුගේගොඩ ඉඳලා අපි මීගමුවේ පදිංචියට ගියා. මගේ තාත්තගේ රස්සාවත් එක්ක අපි මීගමුවට ගියා. ඊටපස්සේ මම පාසල් ගියෙත් මුලින්ම මීගමුවේ පාසල්වලට තමයි.
ඔබ පාසල් දෙක තුනකම ඉගෙනීම ලැබුවා නේද...?
ඔව්... මුලින්ම මම මීගමුවේ නිවුස්ලන්ඩ් බාලිකාවේ තමයි ඉගෙන ගත්තේ. ඒ පාසලේ ඒ කාලේ පහ වසර වෙනකම් පිරිමි ළමයින්ටත් ඉගෙන ගන්න පුළුවන්. ඉතින්... ඊටපස්සෙ මම මීගමුවේ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයට ඇතුළත් වුණා. ඊටපස්සෙ තාත්තා ආයෙ කොළඹ ආවා. ඒ නිසා ආයෙමත් අපිව ඒ පාසලෙන් අයින් කරලා කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ඇතුළත් කළා. මගේ පවුලේ අයියලා තුන්දෙනයි අක්කයි මල්ලියි ඉන්නවා.
පාසලේදී සංගීතය විෂයක් විදිහට හැදෑරුවද...?
ඔව්.. ඇත්තටම මගේ ජීවිතේ මගේ මුල්ම ගුරුතුමා තමයි අයිවෝ ඩෙනිස් මාස්ටර්. ඔහු තමයි හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ ඒ කාලේ සංගීත ගුරුතුමා විදිහට කටයුතු කළේ. හැබැයි සර් වාදනය පමණයි ඉගැන්නුවේ. තර්ස්ටන් විද්‍යාලයට ගියාට පස්සෙ යෝගානන්ද බාලසූරිය සර් පාසල් වාද්‍ය කණ්ඩායම්වලට පුහුණුවීම් කරන දිහා මම බලාගෙන හිටියා. ඇත්තටම සංගීතයට මට තිබුණේ පුදුමාකාර කැමැත්තක්. එහෙම ඇස්පිල්ලම් නොගහා බලාගෙන ඉඳිද්දී දවසක් යෝගානන්ද සර් මාව ළඟට ගෙන්වලා ඇයි සංගීතයට ආසද..? කියලා ඇහුවා. මමත් ආසයි කිව්වාම මොනවද වාදනය කරන්න පුළුවන් වාද්‍ය භාණ්ඩ..* කියලා ඇහුවා. ඒ වෙද්දී මවුත් ඕගන් එක මට ටිකක් වාදනය කරන්න පුළුවන්කම තිබුණා. මම ඒක වාදනය කරලා පෙන්නුවා. ඒ වාදනයෙන් පස්සෙ මාව කණ්ඩායමට එකතු කරගෙන මට වයලීනය වාදනය කරන්න පුරුදු කළා. තර්ස්ටන් විද්‍යාලයේ වසරක් පාසා පවත්වන සංගීත ප්‍රසංගවලට වගේම පාඨශාලා සංගීත තරගවලටත් අපි එකතු වුණා. නව රඟහල විවෘත කළෙත් ඒ කාලේදිමයි.
පාසලෙන් පසුව සංගීත ශිල්පියෙක් විදිහට කළණිගෙ ආරම්භය පටන් ගත්තෙ කොහොමද...?
මම සංගීතයට ආසා බව දැනගත්තු මගේ තාත්තා මාව සංගීතය හදාරන්න යොමුකළා. මගේ අක්කටත් පියානෝවක් තිබුණා. අක්කට ගුරුවරයෙක් ගෙදරට ඇවිත් පියානෝව වාදනය කරන්න ඉගැන්නුවා. මම ඔහුගෙන් ඉගෙන ගත්තෙ නැතත් උගන්වන දේ අහගෙන, බලාගෙන හිටියා. ගුරුතුමා උගන්වලා ගියාට පස්සෙ මම පියානෝව ළඟට ගිහින් ඒ දේ තනියම ඉගෙන ගත්තා. ඊටපස්සෙ මම නන්දා මාලිනී මහත්මියගේ කන්දෙවත්ත පන්තියේ ඉගෙන ගත්තා. එතැනින් ගෝකුල මහත්මයා මාව ප්‍රසංගවලට සම්බන්ධ කරගත්තා. ඊටපස්සෙ මම වික්ටර් ගුරුතුමාගෙන් ඉගෙන ගත්තා. ඔය කාලෙදී විවිධ ප්‍රසංගවලට වයලීනයෙන් සංගීතය සපයන්න මට අවස්ථාව ලැබුණා. ස ප්‍රසංගයේ වගේම සාරංගා වගේ බොහෝ ප්‍රසංගවලටත් මම වයලීනයෙන් සංගීතය සැපයුවා.
කළණි... ගුවන් විදුලියේ නිත්‍ය වාදකයෙක් විදිහටත් සම්බන්ධ වුණානෙ...?
ඔව්.. 1976 අවුරුද්ද වෙද්දී මම ගුවන් විදුලියට අයැදුම්පතක් දාලා සහාය වාදකයෙක් විදිහට පත්වීම ලැබුවා. 1980 ගණන්වලදී මම ස්ථිර සේවකයෙක් විදිහට පත්වීම් ලැබුවා. ඒ කාලය තුළදී ගුවන් විදුලියේ බොහෝ සංගීත ප්‍රසංගවල වයලින් වාදකයෙක් විදිහට කටයුතු කළා.
ගුවන් විදුලියේ ස්ථිර සේවකයෙක් විදිහට වැඩ කරපු කළණි අස්වීමේ ලියුම දීලා ගෙදර නතර වුණේ ඇයි...?
ඇත්තටම මම හිතන විදිහට ගුවන් විදුලියේ ස්ථිර සේවකයෙක් විදිහට හොඳ රැකියාවක් කරන ගමන් අස්වීමේ ලියුම දීලා ගෙදර නැවතුණු පළමු සේවකයා මම වෙන්න ඇති. ගුවන් විදුලියේ ස්ථිර සේවකයෝ බොහෝ දෙනෙක් නමට ගුවන් විදුලියට වැඩ කළාට ගුවන් විදුලියේ සේවයේ ඉන්න ගමන් වෙනත් බාහිර කටයුතු කරගත්තා. ඔවුන්ට යාළුවෝ තමයි එන යන එකට අත්සන් පවා කළේ. හිතට එකඟව මේ කටයුත්ත කරන්න මම අකමැති වුණා. ඒ කාලෙදී බාහිර ප්‍රසංගවලට, රෙකෝඩින්වලට මට අවස්ථාව ලැබුණා. ඒ නිසා මම අස්වීම දීලා ගෙදර නතර වුණා.
ඔබ සංගීත අධ්‍යක්ෂණය කරපු බොහෝ නිර්මාණ අදටත් ඒ විදිහටම ජනප්‍රියයි...?
ගුවන් විදුලියේ ඉන්න ගමන් නව නිර්මාණ කියලා වැඩසටහනක් මට කරන්න අවස්ථාව ලැබුණා. එතැනදී ගුවන් විදුලියේ ගීත රචනා බැංකුව කියලා අලුත් ගීත රචකයන්ගේ පද තෝරන එක මට බාරවුණා. එතැනදී අලුත් ගීත රචකයන් තෝරගෙන ඔවුන්ගේ ඒ බොහෝ නිර්මාණයන්ට මම සංගීතය සැපයුවා. ඒකෙන් මම තෝරගෙන සංගීතය සැපයුව මුල්ම ගීතය තමයි කැරකෙන රෝදේ ගීතය.
කැරකෙන රෝදේ පුංචි කරත්තේ
ඉඳගෙන මම ඉන්නේ
පදික වේදිකා පසුකර යන්නට
තල්ලු කරන් පුතුනේ
කැඩුණු පාවහන් කුඩ නිමවාලා
දවසේ වියදම සරි කරවාලා
අඳූර වැටෙන්නට කලියෙන් ගෙදරට
තල්ලු කරන් පුතුනේ
කිරිකැටි දෙඅතේ සවිබල දියැවේ
පමාවුණොත් අප මහ මඟ තනිවේ
අම්මා මඟ ඇති නෙත් හරවාගෙන
තල්ලු කරන් පුතුනේ...
ගීත රචනා බැංකුවට ආපු තවත් ගීතයක් නේද නීලා වික්‍රමසිංහයන් ගායනා කරන ඉතා ජනප්‍රිය ගීතයක් වන සිලිං බිලිං.. ගීතය...?
ඔව්... ඒක ඇත්ත. ඒකත් ඒ වැඩසටහනින්ම තෝරාගත්තු ගී පද රචනයක් තමයි. ඊටපස්සෙ තමයි මම සරල ගීත වැඩසටහනකට අමරසිරි පීරිස් මහතා ගැයූ මලක් වුණේ.. ගීතයට සංගීතය සැපයුවේ.
මලක් වුණේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිපගන්නට තහනම්
විලක් වුණේ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්
පහන් තාරකාවක් සේ
ජීවිතයට මඟ කීවද
ඒ එළියෙන් මහද පහන්
දල්වනු කෙලෙසින්
සහන් ගීතිකාවක් සේ
ජීවිතයේ ගිම් නිවුවද
ඒ ගීයේ සොඳුරු වදන්
මුමුණනු කෙලෙසින්
ඇත්තටම හොඳ ගීත පටන් ගත්තේ ගුවන් විදුලියෙන්ම තමයි.
කළණි නේද ආචාර්ය අමරදේව මාස්ටර්ගේ අන්තිම ගීතයේත් සංගීතය නිර්මාණය කළේ...?
ඔව්.. ඔව්.. ඒක කළේ මම තමයි. හැබැයි තාම ඒක ප්‍රචාරය වුණේ නෑ. ඇත්තටම ඒක ලොකු වැඩසටහනක්. මියුසික්වලට තියෙන ආසාවට තමයි අපි ඒක කළේ. බුද්ධ පරිනිර්වාණය ගැන කියවෙන ගීත දහසයක් ඒකෙ අඩංගුයි. ඒ දහසය වැනි ගීතය තමයි මේ. ඒ ගීතය මහා පරිනිර්වාණය ගැන කියවෙන විනාඩි විසිහයක ගීතයක්.මේ සියලු ගීත රචනා කළේ ආචාර්ය සිරි එදිරිසිංහ. ලංකාවේ මොකක්දෝ තියෙන අහේතුවකට අපිට ඒ ගීත එකතුව එළිදක්වන්නට බැරිව ඉන්නවා. ඒ සින්දු දහසයම කළේ මම. අමරදේව මාස්ටර් අන්තිමට ගායනා කළේ ඒ ගීතයයි. මාස්ටර් හරිම ආසාවෙන් ඒ ගීතය ගායනා කළා. ඔහුගේ වයසත්, ඒ පිරිපුන් බවත්, ඒ හඬේ ඇති හැකියාවත් එක්ක හරි අපූරුවට ඔහු ගායනා කළා. නමුත් බොහෝ දෙනෙකුට ඒ වටිනාකම දැනුණේ නෑ. කවුරුවත් ඒ වෙනුවෙන් අනුග්‍රහයක් දැක්වූවේ නෑ. ඇත්තටම ඒ ගැන තියෙන්නෙ ලොකු දුකක්.
අලුත් පරම්පරාවේ අයට සංගීතය නිර්මාණය කරන්නෙ නැද්ද...?
ඉඳලා හිටලා කරනවා. නමුත් දැන් මේ යන රැල්ල ගැන තියෙන්නෙ කලකිරීමක්. අලුත් පරපුර බොහෝදුරට හින්දි සංගීතයට තමයි ගීත ගායනා කරන්න උත්සාහ ගන්නෙ. තමන්ගේ හඬ, තමන්ගේ තැන ගැන කිසිම වගකීමක් නැතිව දුවන්නන් වාලේ දුවන රැල්ලක් තමයි අද තියෙන්නෙ. ඇත්තටම මම කැමති විදිහට නිර්මාණයක් කෙරෙන්නෙ නැත්නම් මම කැමති නෑ.
අද ඔබ දරුවන් හතරදෙනෙක්ගේ පියෙක්. කොහොමද ඒ ජීවිතේ...?
ඔව්.. ඒ ජීවිතේ හරිම සතුටින් ගෙවෙනවා. ලොකු පුතා කොළඹ රාජකීය විද්‍යාලයේ රග්බි ක්‍රීඩා උපදේශකයෙක් විදිහට කටයුතු කරනවා. අනිත් පුතාලා දෙන්නා මියුසික් කරනවා. ඒ දෙන්නා එකතුවෙලා බෑන්ඩ් එකකුත් කරනවා. ඇත්තටම මේ කවුරැවත් මේ ෆීල්ඩ් එකට එන්න කැමති නෑ.
රටේ ප්‍රවීණයන්ට වයලීනයෙන් විශාල සහයෝගයක් දැක්වූ ඔබ ඔවුන්ගේ විදෙස් සංචාරවලට සහභාගි වෙන්නෙ නෑ.. ඇයි ඒ...?
අනේ මන්දා... ඒකම තමයි මටත් හිතාගන්න බැරි. එදා ප්‍රවීණයන්ගේ ප්‍රසංග බොහොමයකට මම ඇතුළු කිහිපදෙනෙක් සංගීතය සැපයුවා. නමුත් අද ඔවුන්ගේ ප්‍රසංගවලට, විදෙස් සංචාරවලට අපිට අවස්ථාව දෙන්නෙ නෑ. අද ඔවුන් ඒ වෙනුවට ආධුනික අයව එකතු කරගන්නවා. ඇයි මෙහෙම වෙන්නෙ? මම කවදාවත් කාටවත් කුහකකම් කරන්නෙ නෑ. ඒත්.. මම දන්නෙ නෑ ඇයි මෙහෙම කරන්නෙ කියලා. මගේ කවදාවත් මේ අලුත් පරපුර එක්ක තරහක් නෑ. නමුත් ඇතැම් ප්‍රවීණයන්ට පවා අද අපිව අමතකයි.
ඔබ දරුවන්ට සංගීතය උගන්වන ගුරුවරයෙක් විදිහටත් කටයුතු කළා නේද...?
ඔව්.. දැනටත් මම සංගීතය උගන්වනවා. කාලයක් මම විශ්වවිද්‍යාලවල පවා දේශන පැවැත්වුවා. හැබැයි සමහර දේවල් නිසා මට ඒ දේවලුත් එපා වුණා. දරුවන් කලාව ඉගෙන ගන්න කැමති නෑ. උදේට සමහර දරුවන් මට කෝල් කරලා මේ.. අද ඔයා එනවද..? කියලා තමයි අහන්නෙ. අපි කවදාවත් ජීවිතේට ගුරුවරයෙක්ට කතා කරලා අද ඔයා එනවද...? කියලා අහලා නෑ. අද ගුරුවරුන්ට කිසිම ගරුත්වයක් නෑ. ඒ නිසා මම අද පෞද්ගලික පන්ති පමණක් පවත්වනවා. සංගීතයට මම හරි කැමතියි. මේ ක්ෂේත්‍රයට මම හරි කැමතියි. නමුත් අද සිදුවන ඇතැම් සිදුවීම් නිසා මගේ හිතේ තියෙන්නෙ කලකිරීමක්.
නෙතු දැහැන් බිඳී හද විමන් වදී
සුරඟනක් වගෙයි කුමරී
සෙනෙහසින් බැඳී සිත ගිමන් නිවී
පෙම් කවක් ලියයි මිහිරී
ඝනඳුරෙන් මිදී තරු රැහැන් ඇදී
සිහිනයෙන් වඩී කුමරී
මීදුමෙන් ඇදී සිහිලසින් එතී
නෙත් අගින් බලයි සොඳුරී
හසඟනන් පිරී පෙති පියුම් ඇරී
කළඹවයි විලේ වැතිරී
සඳ කැළුම් රිදී තොල් අගින් මිඳී
නෙක දසුන් මවයි කිඳුරී
(විශාරද එඩ්වඩ් ජයකොඩි ගායනා කරන කළණි පෙරේරා සංගීතවත් කළ තවත් අපූරු ගීතයකි මේ...)
► Text – Dishani / Pic - Sumudu