2018 අප්‍රේල් 13 වන සිකුරාදා

ඕන දෙයක් ඉල්ලපල්ලා.. ලඩ්ඩුනම් නැහැ

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 181

නිරංජනී... පුංචි කාලේ අවුරුදු සමරපු හැටි තාමත් මතකයිනේ.. කොහොමද ඒ කාලේ?
අම්මෝ... ඔව්. ඒ කාලේ තමයි ෂෝක් අවුරුදු තිබුණේ. මගේ ගම නුවර බලගොල්ලේ. ඉතින් ගමේ තමයි අවුරුදු ජය. ඒ කාලේ අපේ ගෙදර හදන්නේ දමිළ රසකැවිලිනේ.

මොනවද ඒ?
අපි ලඩ්ඩු හදනවා. බූන්දි, මුරුක්කු, තව සිංහල අය හදන මුං කැවුම් වගේ අපි මුං ඇටවලින් පාසිපේර උරුඩි කියලා කැවිලි ජාතියක් හදනවා. ඒක මරු. ඒවා මුං ඇටවලින් හදන රවුම් රසකැවිලි වර්ගයක්. ඉතින් ඒවා හදාගෙන අපි අපේ අහල පහල ඉන්න යාළුවන්ට කෑම දෙනවා.

ඔය ගමේ අහල පහල සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් හැම යාළුවෙක්ම නිරංජනීට හිටියද?
ඔව්.. ඔව්... අදටත් ඒ අය මගේ යාළුවෝ. ඉතින් අපි සිංහල හින්දු අලුත් අවුරුද්දට අර හදපු කැවිලි පිඟන් උස්සගෙන අනිත් ගෙවල්වලට දුවනවා. එහෙම යන්නේ අපිට ඒ ගෙවල්වලින් ලැබෙන්නේ මොනවද කියලා බලාගෙනයි. අපිට රසකැවිලි පිඟානක් දීපු ගමන් බලාගෙන ඉන්නේ ඒ කෙනා යනකනුයි. ඊට පස්සේ ඉතින් ටක් ගාලා ගිහින් මොනවද තියෙන්නේ කියලා බලනවා. ඒ පිඟානේ නැති කැවිලි ජාතියක් අනිත් පිඟන්වලින් අපේ ගෙදරට  එනකන් අපි බලාගෙන ඉන්නවා. ඒවා තමයි අපි වැඩියෙන්ම හොයන්නේ. හැබැයි එක අවුරුද්දක කෑම පිඟානක් අපිට නොදුන්නොත් අනිත් පාර අපිත් ඒ අයට දෙන්නේ නැතිව ඉමු කියලා හරිම තරහෙන් තමයි පුංචි කාලේ අපි හිතුවේ. අවුරුදු දවසට නොදී ඊළඟ දවසේ අපේ ගෙදරට කෑම පිඟානක් ලැබුණොත් ආයේ අර අවුරුදු දවසේ හිතේ තිබුණු පුංචි තරහව නැතිවෙලා යනවා... ඒ පිඟාන දැක්ක ගමන් අර කේන්තිත් ඔක්කොම අමතකයි.

සිංහල කෑමවලින් නිරංජනී ආසම කැවිලි මොනවද?
මම සිංහල කැවිලිවලින් ආසම දේ තමයි ආස්මි. හැබැයි ආස්මිවලට ගොඩාක් පැණි දාලානම් ති‍යෙන්න ඕනේ. පැණි දාපු නැති බොරුවට නමට විතරක් පැණි චුට්ටක් වක්කරපු ආස්මිවලට නම් මම කැමති නැහැ. ඒ වගේම මම මුං ඇට කැවුම්වලටත්, කොකිස්වලටත් කැමතියි.

අලුත් අවුරුද්දට යාළුවන් එක්ක කරපු සෙල්ලම් මොනවද?
පොඩි කාලේ ඔංචිලි පදිනවටත් වඩා අපි හරිම ආසාවෙන් කරපු සෙල්ලම තමයි බට්ටා පනින එක. යාළුවෝ කට්ටිය එකතු වුණාම බට්ටා පනිනවා. එහෙම නැත්නම් ජිල්බෝල සෙල්ලම් කරනවා. දැන් ළමයි ඔය දේවල් දන්නේවත් නැතිව ඇති. හැබැයි ඒ කාලේ අපි හරිම ආසාවෙන් ඔය සෙල්ලම් කළා. ඒ වගේම අපි පාට හොයන සෙල්ලමක් කළා. ඇස් වහගෙන පාටවලින් එක එක දේවල් හොයන සෙල්ලම් අපි ඇතිතරම් කරලා තියෙනවා. ඔය සෙල්ලම්වලට සිංහල යාළුවෝ, දෙමළ යාළුවෝ, මුස්ලිම් යාළුවෝ වගේම බර්ගර් යාළුවෝ එකතුවෙනවා.  අපිට සෙල්ලම් කරන්න කිසිම භේදයක් තිබුණේ නැහැ.

එතකොට නිරංජනීලා අලුත් අවුරුද්දට ලස්සනට ඇඳගෙන කෝවිල් එහෙමත් යනවනේ...?
ඔව්නේ... සිංහල යාළුවෝ පන්සල් යනවා වගේ අපි කෝවිල් යනවා. අපි අලුත් අවුරුද්දට නාලා එහෙම අලුත් ඇඳුම් අඳිනවා. හැබැයි අලුත් අවුරුද්දට සූදානම් කරන විශේෂ ඇදුම්  අපේ මව්පියන්, වැඩිහිටියන්ගේ ආශිර්වාදය ඇතිව තමයි අපිට දෙන්නේ. ඒ ඇඳුම්වලින් තමයි අපි කෝවිල් යන්නේ. ආයේ ඉතින් ඒ ලස්සන ඇඳුම් ගලවන්නේ මහරෑට තමයි. ඒ තරමටම ඒ ඇඳුම්වල හැඩවැඩ බලනවා.

කෝවිල් ගිහින් එනකම් කන්න තහනම්ද..?
ඔව්නේ... හැබැයි ඉතින් අපි කැවිලි හොරකම් කරලා කනවා. අලුත් අවුරුද්දට කන්න තියෙන වෙලාවට කලින් අපි ලඩ්ඩු හොරකම් කරලා කෑවා. ලඩ්ඩු හදන්නේ ගිතෙල්වලින්නේ. ඉතින් කෑවම සුවඳ තියෙනවා. ඉතින් එක ලඩ්ඩුවක් කනවා වතුර බොනවා. ආයේ ලඩ්ඩුවක් කනවා වතුර බොනවා. සුවඳින් හොරකම් අහුවෙන නිසා ඇතිතරම් වතුර බීලා, ලඩ්ඩු කාලා ඉස්මුරුත්තාව හැදිලා කාපු ලඩ්ඩුම වමනේ කළා. ඊට පස්සේ උණ ගැනුණා. එදා ඉඳන් කහ පාටට බෝලයක් දැක්කත් මට කරකැවිල්ල වගෙයි. සමහර යාළුවෝ අදටත් මගෙන් අවුරුද්දට ලඩ්ඩු ඉල්ලුවොත් ඕන දෙයක් ඉල්ලපල්ලා.. ලඩ්ඩුනම් නැහැ කියලා තමයි මම කියන්නේ.

අද වෙනකොට නිරංජනීගේ සිංහල හින්දු අලුත් අවුරැද්ද ගෙවෙන්නේ කොහොමද?
අද අපි වෘත්තීය මට්ටමේ කාර්යබහුල වුණාම මේ හැමදේම අපිට මඟහැරුණා. ඇත්තටම ඒ ගැන දුකයි. අලුත් අවුරුද්ද දවසේ අපි ගෙවල්වල නැහැ. එක්කෝ නාලිකාවක. එහෙමත් නැත්නම් විශේෂ වැඩසටහනක. ඉතින් ඒ කාලේ මගේ යාළුවෝ එක්ක ගතකරපු ඒ අවුරුදු කාලය හරි ලස්සනයි. තාමත් මම ඒ ගමට හරි ආදරෙයි.

 

► Text - Dishani  / Pic – Internet