උපතින් කෙනෙකු ස්ත්‍රියක හෝ පුරුෂයෙකු වන්නේ තම සිරුරේ හෝමෝන ක්‍රියාකාරීත්වය අනුව යන්න ජෛව විද්‍යාත්මක පදනමයි. එහෙත් මේ හෝමෝන ක්‍රියාකාරීත්වය අවුලකට පත් වූ පුද්ගලයන් ද අද වනවිට සමාජයේ ඕනෑතරම් දැකිය හැක. එවන් එක් පිරිසක් අපි හඳුන්වන්නේ සංක්‍රාන්ති ලිංගිකයන් ලෙසිනි. එනම් උත්පත්තියෙන් ස්ත්‍රියක වුවද එවැනි පුද්ගලයෙකු මනසින් පිරිමියෙකි. ඒ හෝමෝන ක්‍රියාකාරීත්වය නිසාය. උපතින් පිරිමියෙකු වන අයෙකු මනසින් ස්ත්‍රියක් වීට ද පුළුවන. මෙවැනි සංක්‍රාන්ති ලිංගිකයන් ගැන අපි අසා ඇති මුත් සංක්‍රාන්ති ලිංගිකයන්ගේ විවාහ ගැන අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. ඒ අතුරින්ද අතිශය විරල සිදුවීමක් වන සංක්‍රාන්ති ලිංගිකයන් දෙපළකගේ විවාහයක් ගැන අපිට බ්‍රිතාන්‍යයෙන් අසන්නට ලැබේ. මේ ඔවුන්ගේ සංවේදී කතාවයි.
හැනා බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ කපිතාන්වරියකි. අද හමුදාවේ ඉහළම තනතුරක් දරන ඈ හමුදා සේවයට එක්වූයේ පිරිමියෙකු ලෙසිනි. එහෙත් ඈ දැන් ප්‍රියමනාප කාන්තාවකි.
මට පුංචි කාලෙ ඉඳන්ම තේරුණා මගේ ඇඟ ඇතුළෙ ඉන්නෙ පිරිමියෙක් නෙමේ ගැහැණියක් කියලා. ඒ හින්දා මම ගොඩක් දුක් වින්දා. අම්මලා එක්ක සාප්පුවල ඇවිදිද්දි කාන්තා ඇඳුම් අංශයට මම ගියේ පුදුම ආසාවකින්. ඒත් මම ලෝකෙ ඉස්සහරට ගිහින් මගේ ඇත්ත හෙළි කරන්න බය වුණා.”
ඈ හමුදාවට එක්වන්නේද තම කාන්තා හැඟීම් යටපත් කරගැනීමට එය මාර්ගයක් වනු ඇතැයි සිතූ බැවිනි. හමුදා ජීවිතය තුළ පිරිමියෙකු මෙන් වෙහෙසී දැඩි ශාරීරික ක්‍රියාකාරකම් කිරීමට සිදුවුවද ඈට තම කාන්තා හැඟීම් මැඩ ගැනීමට හැකිවූයේ නැත.
අවසානයේදී ඈ තම ජීවිතයේ බරපතළම තීන්දුව ගත්තාය. ඒ වෛද්‍යවරයෙකු මුණගැසී තමාව ස්ත්‍රියක ලෙස පරිවර්තනය කරගැනීමට ප්‍රතිකාර ලබාගැනීමයි. ඒ අනුව ඈ හෝමෝන ප්‍රතිකාර ලැබීම ඇරඹුවාය. මුලදී ඇගේ මුහුණේ තිබුණු රැවුල අතුරුදන් විය. අනතුරුව පියයුරු වර්ධනය වූ අතර හැබෑ ස්ත්‍රී පෙනුමක් ඈට හිමිවුණි.
හමුදාවේ මාත් එක්ක හිටපු අය මම ගැන මොනවා කියාවිද කියලා මම ගොඩක් ලොකු බයකින් හිටියේ. ඒත් මම හිතුවට වඩා ලොකු සහයෝගයක් මට හමුදාවෙන් ලැබුණා. වෙච්ච දේ ගැන මගේ අම්මා ගොඩක් කණගාටු වුණා. ඒත් ගෙදර අයත් මාව අත්හැරියෙ නෑ, මා එක්කම හිටියා.
ජේක්ගේ කතාව ද ඊට සමානය. චිත්‍රපට කර්මාන්තය පිළිබඳව හැදෑරූ ජේක් උපතින් ස්ත්‍රියකි. එහෙත් ඔහුගේ ශරීරය තුළ ජීවත් වූයේ කාන්තාවක් නොව පිරිමියෙකි. ඔහුට කුඩා කාලයේ කැරළි සහිත කොණ්ඩයක් තිබූ අතර ඔහුගේ මවගේ අදහස වූයේ කැරළි බව අඩුකරගැනීම සඳහා කොණ්ඩය කොටට කැපිය යුතු බවයි. පුංචි ජේක් ඊට එකසිතින් එකඟවූයේ කොණ්ඩය කැපීමෙන් තමා පිරිමි ළමයෙකු ලෙස දිස්වූ බැවිනි.
මම කණ්ණාඩිය ළඟට ගියේ බොහොම කලාතුරකින්. මට මගේ ඇඟ දකින එක එපා වෙලයි තිබුණෙ. මාව බලහත්කාරයෙන් ගෑනු ඇඟකට දාලා කියලයි මට හැමතිස්සෙම හිතුණෙ. මම හැමදාම රෑ නින්දට ගියේ හෙට උදේට මම පිරිමි ළමයෙක් වෙලා උපදින්න කියලා ප්‍රාර්ථනා කරමිනුයි.”
වරක් නිව් යෝර්ක් නුවරට ගිය අවස්ථාවකදී සංක්‍රාන්ති ලිංගිකයෙකු හමුවූ ජේක් හෝමෝන ප්‍රතිකාර ගැන දැනුවත් වූයේය. ඔහු දෙවරක් නොසිතීය. මාස ගණනකින් තම ස්ත්‍රී ශරීරය පිරිමි ශරීරයක් බවට පත්කරගත්තේය.
එසේ තම දෛවය තමන්ට සිතැති පරිදි වෙනස් කරගන්නට මොවුන් සමත් වුවද විවාහ ජීවිතයක් යනු කිසිදිනෙක තමන්ට ලබාගත හැකි දෙයක් යැයි ඔවුන්ට දැනී තිබුණේ නැත. එහෙත් මීට කලකට පෙර ජේක්ගේත් හැනාගේත් පළමු හමුව සිදුවූ මොහොතේදීම ජේක් ආලයෙන් වෙළී ගියේය. ඔහු හැනාට රාත්‍රී ආහාර වේලක් සඳහා පිටතට යාමට ඇරයුම් කළේය. හැනාද මඳ චකිතයකින් යුතුව ඒ ඇරයුම පිළිගත්තාය.
දවස හොඳින් ගෙවී ගියේය. විහිළුවෙන් විනෝදයෙන් දවස ගතවිය. ඔවුන් දෙදෙනාම සංක්‍රාන්ති ලිංගිකයන් බව දැන ගැනීම ඔවුන් අතර අවබෝධය තවත් වැඩිවීමට හේතුවක් විය. මාස ගණනක ඇසුරකින් පසු තම මාපියන්ගේ ආශීර්වාදය ද සහිතව ඔවුහු විවා දිවියට ඇතුළු වූහ. පසුගියදා Good Morning Britain නම් රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔවුහු තම කතාන්දරය ලෝකය හමුවේ ඉදිරිපත් කළහ.
ස්වභාව ධර්මය මෙන්ම සමාජය තමන්ට එරෙහිවන තැනක සිටියද හැනා සහ ජේක් තම ජීවිතයේ සතුට සොයා ගියහ. අපද ඔවුන්ට සුබ යුගදිවියක් ප්‍රාර්ථනා කරමු!
ඩේලි මේල් ඇසුරිනි
► Text — Rehan Rasik