මේ දවස් කිහිපයම ගෙවී ගියේ දමිළ චිත්‍රපට කිහිපයක් එක්ක. දමිළ සිනමාවට මම හුඟක් කැමතියි. මිනිස්සුන්ගේ හැඟීම් සහ ජීවිතය ගැන ඒ චිත්‍රපට ඔස්සේ හුඟක් ගැඹුරින් කතාබහ කරනවා කියලා මට හිතෙනවා. දමිළ බස කන්දෙකට හින්දි ඉංග්‍රීසි වගේ භාෂාවන් තරම් මිහිරක් නොගෙනාවත් බොලිවුඩ් සිනමාවට වඩා කොලිවුඩ් සිනමාව හදවතට හා ප්‍රකෘති මිනිස් හැඟීම් එක්ක හුඟක් යා වෙනවා. මේ දින කිහිපයේ බැලූ දමිළ සිනමාපට අතරින් හිතට හුඟක් දැනුණේ ප්‍රේමම් කියන දමිළ චිත්‍රපටය.
ආදරය වචන නැතුව කතාකරන්න පුළුවන් ලෝකයේ එකම භාෂාව කියන එක ප්‍රේමම් හරි ලස්සනට ඒත්තු ගන්වනවා. ඇත්ත ජීවිතය සිනමාවෙන් හුඟක් ඈතයි. සිනමාව තරම් ඇත්ත ජීවිතේ සුන්දර නැති වග පසක් වෙන හුඟක් තත්ත්පර අපට ජීවිතයේ හිඟ නෑ. ඒත් ඒ අැත්තත් එක්කම ජීවිතේ හැම තත්ත්පරයක්ම ගෙවා දමන එක පහසු නෑ. ජීවිතේ ඒ ඇත්ත වෙහෙස නැති කරගන්න තමයි අපි හුඟක් වෙලාවට කලාවේ මඟ දිගේ ඇවිදින්නේ. පැයකට දෙකකට හරි හිතේ වෙහෙස මහන්සිය දුරින් තියලා සැහැල්ලුවෙ හුස්මක් විඳගන්න.
මට හිතෙනවා හුඟක් වෙලාවට අපේ ජීවිතවල කාල අවකාශ ගෙවෙන්නේ තත්ත්පර වලින් විතරයි කියලා. කාලය ගෙවී ගිහින්. අපි වයසට ගිහින්. ඒත් අපේ ජීවිත පිටු හරි හිස්. පිටු අස්සේ වැඩිපුරම තියෙන්නේ අහිමිවීම් මඟහැරීම්. ජීවිතය දවස් වලින් ගෙවලා වැඩක් නෑ. ජීවිතය අත්දැකීම් වලින් ගෙවන්න. ජීවත්වුණා කියන ආත්ම තෘප්තිය හදවතට දැනෙන්නේ එතකොට. අපි නොදැනීම වගේම උවමනාවෙන්ම මඟහැරගන්න තත්ත්පර ජීවිතේ ඕන තරම්. අපි ආපහු හැරිලා බලලා ඒ වෙනුවෙන් ආයෙත් හූල්ලන දවස් තියෙන්න පුළුවන්. ඒත් කඳුළුවලට කණගාටුවට අපිට ආපිට දෙන්න පුළුවන් දෙයක් නෑ.
විෂය නිර්දේශයකට අදාළ පොතකට වඩා ජීවිතේ පාඩම් පොත හරි ගැඹුරුයි. සංකීර්ණයි. අපි හුඟක් අය සමහරවිට පරිච්ජේද ගණන් වරද්ද ගන්නෙත් ඒකයි. අකුරක් දෙකක් ඉස්පිල්ලක් පාපිල්ලක් වැරදුණාම වැරැද්ද මකලා හදන්න පුළුවන් වුණත් ව්‍යාකරණ පිටින් වැරදුණාම ආයෙත් නිවැරදි කරන එක ලේසි නෑ. ඒත් වරද්දා නොගන්න අයත් නෑ. ඒ තමා ඇත්ත.
අපි කවුරුත් කඳුළුවලට ආස නෑ. අපි ඉල්ලන්නේම හිනාව. කලාවත් එක්ක සොබාදහමත් එක්ක ජීවත් වෙන්න අවකාශය හොයාගන්න. ඒක ජීවිතයේ වින්දනය උදෙසා ඔයාට අලුත් පාරක් කියා දෙයි.
I Saara