තරුත් ඇස් වහගත්ත අහස යට මම වැස්සටත් වඩා සීතල කඳුළුවලට නිදහසේ ගලායන්න ඉඩ දුන්නා. අ...ම්....මා ඉකිගහන අතරේ මටත් නොදැනීම මට කියවුණේ ඒ අකුරු තුන. මගේ ජීවිතයම රැඳිලා තිබුණේ ඒ අකුරු තුනත් එක්ක කියලා මට තේරුණේ අම්මා මරණයත් එක්ක අපේ ජීවිතවලින් මැකී ගියාට පස්සේ. ඒත් ජීවත් වෙච්ච අම්මටත් වඩා මැරුණු අම්මා මගේ ජීවිතේට ළංවූ බව මට දැනෙන්න ගත්තා. ජීවිතේ හැම හිස්තැනක්ම එයාගේ මතකයක් විසින් අයිති කරගනිද්දී අම්මා නැතුව මම අම්මා එක්ක ජීවත් වෙන්න පටන් ගත්තා.
සීතල පාළුව එක්ක බඩගින්න මාව නින්දෙන් දුරස් කරද්දී මම කළුවරේම ගියේ කුස්සියට.
තාත්තාගේ කාමරය ළඟින් යද්දී හිමීට හිනාවෙන කතා කරන සද්දයක් ඇහුණා. තාත්තා තාම නිදි නෑ... එහෙම හිතුණ ගමන් මම පොළොවේ යටිපතුල ගෑවෙන නොගෑවෙන විදිහට අඩිය තියමින් ඇවිද්දා. වැස්ස හුළඟ අස්සේ හොරා කන්ට හොයන මී පැටියෙක් වගේ මම කළුවරේ අතපත ගාමින් ශීතකරණය ළඟට ගියා. ශීතකරණයේ දොර ඇරියම එහි ආලෝකයෙන් මට බත් බේසමත් වෑංජන දීසිත් පේනවා. දොර ඇරලා තියලම මම හෙමින් සීරුවේ කුස්සියට ගියේ කෑම කන රිදී පාට ලොකු පිඟාන අරගෙන එන්න. හැන්දක් හෙව්වත් හැන්දක් හොයාගන්න හම්බවුණේ නෑ. මම අතින්ම අල්ලට අරගත්ත බත් මිටි තුන හතරක් පිඟානට දා ගත්තා. අල දීසියට අත දාලා අල ටිකකුත් පිඟානට දා ගත්තා. ඊළඟට මම අත දැම්මේ බටු දීසියට. තෙල් බේරෙන බටුමෝජු. ඒවට අතදාන අතරෙත් මට ඉකිගැහෙන්න ආවා. එකපාරටම මුවින් නික්මෙන සුසුමක අරුත මම දැනන් හිටියෙත් නෑ. මම හෙමින් සැරේ දොර වහගෙන කාමරයට ආවා. තාත්තගේ කාමරය ළඟින් එද්දී ආයෙත් හිමින් කතාවයි හිනාවයි ඇහුණා. මේ මහ වැස්සේ මොන මඟුලක්ද දන්නේ නැහැ... මම හෙමින් සැරේ කාමරයට රිංගාගෙන දොරත් අගුළු දාලා වහගත්තා. තාමත් වැස්ස. විදුලිය ඇවිත් නෑ. මම ඇඳට නැගලා හෙමින් සීරුවේ ජනේලය ළඟට කිට්ටු වුණා. එරමිණිය ගොතාගෙන මම ඇඳේ ඉඳගත්තේ බත් එක මහා වස්තුවක් වගේ අත් දෙකට මැදිකරගෙන.
බත් කටක් අල්ලෙන් අනාගන්න බත් පිඟානට අත තියද්දී මගේ සර්වාංගයම හිරිවැටුණා. බත් ඒ තරම් සීතලයි. හරියට අයිස් වගේ. අල කෑලි ගල් කැට වගේ. ශීතකරණයේ තිබ්බ ආහාර රත් නොකර කන්න බැරි බව මට තේරුණේ ඒ මොහොතේ.
ෂික් මෝඩයා... පෙරේතයා... එක රෑකට බඩගින්න ඉවසගන්න බැරිද?
මම මටම බැණ ගත්තා.
කාපන් නැත්නම් උඹ බඩගින්නේ මැරෙයි....
කන්නේ කොහොමද සීතලයි?
උඹ උඹටම තුරුල් වෙයන්.
මොන කුණුහරුපයක් කියනවද මන්දා...?
කාත් කවුරුත් නැති එවුන් තමන් එක්කම ජීවත්වෙන්න කතාකරන්න උණුසුම් වෙන්න ඉගෙන ගන්න ඕනෑ.
මම තාම පොඩ්ඩෙක්...
මගේ ඇස් දෙකෙන් බේරිච්ච කඳුළක් ආයෙත් වැටුණේ බත් පිඟානට. මම අයිස් වගේ සීතල බත් පිඟාන ඇඟිලි අස්සෙන් බත් ඇට පනින තුරුම අනාගෙන අනාගෙන ගියා. ඊට පස්සේ ඒ සීතලම සීතල බත් අල්ල පුරවලා අරගෙන කටේ ඔබා ගත්තා. මගේ මුළු කටම ඒ සීතලට හිරි වැටුණා. මම ඇස් දෙකෙන් බත් පිඟානට වැටෙන කඳුළුත් එක්කම අල්ලෙන් ලොකු බත් ගුලි ඇණුවා. ඇත්තම කීවොත් මම බත් කෑවේ අඬ අඬා. උරහිසේ මූණ අතුල්ල අතුල්ලා වැක්කෙරෙන හොටු පිටි අත්ලෙන් පිහදාන ගමන් මම සීතලම සීතල බත් ගුලි කාගෙන කාගෙන ගියා. බත් පිඟානට හොටුත් වැටුණද මන්දා... ඒත් මට දැනුණේ නම් කට හිරිවට්ටපු සීතලම විතරයි.
බත් කාලා ඉවරවෙලා මම එහෙමම පිඟාන ඇඳ යටට තල්ලු කළා. තාත්තා ඇහැරිලා ආවොත් කියලා ආපහු කුස්සියට යන්න මම බය වුණා. පිඟාන ඇඳ යටට තල්ලු කරපු මම ඊළඟට කළේ අතේ තිබුණු ඉඳුල් ඔක්කොම ලෙව කපු එක. ඒත් අත ඇලෙනවා. අතේ අල ගඳ. මම මහ වැස්සේම ජනේලය ඇරලා ජනේලෙට ඇඟ තද කරගෙන අත ඇල්ලුවා වහලයෙන් වැක්කෙරෙන වතුර පාරට. සීතල වැහි වතුරෙන් අත හෝදගෙන ඊළඟට මම කළේ මගේ කඳ කොටස ජනේලයෙන් එළියට දාපු එක. එහෙම දාලා මගේ කටඇරලා ඇල්ලුවා වැහි වතුරට. වහලේ කුණු හෝදගෙන එන වතුර වුණාට ඒ වතුරේ මට කටට ගන්න බැරි තරම් අප්‍රසන්න ගඳක් ආවේ නෑ. කට අල්ලපු පාර තෙමුන ඔළුව පොරෝනයෙන්ම පිහදාගෙන මම ආයෙත් ඇඳේ ගුලි ගැහුණා.
අමර් කෝ මේ ළමයා තාමත් නිදිද... අපොයි අපොයි ඉර එළිය ගෙට වැටෙනකම් නිදා ගත්තොත් මුළු ගෙදරටම මහ මූසලයි.
නින්ද ඇස් අස්සෙන් බේරෙද්දීම මම ඇහැරැණේ ඒ පුරුදු නැති කටහඬෙන්.
ඈ... බොලේ ඒ කවුද ඒ... එහෙම හිතන ගමන් මම ආයෙත් ඇස් පියා ගත්තා.
ඒ පාර ඒ කටහඬ දොර ළඟටම ඇවිත් දඩස් දඩස් ගාලා දොරට තඩිබෑවා.
මොන භූතයාද යකෝ මේ?
අමර්....
මට කුඩම්මව එකපාරටම මතක් වුණා. එතකොට එයාද මේ හැකර විදිහට උදේ පාන්දර කෑ ගහන්නේ. මොන කන්කරච්චලයක්ද? අද ඉස්කෝලෙත් නිවාඩු. මොන එහෙකටද මෙච්චර පාන්දරින් මම ඇහැරෙන්නේ... මම තාම ළමයෙක්... මම තාම පොඩ්ඩෙක්... මෙයාට ඒ ටික තේරෙන්නෙත් නෑ. මම එහෙම හිතන ගමන් පොරෝණය ඔළුවේ ඉඳන්ම පොරවාගෙන කන් දෙකේ ඇඟිලි දෙකත් ගහගත්තා.
තාත්තා ගියා කඩේට... කිරි එක නිවෙනවා... ආයේ රත් කරන්න බෑ... දර නාස්ති වෙනවා... අහක දැම්මොත් හෙට උදේ ඉඳන් කිරි නෑ... තේරුණාද...?
මම නොදන්නා යකෙක් මගේ ඔළුවට එනවා වගේ දැනුණා.
අපේ ගෙදරට ඇවිත් රැජනක් වෙන්නද හදන්නේ... මේ ගෙදර හැමදාමත් රැජන අපේ අම්මා... මටම විතරක් ඇහෙන්න එහෙම කියන ගමන් ඇඳෙන් නැගිට්ට මම දඩාස් ගාලා දොර ඇරලා දැම්මා.
► අනුවර්තනය : චන්දන වරාවිටගේ & සංජු