මට ඒ ගැන ලස්සන හීනයක් තියනවා. ඒත් මම බයයි ජීවිතේ ඒ තරම් ලොකු අත්දැකීමක වගකීම බාරගන්න... හිතට දැනෙන යාළුවෙක් එක්ක ජීවිතේ ගැන කතා කරද්දී එයාගේ කටින් ආව වචන තමයි ඒ. හීන ලස්සන වෙන්නේ ඒ හීනවලට අත්තටු දෙන්න පුළුවන් දවසක් ආවම. හීන අපිට ජීවිතය වෙනුවෙන් අලුත් බලාපොරොත්තුවක් දෙනවා. ඒ බලාපොරොත්තුව සතුටකට පරිවර්තනය වෙන්නේ අත්තටු එක්ක. අපිට හීන, බලාපොරොත්තු, ජීවිතය අත්හැරලා දාන්න හරිම ලේසියි. ජීවිතය කියන මහ කන්ද සාර භූමියක් බවට පෙරලගන්න එක ජීවිතය අත්හැරීම තරම් ලේසි නෑ. ජීවිතය කියන්නේ කටු අත්තක්. කොහොමද මම ඒ කටු අත්ත මල් පිරුණු මහ ගසක් බවට පරිවර්තනය කරන්නේ. අපි හුඟක් දෙනෙක් අරගල කරන්නේ ඒ පරිවර්තනය වෙනුවෙන්.
අභියෝග බාරගන්න ශක්තියක් තියෙන කෙනෙක්ට ජීවිතය උගන්වන්නෙත් ඒ අභියෝග විසින්මයි. අද දවසේ අපි එක වතාවක් අඬන්න ඕන හෙට දහවතාවක් හිනාවෙන්න පුළුවන්නම් විතරයි. තාවකාලික මානසික සහනයක් හැරෙන්න ඒ කඳුළ අපේ ජීවිතේ සුබවාදී අරමුණු උදෙසා ප්‍රදානය කරන වෙන කිසිවක්ම නෑ. ජීවිතේ තියෙන්නේ බය වෙන්න නෙවෙයි මුහුණ දෙන්න. ජීවිතය ඉගෙන ගන්න අත්දැකීම් සපයන්නේ ඒ මුහුණදීම.
මට හිතෙන්නේ මිනිස්සු සතුට විඳින්න ඕන දුක වින්දට පස්සේ. සතුට සතුටක් කියලා තේරෙන්නේ දුක වින්ද කෙනෙක්ට විතරයි. ජීවිතේ අපට හුඟක් දේවල් කියලා දෙන්නේ සිද්ධාන්ත ඔස්සේ නෙවෙයි. අත්දැකීම් ඔස්සේ. ජීවිතය අපි කොතනකින් හෝ පටන් ගන්න ඕන. ඊට පස්සේ තැන තැන නතර වෙවී හරි ගඟක් විදිහට ඒ ජීවිතේ ගලාගෙන යාවි. කඳු නිම්න සානු පල්ලම් ඔස්සේ ඒ ජීවිතේ ගලාගෙන යාවි. හැමදේම පව් පින් කර්මය සමාජ ක්‍රමයේ වැැරැද්ද විදිහට දකින්නේ ඒ සියල්ල තුළ ජීවිතය ලඝු කරන්නේ මට හිතෙන්නේ හුඟක් දුර්වල මිනිස්සු. ආත්ම ශක්තියක් නැති මිනිස්සු. උත්සාහය අධිෂ්ඨානය මිනිස්සුන්ට ජීවිතේ හුඟක් දේවල් හිමි කර දෙනවා. ජීවිතය දිනාගත්ත හුඟක් මිනිස්සුන්ගේ ජීවිත කතන්දරවල මුල්ම පරිච්ඡේද තියෙන්නේ දුක පදනම් කරගෙන ලියැවුණු පරිච්ජේද. ඒත් ඒ මිනිස්සුන්ට පුළුවන්කම ලැබුණා ඒ දුක සතුට සිනහව හා ජයග්‍රහණ බවට පරිවර්තනය කරගන්න.
ජීවිතයේ අපට මුණගැහෙන මිත්‍රයන් අපේ ගමන් මාර්ගවල පිටුපස නියමුවන් කියලා හැඳින්නුවොත් මම හිතන්නේ ඒක හුඟක් සාධාරණයි. කාටද හොඳම මිත්‍රයන් කියන්නේ. ජීවිතයේ ළඟින්ම හිටියා කියලා කෙනෙක්ට හොඳම මිත්‍රයෙක් වෙන්න බෑ. හැමදාම කතා කරා හිනාවුණා කියලා කෙනෙක්ට හොඳම මිත්‍රයෙක් වෙන්නත් බෑ. සමහරවිට මම මගේ හොඳම මිත්‍රයා කියන කෙනා මට හැමදාම මුණනොගැසෙන කෙනෙක් වෙන්න පුළුවන්. කතා නොකරන කෙනෙක් වෙන්න පුළුවන්. මුළු ජීවිත කාලයම මගේ අතකින්වත් නාල්ලන කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඇස්වලින් මිත්‍රත්වයේ හැම සුන්දරත්වයක්ම නිර්මල ලෙස බෙදා ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. ගැහැනියක් හා පිරිමියෙක් අතර ඇතිවෙන සියලු බැඳීම්වල පදනම රාග මූලික සංකල්පයක් විදිහට හඳුන්වනවට ඇත්තටම මම එකඟ නෑ. ඉන් එහා ගිය අධ්‍යාත්මික සොඳුරු බන්ධන ගැහැනියක හා පිරිමියකු අතර ඇතිවෙන්න පුළුවන්. නමක් නැති ඒ බන්ධන කවදාවත් අපිට අයිතිය කියන වත්කම නොදෙන බන්ධන වෙන්නත් පුළුවන්. හදවතකට හදවතක් දැනෙනවනම් හදවතකට හදවතක් ඇස් පිල්ලමක් ගැහෙන වෙනසේ ඉඳන් කියවන්න පුළුවන්නම් එහෙම බැඳීමකට මොකටද නමක්? මොකටද අයිතියක්?
මුළු අහසක්ම ඉල්ලන්න එපා. වෙහෙසකර මොහොතක නිමේෂයකට හිස රඳවාගන්න අනන්තය හැර නොයන තරුවක් ළං කරගන්න. මහ වැස්සකදීත් නොහිම් කුණාටුවකදීත් අමාවක රැයකදීත් කාටවත්ම නොපෙනෙන්න ඒ තරුව හැමදාම ඔබේ ළඟින් හිඳීවි.
I Saa