2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

ඔයාම බෙහෙත ලියාගන්නකෝ

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 96

සාමාන්‍යයෙන් චිත්‍රපටයක් හරි ටෙලි නාට්‍යයක් හරි රූපගත කරන කාලෙදි ඒකෙ රඟපාන නළු නිළියන් බොහෝවිට දර්ශන තලයේදී හඳුන්වන්නේ ඒ ඒ ශිල්පීන් ශිල්පිනියන් ඒ නිර්මාණයේ රඟපාන චරිත අනුව.
ජනප්‍රිය නිළියක් ඒකේ රඟපාන්නේ මැණිකාගේ චරිතය නම් ෂූටිං කාලය ඉවර වෙනකම්ම කණ්ඩායමේ අය ඇයට මැණිකා කියලයි ආමන්ත්‍රණය කරන්නේ. 

ඔන්න කළුතර පැත්තේ ඒ වගේ ටෙලි නාට්‍යයක් රූපගත කරමින් තිබුණලු. ඒකේ දොස්තරගේ චරිතය රඟපාන නළුවා හදිසියේ අසනීපවෙලා ළඟම තියෙන පෞද්ගලික රෝහලට ඇතුළත් කළාලු.
දැන් ටෙලි කණ්ඩායමේ හැමෝම අර ශිල්පියාට ඩොක්ටර් කියලලු කතා කළේ. ඔහුව හදිසි අංශයට ඇතුළත් කළාලු. ඔන්න දැන් එයාට මාර සැළකිළිලු. විනාඩි 5න් 5ට දොස්තරලා එනවලු, නර්ස්ලා එනවලු.
පැය දෙක තුනක් ගියාම ලෙඩා සුව අතට පත්වුණාලු.

මම ඇන්ටිබයටික් එකක් ලියලා තියෙනවා. ඒක අරගෙන බලන්න. නැත්නම් ඉතින් ඔයා බලලා හොඳ එකක් ගන්නකෝ. රෝහලේ දොස්තර නළු දොස්තරට කියනවලු.
ඉතින් ඩොක්ටර් ඔයා බෙහෙත ලියලා දෙන්නකෝ. ලෙඩ දොස්තර කියනවා.
ඇයි ඩොක්ටර් ඔයාම බෙහෙත ලියාගන්නකෝ.
අනේ මම දොස්තර කෙනෙක් නෙවෙයි. මම ඩොක්ටර් හැටියට රඟපානවා විතරයි..

 

මම ඔයාගේ නර්ස් නෝනා

එක්තරා ප්‍රසිද්ධ පිරිමි පාසලක් ළඟ පොත් සාප්පුවකට ඉඳහිට රඟපාන නළුවෙක් ගියාලු පුතාට අවශ්‍ය පොත් වගයක් ගන්න.
සාරියක් ඇඳගත්තු තරුණ කාන්තාවක් මෙයා දිහා බලනවලු. හිනා වෙන්න ට්‍රයි කරනවලු. මෙයා රඟපාපු ටෙලි නාට්‍යයක් බලපු රසිකාවියක් කියලා හිතලා මේ නළුවත් පෙරළා හිනාවුණාලු.
ඔයා මේ ඉස්කෝලේ උගන්වනවද? ඔහු ඇගෙන් ඇහුවලු.

නැහැ අනේ. මම පුතාගේ ඉස්කෝලේ මීටිං එකට ආවා.
මම හිතුවේ ටීචර් කෙනෙක් කියලා.
අනේ අනේ ඔයාට තාම මාව අඳුරගන්න බැරිවුණා නේද?* ඇය හිනාවෙමින් ඇහුවලු.
ඔහුට නිච්චියක් නැති බව ඇයට තේරුණා.
අනේ අර නාට්‍යයේ මමනේ ඔයාගේ නර්ස් නෝනා... මතක නැද්ද? 
සොරි සොරි සාරිය නිසා අඳුරගන්න බැරි වුණා.

 

GM-OMG-BS සහ GN

තාක්ෂණයේ දියුණුවත් එක්කම ලෝකෙට ඇතිවන වාසිදායක තත්ත්වය වගේම තවත් අපට නොදැනෙන, ඇතැම් විට නොපෙනෙන අවාසිදායක පැතිකඩක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි ඉස්සර නැහීගෙන චක්කරේ කටපාඩම් කළාට අද ඒ වෙනුවෙන් ඒ තරම් වෙහෙසෙන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන් ඉංග්‍රීසි වචනවල නිවැරදි යෙදුම් ගූගල් කරලා හොයාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සන්නිවේදනය සඳහා පාවිච්චි කරන තාක්ෂණික මෙවලම්වල බොහෝ විට යොදාගන්නේ කෙටි යෙදුම්ය.

ගුඩ් මෝනිං වෙනුවට GM, ඕ මයි ගෝඩ් වෙනුවට OMG, බුදු සරණයි නම් BS. ඉතිං මේ අයට කවදාවත් ඉංග්‍රීසියෙන් සම්පූර්ණ වචන ලියා ගන්න බැරි වෙනවා කාලයක් යනකොට.
ඒ මදිවට දැන් කතා කරද්දිත් කෙටි යෙදුම් පාවිච්චි කරන අය බිහිවෙලාලු.

ළඟදි කොළඹින් බැහැර ෂූටිං ගිය කට්ටියකට ඒ ටවුමේ ඒ වගේ මනුස්සයෙක් මුණගැහිලා. හැමදාම ෂූටිං බලන්න එනවලු GM කියාගෙන. රෑට යද්දි GN BS කියාගෙන යනවලු.

 

ඇහැක් විදිහට කට අරින්න

ඉස්සර වගේ නෙවෙයි දැන් ලියවෙන ගොඩාක් තිර පිටපත් නළු නිළියන්ට පවා අධ්‍යක්ෂකවරුන්ටත් තේරැම් ගන්නත් අමාරුයි කියලයි බොහෝ වෘත්තීය නළු නිළියෝ කියන්නේ.
නළු නිළියන්ගේ උපරිම දක්ෂතා උකහා ගන්නට අධ්‍යක්ෂකවරුන්ටත් සෑහෙන වෙහෙසක් දරන්න වෙනවා.
ඔන්න ඔය වගේ අපූරු සිද්ධියක් ළඟදි වුණා කියලා ආරංචියි.

අධ්‍යක්ෂකවරයා ටෙලි නාට්‍යයේ රඟපාන කෙළිලොල් දඟකාර තරුණ රංගන ශිල්පිනියකට ඊළඟ දර්ශනය පැහැදිලි කරලා දෙනවලු.
දැන් කොල්ලා පොඩි ළමයෙකුත් අරන් පාර දිගේ එනකොට ඔයා දකිනවා. ඔයා එක පාරටම පුදුම වෙනවා. ඔයාට තියෙන්නේ ඇහැක් විදිහට කට ඇරගෙන කොල්ලා එන දිහා පුදුමෙන් බලං ඉන්න එක.
අධ්‍යක්ෂකවරයා ඔහොම කියලා දැන් කැමරාව කෙල්ලගේ පැත්තට ෆෝකස් කරනවලු.
ඕකේ... ඇක්ෂන්.. 

කෙල්ල නෝ හෙල්ලුම්. කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැල්ලු.
ඇයි මක්කැයි ඔයාට වෙලා තියෙන්නේ? අධ්‍යක්ෂ කෙල්ලගෙන් අහනවා.
අනේ මම කොහොමද මගේ ඇහැ විදිහට කට අරින්නේ.. මට මේක තේරෙන්නේ නෑ... ඇගේ ඇස්වල කඳුළුත් පිරිලා.
ඒත් දකුණු පළාතේ අධ්‍යක්ෂකගේ භාෂාව මේ කොළඹ කෙලීට නොතේරීම ගැන කට්ටියටම හිනා ගියාලු.


► Text - Mithra

 

 

 

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00