ජී.ආර්.ගේ ගම්පළාත වැඩි ඈතක නෙමෙයිනෙ... කියමුකො ඒ ළමා කාලය ගැන...?
ඔව්.. මගේ ගම එගොඩවත්ත කියන ප්‍රදේශය. එහෙ තමයි මගේ තාත්තාගේ මහගෙවල් තිබුණේ. ඉතින්... මම පොඩි කාලේ හැදුණේ එහෙ. හැබැයි මගේ තාත්තා ඉපදිලා තියෙන්නෙ දැන් මම පදිංචිවෙලා ඉන්න බෝකුන්දර ප්‍රදේශයේ. මගේ අම්මා කළුබෝවිල බුද්ධඝෝෂ විද්‍යාලයේ ඒ කාලේ ඉගැන්වුවා. මට තාම මතකයි මගේ අම්මගේ තාත්තා ගෙදර ඉස්තෝප්පුවේ පැදුරක් එලලා අපිට පිඟන්වලට දාලා බත් කන්න දුන්නා. හැබැයි සීයාගේ අතේ දොඩම් කෝටුවක් ගහපු ලී කෑල්ලක් තිබුණා. අපි කාලා ඉවරවුණාට පස්සෙ අපේ අතින් වැටුණු බත් ඇට අර කෝටුව පෙන්නලා අපිට ඇහිදින්න කිව්වා. ඒ බත් ඇට ආයෙත් පිඟානට දාගෙන අපිට කන්න දුන්නා. ඒ තරමටම ඒ කාලේ මිනිස්සු බතට ගරු කළා.
ඔබගේ පවුලේ තව සහෝදර සහෝදරියන් හිටියා නේද...?
ඔව් ඔව්.. මම තමයි පවුලේ වැඩිමලා. මට මල්ලිලා දෙන්නෙකුයි නංගි කෙනෙකුයි හිටියා. තාත්තා එයාගේ මල්ලි එක්ක විරසකවෙලා අපි පොඩි ගෙයක් කුලියට අරගෙන වෙනම පදිංචි වුණා. තාත්තගේ නැන්දගේ පුතා ඒ කාලෙදී තාත්තව සූදුවට පුරුදු කළා. ඊටපස්සෙ තාත්තා රේස් දාන්න පටන් ගත්තා.
සූදුව නිසා ඔබගේ තාත්තාට ලොකු වාසියක් ලැබුණා කියලත් ආරංචියි...?
ඔව්.. තාත්තා සූදුවට ගිය මුල්ම දවස්වල එක දවසක තාත්තට රුපියල් අනූඅටදහසක් ඇදුණා. ඒ 1948 දී. ඒ කාලෙදී ඒ ගාණ හරියට කෝටි ගාණක් වටිනවා. තාත්තා වත්තෙ තිබුණු කොස් ගස් එකොළහකුයි පොල් ගස් දාහතකුයි කපලා කාමර එකොළහක ලොකු ගෙදරකට අත්තිවාරම් දැම්මා. ඒ වෙනුවෙන් අර සූදුවෙන් ලැබුණු සල්ලිවල කොටසක් වියදම් වුණා. සූදුවට එක්කගෙන ගිය මාමා දෙවියෝ දෙනකොට දිගටම දෙනවා කියලා තාත්තව දිගටම සූදුවට පුරුදු කළා. තාත්තගේ සීයා මැරුණේ අවුරුදු එකසිය එකක් ගිහිල්ලයි. ඒ වෙළුන් ආත්තා. එයාගේ මහගෙදර නිදාගන්නෙ කොහොඹ ලීයෙන් හදපු පෙට්ටියක් වගේ ඇඳකයි. ඒ ඇඳේ ලාච්චු පේලියක් තිබුණා. ඒ ලාච්චුවල තමයි සීයගේ සියලු දේපල තිබුණේ. ඒ කාලේ නෝට්ටුවල දෙපැත්තම ප්‍රින්ට් කරලා තිබුණේ නෑ. එක පැත්තයි තිබුණේ. වෙළුන් ආත්තා මැරුණු වෙලාවේ ඒ කාලේ හැටියට රුපියල් එක්ලක්ෂ ගණනක මුදල් නෝට්ටු තිබුණා. හැබැයි ඒ මුදල් නෝට්ටු මාරුකරන්න බැහැ. ඒ වෙද්දිත් ඒ මුදල් අවලංගු කරලා දෙපැත්තම අච්චු ගහපු මුදල් නෝට්ටු තමයි වලංගුවෙලා තිබුණේ. ඉතින් මට තාම මතකයි ඒ අවලංගු වුණු මුදල් නෝට්ටු මිටි අපි ගෙදර ගෙනල්ලා දෙකට කපලා ඇණ ගහලා බොරු බස් ටිකට් විදිහට සෙල්ලමට ගත්තා.
ජී.ආර්. පාසල් ගියේ මොන පාසලටද..?
මම මුලින්ම රත්තනපිටිය විද්‍යාලයට ගියා. ඉස්කෝලෙ ගිහින් ඇවිත් හැමදාම මම දවල්ට කනකොට හැන්දෑවේ හතර පහ විතර වෙනවා. ඉස්කෝලෙ ගිහින් ආ වෙලාවේ ඉඳන් කජු ගස් උඩයි අඹ ගස් උඩයි තමයි මගේ දවස ගෙවුනේ. අපේ අම්මා මුළු ගමටම ඇහෙන්න රත්නපාලෝ.. කියලා කෑගැහුවා. ඉස්කෝලෙ ඇතුළෙදී මම දඟ නෑ. හැබැයි ඉස්කෝලෙ ගේට්ටුවෙන් එළියට ආපු ගමන් ඉතින් වෙනමම ලෝකයක. අපේ තාත්තට එකදිගට නඩු ගොඩයි. මම කාටහරි ගහලා ගමේ අය තාත්තට කිවුවාම දිග වේවැලෙන් එකදිගට මට තඩිබානවා. හැබැයි මට වඩා ඒ වේවැල් පහරේ රස දැනෙන්නෙ මගේ අම්මට. මාව බේරගන්න ගිහින් අම්මා වැඩියෙන් වේවැල් පහරවල් කනවා.
ඔච්චර දඟ ළමයා ගමේ ඉස්කෝලෙන් කොටහේනට ආවේ කොහොමද...?
කොච්චර දඟවැඩ කළත් මම ඉගෙනීමට දක්ෂයා. ඔය කාලෙදී අපේ තාත්තා සූදුවට ඇබ්බැහි වුණා. ගේ හදන්න ගෙනා විශාල ගඩොල් කඳු අත්තිවාරම් උඩ ගොඩගැහිලා. ඉරාපු ලී තව පැත්තකින් ගොඩගැහිලා. හැබැයි තාත්තා සූදුවට ණයට ගත්ත සල්ලි වෙනුවට ගමේ මිනිස්සු කරත්ත අරගෙන ඇවිත් ඒවා සැරෙන් සැරේට පටවාගෙන ගියා. ඒ වෙනකොටත් ගෙයි ඉදිවෙලා තිබුණේ අර අත්තිවාරම් තට්ටුව විතරමයි. අපි හිටියෙත් කුලී ගෙයක. ඒකට සමහරදාට කුලිය දෙන්නවත් සල්ලි තිබුණේ නෑ. ඒ නිසා අම්මගේ තනි මහන්සියෙන් අම්මා ගෙදර කාමරයකුයි කුස්සි කෑල්ලකුයි විතරක් හදාගෙන පදිංචියට ආවා. ඒකට පොල්අතුවලින් වහලය දාගත්තා. ඒ නිසා ගමේ ඉස්කොලෙන් මාව අයින් කරගෙන අම්මා මාව කොටහේන විද්‍යාලයට කොහොමහරි දාගත්තා. එතකොට අම්මගේ මල්ලිගෙ මෝදර ගෙදර ඉඳන් මම ඉස්කෝලෙ ගියා. එතැන ඉඳන් මාව බාරවුණේ ඒ මාමටයි.
තාත්තගේ සූදුව නිසා ඔබ නොයෙකුත් ගැටලුවලටත් මුහුණදෙන්න ඇති...?
ඔව්.. ආර්ථික අපහසුතා අහස උසට තිබුණා. මගේ ගමේ ගොටුකොළ, මුකුණුවැන්න මිටි බැඳලා සත දෙක ගාණෙ විකිණුවා. ඒ සල්ලි මම මැටි කැටයකට දැම්මා. එක දවසක් මගේ අම්මා කොණ්ඩ කටුවක් දාලා කැටේට මොනවදෝ කරනවා මම දැක්කා. එතකොට මම ගොඩක් පොඩියි. එකපාරටම කාසියක් පෙරළෙද්දී අම්මා ඒ කාසිය රෙද්දෙ හංගගන්නවා දකිද්දී තමයි මට තේරුණේ මගේ කැටෙන් අම්මා සල්ලි හොරකම් කරනවා කියලා. ඒ නිසා මම ඒ කැටය අරගෙන ගිහින් මහගෙදර ආච්චිගේ පෙට්ටගමේ හැංගුවා. ඇත්තටම තේරෙන කාලෙට ආවට පස්සෙ මට මගේ අම්මා ගැන ගොඩක් දුක හිතුණා.
කොහොමද කලාවට සම්බන්ධ වුණේ...?
ඉස්කෝලෙදී මම කලාව කළා. සාමා නාට්‍ය මුලින්ම වේදිකාගත කළේ අපේ පාසලෙයි. හැබැයි මම මුලින් ඒ දේවල්වලට සම්බන්ධ වුණේනම් නෑ. හැම සාහිත්‍ය සභාවකදීම මම චතුර කතාවක් නම් කළා. ඉස්කෝලෙ යන කාලේ ඉඳන්ම මම කලාවට ආස කළා.
ඔය කාලෙදීම තිස්ස අබේසේකර මුණගැහීමත් හරි අපූරු සිදුවීමක් නේද...?
ඔව්... ඒ කලේ මම නිවාඩුවට ගෙදර ආවම අම්මගේ කඩයප්පන් වෙළෙදාමට උදවු කළා. මාමා එක්ක තරහවෙලා මම නිවාඩුවෙන් පස්සෙ ආයෙ මාමලාගෙ ගෙදර ගියේ නෑ. ඒකෙන් ඉස්කෝලෙ යන ගමනත් තාවකාලිකව නතරවුණා. ඉතින්... මම අම්මගේ කඩයප්පන් වට්ටිය අරගෙන ගිහින් කඩවල්වලට දැම්මා. අපේ ගමේ ගොඩක් ලංසි අය හිටියා. දවසක් පිජාමා එක ඇඳගත්ත මගේ වයසේ වගේ කොල්ලෙක් මාව නවත්තලා වට්ටියේ මොනවද කියලා ඇහුවා. මම කඩයප්පන් කියද්දී ඒක එයාට තේරුණේ නෑ. මම වට්ටිය ඇරලා අර ඉඳිආප්ප, පිට්ටු ටික පෙන්නුවා. එදා ඉඳන් ඒ කොල්ලා මම එනකම් හැමදාම උදේ බලාගෙන හිටියා. දවස් කිහිපයකින් අපි හොඳ යාළුවෝ වුණා. ඒ තමයි තිස්ස අබේසේකර.
ඔබේ බිරිය නිර්මාණ කිහිපයක්ම නිෂ්පාදනය කළා. එක දියණියක් රංගනයටත් එකතු වුණා... අද දුව ඉන්නෙ විදෙස්ගතවෙලා...?
ඔව්... මට දරුවන් තුන්දෙනයි. පුතයි එක දුවෙකුයි ඉන්නෙ දැන් විදෙස්ගතවෙලා. 1961 දී මම අපේ කට්ටිය නාට්‍ය කණ්ඩායමට එකතු වුණා. අපේ කට්ටිය ආරම්භක සාමාජිකයෙක් තමයි මම. ඒකෙන් මම වේදිකාවට එකතු වුණා. මේ වෙනකොට මම නිර්මාණ හයසිය අසූනමයකට දායකවෙලා තියෙනවා.
මේ දිනවල ඔබට ලැබුණු වැඩ කිහිපයක්ම බාරගත්තෙ නෑ...?
ඔව්... මේ දවස්වල මම ඉන්නෙ අසනීප තත්ත්වයෙන්. පසුගිය මාස තුන පුරාවට මම කිසිම වැඩක් බාරගත්තෙ නෑ. ආරාධනා ලැබුණු ටෙලිනාට්‍ය නමයක් මම අත්හැරියා. කරපු නිර්මාණ දහයක් විතර තව එන්න තියෙනවා. මගේ පළවෙනි චිත්‍රපටය තමයි වැලිකතර. ඇත්තටම මම කලාවට හරි කැමතියි. කලාවට ආදරෙයි. ඒත්... මේ අසනීප තත්ත්වය නිසා මේ දවස්වල ඉන්නෙ ගෙදරමයි.
► Text -Dishani / Pic – Sumudu