2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

එ කාලේ අපේ වෙසක්

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 203

වෙස් මූණක් දාගෙන වෙසක් බලන්න යන්න මාර ආසයි

- රොෂාන් රණවන 

අපේ ඉස්සර වෙසක් කූඩු වැඩියෙන්ම හැදුණේ මගේ මාමලා අතින්. එයාලා එක එක හැඩවලට වෙසක් කූඩු හදන්න දන්නවා. ඉතින්... එයාලා හදද්දී මම ඔය පාප්ප එහෙම ගාලා ඒවාට උදවු කරනවා. වෙසක් එකට මම ආසම දේ තමයි වෙස් මුහුණු දාගෙන පාරේ වෙසක් බලන්න යන එක. ඉස්සර මට වෙස් මුහුණු පිස්සුවක් තිබුණා. ඉතින් වෙසක් එකට එහෙම එකතු කරපු වෙස් මුහුණු කිහිපයක්ම තිබුණා. හැබැයි මෑතක් වෙනකම්ම මම දන්සලකින් කාලානම් තිබුණේ නැහැ. මීට අවුරුදු හතරකට විතර උඩදී මට ලැබුණු ආරාධනාවක් අනුව තමයි මට දන්සලකින් කන්න ලැබුණේ. දැන් අපි අවුරුදු කිහිපයක්ම කීප දෙනෙක් එකතු වෙලා දන්සලක් දෙන්නත් පටන් ගත්තා.

ඉතින්... ඉස්සරත් වෙසක් එකට අපි පන්සල් ගියා. ඒ වතාවත් ඒ විදිහටම කළා. මාමලා එක්ක වාහනවලට නැගලා වෙසක් බලන්න ගියපු ඒ කාලය මට තාමත් මතකයි.

 

හැම වෙසක් කාඩ් එකකම මම බුදු මඟුලක් වේවා කියලා ලීවා

- කුමාරි මුණසිංහ 

පුංචි කාලේ ඉඳන් අද වෙනකම් අපේ ගෙදර වෙසක් කූඩු හදන්නේ මම තමයි. මට පුංචි කාලේ ඉඳන් හොඳට වෙසක් කූඩු හදන්න පුළුවන්. පුංචි කාලේ වෙසක් කූඩු හැදුවේ උණ බටවලින්. ඉතින් ඉස්සර උණ බට සුද්ද කරන්න ගිහින් කොච්චරනම් අපේ ඇඟිලි හීරිලා ඇද්ද..? අත කැපිලා ඇද්ද..? හැබැයි ඒවා අපිට ගාණක්වත් නැහැ. ඉස්සර මට උණ බට අපේ අප්පච්චිත් සුද්ද කරලා දෙනවා. හැබැයි අපි තරුණ වුණාට පස්සේ අප්පච්චි අපිව ඔය තොරණ් බලන්න එහෙම වැඩිය එක්කගෙන යන්නේ නැහැ. ඔය සෙනඟ ගැවසෙන තැන්වලට ගිහින් අපිට කරදරයක් වෙයි කියලා එයාලා බය වුණා. ඉතින් තොරණ් තියා මියුසිකල් ෂෝ එකක්වත් එහෙම බලන්න එක්කගෙන යන්නේ නැහැ. කසාද බඳිනකම්ම මම සංගීතයක් බලලා තිබුණේ නෑ.
කොහොමහරි ඉතින් අප්පච්චි අපිව තොරණ් වුණත් බලන්න එක්කගෙන ගියේ ඔය අහල පහළ තිබුණ තොරණක් වගේ තැනකට විතරයි. අපි තොරණ දිහා බැලුවට අප්පච්චිගේ ඇහැ තිබුණේ තොරණට නෙවෙයි. අපි දිහා අනවශ්‍ය දිවිහට කවුරුහරි බලාගෙන ඉන්නවද කියලා අප්පච්චි වටපිටාව තමයි බලාගෙන ඉන්නේ.

හැබැයි ඉතින් වෙසක් කාඩ් යවන එකනම් වරදින්නේම නැහැ. අප්පච්චි අපිට වෙසක් එකට කලින්ම වෙසක් කාඩ් ගොඩාක් ගෙනත් දෙනවා. අපි ඒවා එක එක දේවල් ලියලා අපේ යාළුවන්ට යවනවා. මට මතකයි මම ඉස්සර ගොඩාක් වෙසක් කාඩ්වල හරි ලස්සනට බුදු මඟුලක් වේවා! කියලා තමයි යවන්නේ. ඔය අතරේ හැම අවුරුද්දේම භක්ති ගීනම් වරදින්නේම නැහැ. ඉස්කෝලේ තියෙන භක්ති ගීතවලට අහල පහල උත්සවවල භක්ති ගීතවලට පුරුදු වෙලා වෙසක් එකට ඒවා ගායනා කරන එක තරම් සතුටක් ඒ කාලෙදි තව කොයින්ද?

 

වෙසක් ‍කාඩ් යැව්වේ අතේ තැපැල් සිස්ටම් එකට

- නිමන්ති පෝරගේ 

ඒ කාලේ අපි ගත කරපු වෙසක් සහ අද කාලේ අපි ගත කරන වෙසක් කොච්චරනම් වෙනස්ද? අද කාලේ හරියට වෙසක් දැනෙන්නෙත් නැතිතරම්. ඒ කාලේ වෙසක් මංගල්‍යයක් තමයි තිබුණේ. මට මතකයි අපි ඉස්කෝලේ අපේ පන්ති අපි වෙසක් එකට සරසන්නේ සති ගාණකට උඩදී. පාට පාට සව්කොල තීරු කපලා. ඒවාවලින් දම්වැල් හදලා අනිත් පන්තිවලට නොදෙවෙනි වෙන්න අපි ගතකරපු ඒ වෙසක් කාලය කොච්චර ලස්සනද? ගේ පුරාත් අපි ඒ විදිහට පාට පාට සව් දම්වැල් එල්ලනවා. වසම කැතයි. මෙලෝ රහක් නෑ. හැබැයි කවදාවත් අපිට අපේ අම්මලා ගෙවල් හැඩි කළා, ගෙවල් කැත කළා කියලා බැන්නේ නෑ. තාත්තා හදන ලොකු ලොකු කූඩුවලට ඒ කූඩු පැටව්වල බීක්කු කපලා පාප්ප ගාලා ඒවා ඇලෙව්වේ අපි.

වෙසක් දවසේ අපි හැමෝම වාහනේ නැගලා එක එක විහිළු කතා කියලා තොරණ් බැලුවා. දන්සල්වලින් කෑවා. ආයේ ඉතින් අපි ගෙදර එන්නේ පහුවදා පාන්දර හතරට විතර. මට මතකයි අපි මුලින්ම හවස හයමාරට හතට විතර දන්සල් පෝලිමකට යනවා. ඉතින් පෝලිමේ ඉඳිද්දී සමහරදාට රණ්ඩුත් වෙනවා. කොහොමහරි දන්සල් පෝලිමේ ඉඳලා ඉඳලා දන්සල් බත් කන්නේ හරියට අපි ඊට කලින් බත් කාලා නැහැ වගේයි. ඒ තරමටම අපි දන්සල් කෑම කන්න හරි ආසයි.
ඒ විතරක් නෙමේ. වෙසක් එකට තව අපි ආසම කරපු දෙයක් තමයි යාළුවන්ට වෙසක් කාඩ් දාන එක. ඒක අපි පුදුමාකාර ආසාවෙන් යාළුවන්නට විතරක් නෙවෙයි ගෙදර ඉන්න අම්මට, තාත්තාට පවා අපි කාඩ් දානවා. ඒක පෝස්ට් කාඩ් සයිස් වෙසක් කාඩ්. සමහර යාළුවන්ට තැපැල් කරලා යවද්දී සමහර පන්තියේ යාළුවන්ට අපි අතේ තැපැල් විදිහට හොරෙන් පොත් අස්සේ දාලා වෙසක් කාඩ් යවනවා. ඉතින් මුද්දර අලවන තැන අපි 
ලියන්නේ අතේ තැපැල් කියලයි. ඇත්තටම මේ වගේ සුන්දරව ගෙවුණු ඒ සුන්දර වෙසක් කාලය අද දරුවන්ට විඳින්න ලැබෙන්නේ නැහැ. ඒ ගැන තියෙන්නේ දුකක්.

 

මඤ්ඤොක්කා කුරුම්බා දන්සල් වැරදුණේ නෑ

- තිලකා රණසිංහ 

පොඩි කාලේ වෙසක් මතකය හරිම සොඳුරැයි. ඉස්සර අපි වෙසක් කූඩු හැදුවා. අපේ ගෙදර ලොකුවට කූඩුවක් හදලා ඒකට පැටව් ගොඩක් හැදුවා. ඉස්සර අපේ ගෙදර ලොකු වත්තක් තිබුණා. ඉතින් ඒ වත්තේ හැම ගහකම අපි කූඩු එල්ලුවා. වත්ත පුරාම බකට් එල්ලලා මුළු වත්තම එළිය කළා. අපි ඉතින් මහ රෑට මුළු පවුලම එකතුවෙලා සිරි නැරඹුවා. අහල පහල වතුවල වෙසක් විතරක් නෙවෙයි අපේ ගෙදර වෙසක් ද අපි නැරඹුවා. ඉස්සරහට වෙලා හැඩවැඩ බලනවා. ඉතින් පළවැනි දවසේ තියෙන අඩුපාඩු දෙවැනි දවසේ හදනවා. වෙසක් එකට කූඩු හදලා වෙන මහන්සිය අපිට කවදාවත් මහන්සියක් කියලා දැනුණේ නැහැ. අපිට පාප්පවලට සව්කොලවලට යන වැඩි අනවශ්‍ය වියදම් ගැන කවදාවත් අම්මලා බැන්නේ නැහැ. වෙසක් කූඩුවලට වඩා වැඩිපුර සව්කොල අපතේ ගියා. ඒත්.. ඒ කාලේ ඒක ගාණක් වුණේ නෑ.

ඒ කාලේ අපි වෙසක් එකට අනිවාර්යයෙන්ම පන්සල් යනවා. ඊට පස්සේ දන්සල් යනවා. ඒ කාලේ මඤ්ඤොක්කා දන්සල්, කුරුම්බා දන්සල් වෙසක් එකට අපේ ගමේ වරදින්නේ නැහැ. වෙසක් දවසේ කුරුම්බා ලොකු කොත වගේ ගහලා තමයි අපි බෙදන්නේ. 

අද තියෙන්නේ වෙසක් නෙවේ. තරගකාරී ජීවිතයක්. එදා වෙසක් තමයි වෙසක්. එදා වෙසක් අපි වින්දා. අද වෙසක් අපි විඳවනවා.

 

කූඩු හදද්දී තාත්තා ගෝලයා මම වැඩ්ඩා

 

- නුවන් ගුණසේකර 

පුංචි කාලේ අවුරුද්දේ මම ආසම කරපු කාලයක් තමයි වෙසක් කාලය. මම පුංචි කාලේ ගියපු රත්තේපිටිය මහ විද්‍යාලයේදී අපි තරගයට කූඩු හැදුවා. අපේ ගෙදර අපේ තාත්තා තමයි ඉස්සර ගෙදරට වෙසක් කූඩු හැදුවේ. අද කාලේ අටපට්ටම් කූඩු වැඩිපුර තිබුණට ඒ කාලේ තාත්තා හදපු එක එක වෙසක් කූඩු නිසා තාත්තාගේ කූඩුව බලන්න ගමේ මිනිස්සු විතරක් නෙමේ අහල පහල ගෙවල්වලිනුත් ආවා. ඉතින් තාත්තාගේ කූඩුවට මම තමයි අත්උදව් දෙන්නේ. ඒකත් වෙනමම ආසාවක්. කූඩුව හදනකොට ගමේ කවුරුහරි ගෙදරට ආවොත් මම තමයි ඉතින් ගුරා. ඒ වෙලාවට තාත්තා ගෝලයා වෙනවා. මම බොරුවට අර ආපු මනුස්සයට පේන්න වැඩ්ඩා වෙනවා. තාත්තා හදපු කූඩු තරම් විශාල කූඩු පළාතෙන්ම හැදුණේ නැහැ.

වෙසක් එක ළංවෙද්දී අපේ ඊළඟට තියෙන ලොකුම වැඩේ තමයි යාළුවන්ට වෙසක් කාඩ් යවන එක. අද කාලේ වෙසක් පැතුම ෆෝන් එකේ එස්.එම්.එස්.වලට කරන්න පුළුවන් වුණාට  ඒ කාලේ අපේ වෙසක් පැතුම අපි යාළුවෙක්ට යැව්වේ පොඩි පෝස්කාඩ් වෙසක් පතකිනුයි. ඉතින් ඒ දවස්වල ගෙදරට තැපැල් මාමා එනකන් බලාගෙන ඉඳලා බෙල්ලත් රිදෙනවා. ඈතින් බෙල් එක ඇහුණත් අපි ඉස්සරහට දුවලා ගිහිල්ලත් ඉවරයි. ඇත්තටම ඒක වෙනමම සුන්දර හැඟීමක්. ඔය අතරේදී ගමේ පන්සලේ, ඉස්කෝලේදී අපි වෙසක් එකට සිල් ගන්නවා. උදේ පාන්දර කිරි සුදුවට සිල් රෙදි ඇඳගෙන ගියාට හවසට ගෙදරට එන්නේ සිල්රෙදි අතේ අරගෙන මඩ නාගෙනයි. සමහර දවසට සිල් අරගෙනත් පන්සලේ වත්තේ බිම පෙරළගෙන අල්ලන් සෙල්ලම් කරනවා. 

මට තාම මතකයි ඉස්සර සමහර වෙසක් පෝයට ගමේ පන්සලේ වෙසක් පෙරහරවල් ගියා. ඉතින් ගස්ලබු ගෙඩියක සව් කඩදාසි මල් ඉරටු ගහගෙන බයිසිකලේ පැදගෙන මුළු ගම පුරාම අපි මල් බයිසිකල් ගියා. වෙසක් එකට ආසම දේ තමයි තොරණ් බලන්නයි දන්සල් කන්නයි යන එක. අද වගේ ඒ කාලේ වාහන වැඩිය තිබුණේ නෑ. ඉතින් අපි ඔය දේවල්වලට යාළුවෝ කට්ටිය ගියේ එක්කෝ පයින් එහෙමත් නැත්නම් යාළුවෝ කට්ටිය එකතුවෙලා බයිසිකල්වලින්. පාරේ පයින් යද්දී පාරේ යන ලොරිවල නැගලා අපි හොරෙන් වෙසක් බලපු කාලය ඇත්තටම හරි සුන්දරයි. ඇත්තටම ඒ වගේ සුන්දර කාලයක් ආයේ එන එකක් නැහැ.

 

► Text – Dishani  /   Pic - Sumudu/ Internet

 

 

 

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00