රාකේෂ් කියන්නේ ඩීජේ කෙනෙක්. අද කාලේ ඩීජේ සංගීතය ගැන නොදන්න කෙනෙක් නැහැනේ නේද? මේ රාකේෂුත් අන්න ඒ වගේ ඩීජේ කෙනෙක්. ඔහුට ගෝවේවල තමන්ගේ දක්ෂතා පෙන්වන්න අවස්ථාවක් ලැබෙනවා. ඒත් ඒ වැඩේට ගියාට පස්සෙයි රාකේෂ්ට වැඩේ කැන්සල් කියලා දැනගන්න හම්බ වෙන්නේ. රාකේෂ්ගේ තාත්තට ක්ලිනික් එකක් තියෙනවා. ගොවේවලට යන්න සල්ලිත් රාකේෂ්ට වියදම් වුණානේ. ඒ හින්දා තාත්තාට අවශ්‍ය පාර්සලයක් රැගෙන එන්න රාකේෂ් කැමති වෙන්නේ ඔහුට ඒ සඳහා මුදල් ලැබෙන හින්දා වියදමට ගිය සල්ලි හරි හම්බවෙන හින්දයි.
ඒත් ඒ පාර්සලේ තියෙන්නේ මොනවද කියලනම් රාකේෂ් දන්නේ නැහැ. ඔන්න රාකේෂ් ගෝවේ ඉඳන් දිල්ලි එන්න පිටත් වෙනවා. හැම කරදරයක්ම එන්නේ එක පිටනේ. මෙන්න රාකේෂ් දිල්ලිවලට එන ගුවන් යානයට ඒ ගුවන් යානය අයත් සමාගමේ සේවකයන් වගයක් ගොඩ වෙනවා. මේ කට්ටිය තමන්ගේ සේවක ඉල්ලීම් වගයක් දිනාගන්න උත්සාහ කරමින් හිටිය කට්ටියක්. මේ කට්ටිය රාකේෂ් ඇතුළු පිරිස දිල්ලිවලට පියාසර කරමින් හිටිය ගුවන් යානය හයි ජැක් කරනවා. කතාවේ ඉතුරැ ටික දැනගන්නනම් ඔබට මේ සිනමාපටය තිරගත වෙන සිනමා ශලාවකට යන්නම වෙනවා. හයි ජැක් කියන මේ හින්දි සිනමාපටය තිරගත වුණේ 2018 අප්‍රේල් 20 වැනිදා ඉඳලයි. මේ සිනමාපටය කොමඩි සිනමාපටයක් කියන ලේබලයෙන් තමයි නිකුත්වෙලානම් තියෙන්නේ. එහෙම වෙන්න ඕනනේ නේද? මොකද ගුවන් යානයක් හයි ජැක් කරලා තියෙද්දිත් අහසේ පියාසර කරන ගමන් නැත්නම් කොහොමද වසල් සාද පවත්වන්නේ? ඒ ටික දැනගන්න නම් ඔබට මේ සිනමාපටය නරඹන්නටම සිද්ධ වෙනවා.
මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අකාර්ශ් ඛුරානා. මේ සිනමාපටයට මුදල් යොදවලා තියෙන්නේ. නිඛිල් ජකට්දර්, අරුන් ප‍්‍රකාෂ්, වික‍්‍රමදිත්‍ය මෝට්වානි, විකාස් බේහ්ල්, මධූ මන්ටෙනා කියන කට්ටිය තමයි මේ සිනමාපටයහි නිෂ්පාදකයන් වෙන්නේ. හයිජැක් හින්දි සිනමාපටයහි කතාව නම් අධීර් භාත්ගේ. මේ සිනමාපටයහි තිරපිටපත රචනා කරලා තියෙන්නේ අකාර්ශ් ඛුරානා
හයි ජැක් සිනමාපටයහි රඟපාන කට්ටිය ගැනත් දන ගන්නත් ඔබ කැමැත්තෙන් ඇතිනේ. රාකේෂ්ගේ චරිතයට පණ පොවන කෙනා ගැන මුලින්ම කියලා ඉන්නම්. ඔහු ඉපදිලා තියෙන්නේ 1983 ජූලි 27 වැනිදා ඉන්දියාවේ රාජස්තාන් ප‍්‍රාන්තයෙහි ජෝධ්පූර් කියන ගම් පළාතෙයි. අඩි හයයි අඟල් දෙකක් උස ඔහු නළුවෙක් වගේම රචකයෙක්. ඔහු විවාහ වෙලා ඉන්නේ ශිවානී තන්ක්සලේ එක්ක. දැන් ඔබට ඔහු කවුද කියලා හිතාගන්න පුළුවන්ද? ඔහු නමින් සුමීත් ව්යාස්. ඔහු 2015 තිරගත වුණු පාර්ච් සහ ගුඩ්ඩු කි ගන් කියන සිනමාපටයන්හි චරිතයන්ට පණ පොවලා තියෙනවා. ඒ වගේම තිරගත වීමට ඇති වීරේ කි වෙඩින් කියන සිනමාපටයෙත් ඔහු චරිතයකට පණ පොවලා තියෙනවා. ඔහු පුංචි තිරයේ ටෙලි නාට්‍ය ගොඩක චරිත නිරෑපණය කළ නළුවෙක්. නමින් ඔබ නොදන්නවා වුණාට ඔහුව දැක්කම නම් ඔබට ඔහු කවුද කියලා මතක් වෙන්න ඉඩ තියෙනවා හින්දි ටෙලි සිතුවම් ඔබත් නරඹන කෙනෙක්නම්.
ඊළඟට කියන්න යන්නේ මේ සිනමාපටයහි විනිත්ගේ චරිතයට පණ පොවන කෙනා ගැනයි. 1982 අගෝස්තු 21 වැනිදා තමයි ඔහු ඉපදුණේ. පුරන්ජිත් ඩාස්ගුප්තා නමින් ඔහු ඉපදුණත් දැන් ඔහු භාවිත කරන්නේ මන්ත‍්‍රා කියන නමයි. ඔහු ඉන්දියාවේ ජනප‍්‍රිය ආර්. ජේ. මන්ත‍්‍රා සහ වීජේ මන්ත‍්‍රා කියන නම්වලිනුයි. ඔහු නළුවෙක් වගෙම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදිහට තමයි ඉන්දියාවේ හැමෝම වගේ දන්නේ. ඒ වගේම ඔහු නිරූපණ ශිල්පියෙක් සහ රේඩියෝවල වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් ද වෙනවා. ඔහු ගොඩාක් ජනප‍්‍රිය ගුවන් විදුලි නිවේදකයෙක්. ඊට අමතරව ඔහු ටෙලි සිතුවම් කිහිපයකත් චරිතයන්ට පණ පොවලා තියෙනවා. මන්ත‍්‍රා 2009 තිරගත වුණු තුම් මිලේ, 2010 තිරගත වුණු අභිෂේක් බච්චන් එක්ක ගේම් සිනමාපටයේත් එම වසරේම භේජා ෆ‍්‍රයි සිනමාපටයෙත් විවිධ චරිතයන්ට පණ පොවන්නට මන්ත‍්‍රා සමත්කම් දක්වලා තියෙනවා.
හයි ජැක් සිනමාපටයහි දිල්ශාද් කියන චරිතය ගැනත් නොකියම බැහැ. මේ චරිතයට පණ පොවන්නේ 1985 මැයි 01 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයහි මුම්බයි නගරයේ ජීවත් වන කෙනක්. ඇය නිළියක් විදියට කටයුතු කරන්නේ 2010 වසරේ ඉඳලයි. මෙන්න මේ සිනමාපටවල මෙන්ම මියුසික් වීඩියෝවලත් ඇය තමන්ගේ දක්ෂතා පෙන්නලා තියෙනවා.
2011 - Pyaar Ka Punchnama (Rhea), 2015 - Wedding Pullav (Rhea), 2015 - Pyaar Ka Punchnama 2-(Supriya), 2018 - Sonu Ke Titu Ki Sweety (Cameo), Atif Aslam (Tips), Prem, a Canadian singer (Times) Dr. Zeus (Studio One).
ඇය නමින් සොනාලි සෙයිගල්. කොල්කතාවල තමයි ඇය හැදුණු වැඩුණු ඉගෙන ගත්ත ප‍්‍රදේශය වෙන්නේ. ඇය 2006 දී මිස් ඉන්ඩියා ඉන්ටර්නැෂනල් තරගයට තමයි මුලින්ම ඉදිරිපත්වෙලා තියෙන්නේ. මෝස්තර නිරූපිකාවක් ද වෙන සොනාලි සෙයිගල්ට අමතරව මිස්ටර් ටනේජාගේ චරිතයට කුමුද් මිශ‍්‍රා සහ චේතන්යාගේ චරිතයට ප‍්‍රියන්ශු පේන්යුලි සහ ශිව් කුමාර් සුබ‍්‍රමනියම් ද මේ සිනමාපටයෙහි චරිතයන්ට පණ පොවලා තියෙනවා.
හයි ජැක් සිනමාපටය සංගීතවත් කරලා තියෙන්නේ නුක්ලියා. ඊට අමතරව මේ සිනමාපටය සංගීතවත් කරන්න ශ්වේතන්ග් ශන්කර්, ස්ලෝව්චේතා, රජත් තිවාරී, අනුරාග් සාකියා කියන කට්ටියත් තමන්ගේ ශ‍්‍රම දායකත්වය ලබා දීලා තියෙනවා.
හයි ජැක් සිනමාපටයෙහි ඇති සුන්දර ගීතවල රමණීයත්වය වැඩි කරන්නට ඒවා පදවැල් බවට ගලපලා තියෙන්නේ විභා සරෆ්, ස්ලෝව්චේතා, අක‍්‍රාශ් ඛුරානා සහ අනුරාග් සාකියා සහ රජත් තිවාරී. මේ ගීපදවැල්වල සුන්දරත්වය වැඩි කරන්නට ඒවාට සප්ත ස්වරයන් මුසු කරලා තියෙන්නේ නුක්ලියා සහ විභ සරෆ්, ස්ලෝව්චේතා සහ් ෂ්වේතන්ග් ශන්කර්, අනුරාග් සාකියා කියන සංගීත ශිල්පීන් විසින් වන අතර මේ ගී පද වැල්වලට තමන්ගේ හඬින් පණ පොවලා තියෙන්නේ විභ සරෆ්, ස්ලෝව්චේතා, ශ්වේතන් ශන්කර්, ලිශා බජාජ්, මන්ත‍්‍රා, අසීස් කොවුර්, සිමේධ කර්මහේ, තාරුක් රයිනා සහ මානසි මිල්හේර්කර්.
► Translation — Chandana Waravitage