2018 මැයි 05 වන සෙනසුරාදා

එහෙව් කිරි කැවිල්ලක්

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 79

ළඟදී පවත්වපු තවත් කලාශිල්පීන් සහභාගී වුණු බක්මහ උළෙලෙකදී පොඩි අකරතැබ්බයක් වෙලා.
අන්ධයාට කිරි කවන තරගයට ජනප්‍රිය නිළියකුයි නළුවෙකුයි සහභාගී වෙලා. උත්සවය පැවැත් වුණේ පන්සල් භූමියක. ආරාධිත ස්වාමීන් වහන්සේ දෙනමක්ද මෙය නරඹමින් සිටියලු.

කිරි කවන තරගයට සහභාගී වූ නළු නිළි යුවළ දිනුම් කණුවට යන ගමන් හාමුදුරුවන්ගෙ පුටු දෙක පෙරළලා දුවලා තියෙනවා. කොහොම හරි දෙන්නට දෙවැනි තැනත් හම්බවෙලා.

 

මාර ෂෝ

සමාජයේ විවිධ අංශවලින් අපට ඇහෙන්නෙ අසාධාරණකම් වගේම මුලා කිරීම්.
මුලා කිරීම්වලට වැඩි වශයෙන් අහුවෙන්නෙ අහිංසක මිනිස්සු. කලා ලෝකයේදීත් මෙවැනි මුලා කිරීම්, ඇන්දිලිවලින් අඩුවක් නැහැ.

සමහර ශිල්පීන් ශිල්පිනියන් රැවටිලිවලට හසුවෙනවා වගේම ඇතැම් අය සංවිධායකවරුන් රවටන අවස්ථාත් තියෙනවා.
මෑතකදී සුප්‍රකට ආයතනයකට අවශ්‍ය වුණාලු ජනප්‍රිය ගායන ශිල්පීන් යොදා සංගීත ප්‍රසංගයක් කරන්න. ලංකාවෙ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂවරයෙක් සහ නිවේදකයෙක් මේ සඳහා තෝරාගත්තා. 

ගායක ගායිකාවන්ගේ ලැයිස්තුව ද ඔවුන් ලවා අනුමත කරගෙන ඒ අයගෙන් අවම අයකිරීම් මේ සඳහා තීන්දු කරගත්තලු. අර සංගීතවේදියාගේ දැනහැඳුනුම්කම් නිසා ගායක ගායිකාවන්ද උපරිම අඩු මුදලකට එන්න පොරොන්දු වුණාලු. 
ඔන්න දැන් හෙට අනිද්දා ෂෝ එක තියෙනවලු. ඒත් සංගීත අධ්‍යක්ෂණය හා නිවේදකවරයා වෙන දෙන්නෙක්ලු. 

 

අයියෙ ඔයා නළුවෙක්ද?

පසුගිය දවස්වල ඉතින් හැම තැනම අවුරුදු උත්සව තිබුණානෙ. මේ ළඟදි කලාකරුවන්ගේ බක්මහ උළෙලකුත් තිබුණලු. හැබැයි කලාශිල්පීන්ට විතරක් නෙවෙයි. ඒ පළාතෙ ප්‍රදේශවාසීන්ටත් ඒ සඳහා සහභාගී වෙන්න අවස්ථාව ලබාදුන්නලු.
රසික රසිකාවියනුත් මේක බලන්න ඇවිත් හිටියා. මේකට සහභාගී වුණු නිළු නිළියනුත් කැප් තොප්පි දාගෙන කළු කණ්ණාඩි දාගෙන තමයි තරගවලට සහභාගි වුණේ. ප්‍රදේශයේ අයත් ඔහොමලු. කැප් එකයි සන්ග්ලාස් දාගෙන.

දැන් මෙතෙන රැස්වෙලා ඉන්න රසික රසිකාවියන්ට ලොකු ප්‍රශ්නයක්ලු නළු නිළියො වෙන් කරලා හඳුනාගන්න එක්ක. සමහරු ළඟට ගිහින් අහනවලු  අයියෙ ඔයා නළුවෙක් ද? කියලා.
 

ඒ කාලේ ට්‍රික්ස්

දැන් පෙන්වන සමහර චිත්‍රපට වගේ නෙවෙයි 70 දශකයේ අපේ චිත්‍රපට මාරයි කියලනෙ ගොඩාක් අය කියන්නේ.
ලස්සන සින්දු, නැටුම් වගේම හොඳ ෆයිට්. ඒකාලේ ෆයිට් බලන්නත් චිත්‍රපට හෝල්වලට යනවනෙ. ඒ තරම්ම ඒ ෆයිට් තාත්විකවලු.

ඒ කාලේ සමහර චිත්‍රපටවල සටන් දර්ශන රූපගතකරන්න කළින් අධ්‍යක්ෂක ඇතුළු පිරිස දවස් ගණන් ප්ලෑන් කරනවලු.
ප්‍රවීණ නිළියක් මෑතකදී අපට කිව්වෙ බොහෝ විට සටන් කරන්න ඉන්න නළු නිළියන්ව වෙනත් උපක්‍රම යොදලා ෂූටිංවලට කළින් කොටවනවලු. ඉතින් ඒ අය ෆයිට් සීන්වලට එන්නෙ සැබෑම හතුරන් විදිහටලු.

රූපගතකිරීම් ඉවර වුණාමලු ඇත්ත කතාව හෙළි කරන්නේ. තාත්වික රංගනයක් සඳහා කරන දේවල්?

 

අනේ මගේ මස්කට්

ෂූටිං ඉවරවෙලා බදුල්ල පැත්තෙන් කොළඹට එන වෑන් රථයක කලාශිල්පීන් ශිල්පිනියන් පස් හය දෙනෙක් හිටියලු.
මඟදී එනගමන් නිළියක් ගෙදරට හොඳම කොලිටියේ මස්කට් කිලෝ දෙකක් ගත්තලු. මඟ එනකොටම කට්ටියට නින්ද ගිහින්.
ඉස්සෙල්ලම බහින්න හිටපු ශිල්පියා බැස්සෙ අර මස්කට් එකත් අරගෙන. අනිත් කට්ටිය නිදි. මස්කට් ගත්තු ශිල්පිනිය ගේ ළඟට ඇවිත් බලද්දී මස්කට් පෙට්ටිය නැහැල්ලු. රියැදුරු කතාව කිව්වලු. ඇය වහාම ඔහුට කතා කළා.

මොකද්ද ඔය කරපු කැත වැඩේ. මම ගෙදර ගෙනියන්නනේ ඕක ගත්තෙ. හෙට උ‍ද‍ෙන්ම අපේ ගෙදරට ඒක ගෙනත් දෙන්න.
බහිද්දි ඕක මගේ ඔඩොක්කුවේ තිබුණ නිසයි මම ගත්තෙ. කැත විදිහට කතා කරන්න එපා...
හා... හා... එහෙනම් බෝම්බයක් ඔයා ළඟ තිබුණත් ඒක අරන් බහිනවද?

 

► Text - Mithra