
රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවාණනි
නොගිලී දළ රළ පෙළ අතරේ
මා හා යා නොහැකිය ගොඩබිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ
දෝතට එක් කළ වැසි දිය පොවමින් පවසට
ඉරුණු රුවල් රෙදි දවටා සදමින් උණුසුම
මා රැකගත් ඔබ රැක ගත යුතු වේ අද දින
දියඹේ නවතිමි යනු මැන පෙරමඟ තනිවම
සුන්බුන් නැව් බඳ දියබත් වී යයි හෙමිහිට
අත්හල මැන දැන් මෙතුවක් මට බැඳි සෙනෙහස
දෑස පියාගෙන මා බිලිදී දිය ගැඹරට
ගැලවී යනු මැන මේ විපතින් සිත දැඩි කොට
අත්හල මැන දැන් මෙතුවක් මට බැඳි සෙනෙහස
ආ දුර කොතෙක්ද කියන්න නොදන්න අනන්ත සංසාර සුවිසැරියේ අපි දිගු ගමනකට අත්වැල් අල්ලන මගීන් වෙමු. අප මනසින් සහ මසැසින් ගිලිහෙන්නට නොදී අල්ලා ගෙන සිටින ඒ සංසාර යාත්‍රාවේ රැහැන්පොට බන්ධනයයි. බැඳීම් නැමැති ගංඟාව ඉමක් නොදැන ගලා යයි. සාගරයනම් නිර්වාණය කරා ඇදී නොගොස් ඒ ගංඟාව බැඳීම් නමැති මුව දොරින් මුව දොරට ජීවිතයම ඉල්ලාගෙන යයි. එහෙත් මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙන ක්ෂණයක් ක්ෂණයක් පාසා මියැදෙන සියල්ල අත්හැරීම අවසාන අර්ථයෙන් සැබෑ සැනසිල්ල වග හදවතට පසක් වෙද්දීත් අපි ජීවිතය හා බන්ධනයම මහා ලෝභත්වයකින් අල්ලාගෙන සිටින්නෙමු. අවසාන අර්ථයෙන් දුක් සහිත වූ සියල්ල අත්හැරිය හැකිනම්, භවයෙන් භවයට මා ඔසවාගෙන යන මේ සිරුර මට අත්හල හැකිනම්...
අත්හල මැන දැන් මෙතුවක් මට බැඳි සෙනෙහස....
මගේ සිත තදින් අල්ලාගත් සහ මා ඉතා සියුම් ලෙස වින්දනය කළ ගීයක හදවතේ ඉසියුම්ම ඉසව්වක් ස්පර්ශ කළ ගී පද පේළිය එයයි. ඒ ගීයේ ඇරඹුම ඔබේ මතකයේ සමීපයට කැටුව එමි.
රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවාණනි
නොගිලී දළ රළ පෙළ අතරේ
මා හා යා නොහැකිය ගොඩබිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ
ඒ ගී පද සංයෝජනයේ අයිතිකාරයා මහැදුරු සුනිල් ආරියරත්නය. සංගීත සුසංයෝජනයේ නියමුවා ආචාර්ය රෝහණ වීරසිංහය. සුගායනය නන්දා මාලිනිගේය. සුභාවිත සුභාෂිත සුලාලිත ලාංකික ගී සංධ්වනියේ මගේ හදවතට වඩාත් සමීප වූ ගී දැහැනේ එක් ගීයක් වූ රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවාණනි, ගීතය මගේ විචාරයට ලක්වෙන්නේ අර්ථ නිරූපණ කිහිපයක් ඔස්සේය.
ඒ ගීයේ මුල් කොටස කෙනෙකුගේ දුක, කඳුළ, අත්හැරීම ගැන ආත්මීය ප්‍රකාශනයක් වැන්න
නොගිලී දළ රළ පෙළ අතරේ
මා හා යා නොහැකිය ගොඩබිමකට
රුවල් ඉරී ගිය නෞකාව ඉලක්ක, බලාපොරොත්තු, ප්‍රාර්ථනා අත්හැරුණු කෙනකුගේ ජීවිතයයි. ඒ ජීවිතය මඟ වැරදී, යා යුතු දිශානතියක් නොදැන සංසාරය නැමැති සයුරේ අතරමං වී මුහුදුබත් වෙන්නට වැඩි ඈතක් නැත. සාමාන්‍ය පෙළ විභාග කඩුල්ල පැන ගත හැකි වූ ශිෂ්‍යයෙක් සහ ඒ තීරණාත්මක කඩඉමෙන් එතෙර වෙන්නට නොහැකි වූ ශිෂ්‍යයෙක් අතර ඇතිවෙන හුදු සංවාදයක් වැන්න එය. මා හා හිටියොත් මේ මිතුරුදම අත්නොහැරියොත් ඔබටත් මඟ වරදීවි. ජයග්‍රහණයේ ගොඩබිමක් වෙත ජීවිත යාත්‍රාව පදවන්න ඔබට නොහැකිවේවි. මේ මුහුදට මා බිල්ලක් වූවාට කම්නැත. සබඳ ඔබ මා හා නොනැවතී ඔබේ දුර ගමන යන්න... එවන් අර්ථ සංධ්වනියක් ඒ ගීය වරෙක මා හද සන්තානයේ මවාලයි. ඊටත් වඩා ගැඹුරින් අරුත් පසිඳින කල මා දකින්නේ මෙවන් චිත්‍රණයකි. කොතරම් බැඳීමකින් අප බැඳී සිටියත් මේ ගමන අපට එක්ව යා නොහැකිනම් ඔබ මා අතැර යන්න. මාත් සමඟ මේ ගමන ගියොත් ඔබේ ජීවිතයේත් මුදුන් රුවල ඉරී යා හැකිය. මා ඔබට පෙම් කරමි. එහෙත් ඒ ප්‍රේමයට අවැසි වන්නේ වේදනාව හා අහිමිවීම ඔබ වෙත ප්‍රදානය කරනු වස් ඔබ මගේ කරගැනීම නොවේ. හුදෙක් අයිතිය පිණිස ඔබ අත්පත් කරගැනීම නොවේ. වේදනා දුක් සුසුම් නම් මහ මුහුදට දියබත් වූ මා ජීවිතය බිලිවෙද්දීත් ඔබ සතුටින් ජීවිතයෙහි සරණු දැකීම ඔබට පෙම් කළ මගේ අවසන් ප්‍රාර්ථනයයි. ඔබේ මතකයෙන් මා ඔබ අතීතය නැමති මහ මුහුදට විසි කරන්න. සතුට පමණක් ඔබ රුගෙන යන්න.
දෝතට එක් කළ වැසි දිය පොවමින් පවසට
ඉරුණු රුවල් රෙදි දවටා සදමින් උණුසුම
මා රැකගත් ඔබ රැක ගත යුතු වේ අද දින
දියඹේ නවතිමි යනු මැන පෙරමඟ තනිවම
අධ්‍යාත්මික ප්‍රේමයට එදිරිවීර සරච්චන්ද්‍රයන් අපූර්වතම අර්ථකථනයක් දුන්නේය. එනම් පෙරළා ලබනට නොසිතා බිඳකුත් ප්‍රේමය පූජාවක් පමණක් විය යුතු බවය.
ප්‍රේමය නම් අෙසනිය කුසුමක් වේ
රිසි වූ කෙෙනකුට පූජා කරන්න
ලෝභ සිතින් තොර පිදුව මනාවේ
පෙරළා ලබනට නොසිතා බිඳකුත්
එනයින් ප්‍රේමය නොඉල්ලා කිසිවක්ම බොහෝ දේ දන් දෙන වනස්පතියක වැන්න. මල් පල සෙවණ සිහිලස හව්හරණ පමණක් නොව තම අතු අගිසි අගින් ගිලිහී වැටෙන තුරු පත් පවා ඒ මහ ගස මහ පොළොවට දන් දෙයි. ප්‍රේමය ප්‍රේමයම මිස අන් කවරක්ද? අයිතිය නොව පරිත්‍යාගය ඉල්ලීම නොව කැපකිරීම ලබා ගැනීම නොව ප්‍රදානය අධ්‍යාත්මික ප්‍රේමයේ මා දකින වර්ණාවලියයි. දෙවියන් වහන්සේ බයිබලය තුළ මිනිස් වගට ඒත්තු ගන්වන්නට යත්න දැරූ දිව්‍යමය ප්‍රේමයේ ස්වභාවය එයයි.
සුනිල් ආරියරත්නයන් ඒ අධ්‍යාත්මික ප්‍රේමයේ හැඩරුව කියන්නට ගත් සොඳුරු වෙහෙසක් ලෙසද මට මේ ගී පද වරෙක දැනේ.
එසේම භෞතික සම්පත් අතින් දුප්පත් කෙනකුගේ හදවත ගැඹුරේ ඉපදුණු පොහොසත් ප්‍රේමයක දිගහැරුමක් තවත් අවකාශයකදී මේ ගීය වින්දනය කරද්දී මට දැනේ.
ඔබේ ජීවන දාහය නිවාලන්නට මා සන්තකව බොහෝ දේ නොතිබුණේය. එහෙත් වැර වෑයමින් උපයා ගත් දෙයින් මම ඔබේ ජීවන පවස මට හැකි ලෙසින් නිවූ එදවස් බොහෝය. දෝතකට ගත හැක්කේ දිය දෝතක් පමණි. ඒ දිය දෝතද මා ස්වභාවදහමට එරෙහිව නොගොසින් ගත් දිය දෝතකි. දෙන්නට බොහෝ සැප සම්පත් නොතිබුණත් සාධාරණව උපයා ගත් දෙයින් මම ඔබ මෙතුවක් රැක ගත්තෙමි. අගහිඟකම් ජීවන සඳ මත නෙක ආවාට මවද්දී ඔබේ නොවෙනස් ප්‍රේමය මහා අධ්‍යාත්මික පවුරක්ව මා රැක ගත්තේය. ජීවිතය නැමැති නෞකාවේ රුවල දුප්පත්කම හා අනේක විධ සමාජ ප්‍රශ්න පීඩන විසින් ඉරා දමා මා අතරමං කළ අද දවසේ ඔබට තවත් මා ළඟ නවතින්න යැයි මම නොකියමි. ඔබ සුරක්ෂිත වන්නේ මගේ ජීවිතයෙන් ඔබ පිටමං වී ගියහොත් පමණි. මා හා එක්ව යන ගමන ඔබේ සිහින ඔබට අහිමි කරනු ඇත. එහෙයින් මින් එහා ජීවිතයේ දුර සොඳුර ඔබ තනිවම යන්න. මෙතෙකින් මම නවතිමි. ගීතයේ දෙවැනි කොටසින් මෙවන් සිතුවිල්ලක් සඟවා මතු කරතැයි මට සිතේ.
මේ සියලු ලෞකික අර්ථයන්ට එහා ගිය අර්ථයක් මේ ගීයේ අවසන් පද සමුදායෙන් දිගහැරී ඇතැයි මම විශ්වාස කරමි. එය ලෝකෝත්තර අරුත් කියවීමකි. සංසාරයේ ඉම අවසන් සතුට සහ සැබෑ සතුට නිර්වාණයම මිස අන් කවරක්ද? ඒ සතුටේ මාර්ගය වැටී ඇත්තේ අත්හැරීම තුළය. ජීවිතය සුවපත් කිරීම වෙනුවෙන් දෑතින් අල්ලා ගන්නා දෙය වුව මනසින් සහ මසැසින් අත්හැරීම තුළය. ලෝකයෙන්ම හුදෙකලාව අපි වරෙක අපි සමඟම කතා කරමු. ඔබ ඔබත් සමඟම කතා කරන ඔබ ඔබවම කියවන මොහොතක ඔබේ හදවතට දැනෙන යථාර්ථයක් මේ ගී පදවලට ප්‍රස්තුත වූවායයි මට සිතේ.
සුන්බුන් නැව් බඳ දියබත් වී යයි හෙමිහිට
අත්හල මැන දැන් මෙතුවක් මට බැඳි සෙනෙහස
දෑස පියාගෙන මා බිලිදී දිය ගැඹරට
ගැලවී යනු මැන මේ විපතින් සිත දැඩි කොට
මොහොතක් පාසා මියයන වෙනස්වෙන මේ සිරුරේ ස්වභාවය මුල් ගී පදය ඔස්සේ මැනවින් මතු කරයි. මරණය පොදු ධර්මතාවයක් බව ඉවසීමෙන් සිහිපත් කරයි. ඔබ ඔබේ මේ දෙතිස් කුණු කය කෙරේ ඇති බැඳීම ආශාව ආශක්ත බව අත්හරින්න. ඔබව සංසාරයේ මෙතුවක් දුර රුගෙන ආ මේ ශරීර බන්ධනයේ සිද්ධාන්තය හෙවත් සෙනෙහස දැන් අතහරින්න. මේ කුණු කය සංසාරය මත අත්හැර ඔබේ මනස ඔබ සැබෑ සතුටේ මාර්ගය වෙත රැගෙන යන්න.. සැබෑ සතුටේ ඒ මාර්ගය කුමක්ද? ඒ මාර්ගය විමුක්තියයි. එහි අවසන් ඵලය නිර්වාණයයි.
දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර