2018 මැයි 12 වන සෙනසුරාදා

දැහැන

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 134

Convent එකේ ඉගෙනගත්තු කාලයේ මගේ ළඟින්ම හිටිය යාළුවා තමයි පොත්. පොත් පිටු අස්සේ මට ජීවිතය ගැන කියලා දුන්නු හුඟක් අය හම්බවුණා. අම්මා, තාත්තා, සහෝදරයෝ, නෑදෑයෝ, යාළුවෝ මේ ඕන කෙනෙක්ගේ හිස්තැනක් නැති කරන්න මේ හොඳම යාළුවට පුළුවන්. එමා බෝවාරී මට මුණගැහුණෙත් පොතක පිටු අස්සෙදී. පොත් පිටු අස්සේ මුණගැහෙන කාලයේ වැලිතලාව දිගේ දුර ගමන් යද්දී අපිට ජීවිතයේ වෙනස්කම් පරිවර්තන එක්ක අමතක වෙලා යනවා. ඒත් එමා කවදාවත් මගේ මතකයෙන් පිටමං වුණේ නෑ. මගේ ජීවිතේ හුඟක් තැන්වලදී එමා මාත් එක්ක කොහේදෝ අනන්තයක ඉඳන් ජීවිතේ ගැන කතා කරනවා කියලා මට හිතුණා. එමා බෝවාරී පොත ලීවේ ගුස්ටාව් ප්ලෝබෙයාර්. සාහිත්‍ය හදවත යටපත් කරගෙන අන්තිමේදී ගුස්ටාව්ගේ පිරිමි හදවත මතු වුණා කියලා මට හිතෙනවා. ජීවිතේ මඩ ගොහොරැ මැද්දේ වැටි වැටී ජීවිතය හොයාගෙන හොයාගෙන ගිය එමාව ගුස්ටාව් අන්තිමට මරලා දානවා. මුළු ජීවිත කාලයම එමා හොයපු එකම එක දෙයක් තිබුණා. ඒත් ජීවිතේ එකම එක දවසකදීවත් එමාට හමුනොවුණෙත් එමා හොයපු ඒ එකම එක දේමයි. එමා මුළු ජීවිත කාලයම හිඟමන් යැද්දේ ආදරය. එයා නිවන, එයා සනහන එයාට ජීවිතයක් අරන් එන ආදරයක්. ඒත් ලෝකයට නොපෙනෙන්න, ලෝකය හමුවේ නෑදෑකමක් නොකියන්න, ඒ බැඳීමට නමක් නොකියන්න පොරොන්දුව පිට එමාගේ අත්දෙකින් අල්ලගන්න ලෑස්ති වෙච්ච ඒ හැම කෙනෙක්ටම ස්පර්ශ කරන්න ඕන වුණේ එමාගේ හදවතේ පතුල ගැඹුර නෙවෙයි එමාගේ ගැහුනු සිරුර. ඒත් එමා හෙව්වේ ජීවිතේ නිමක් නැති වෙහෙස නිවාගන්න එකම එක දවසක් ඔළුව තියාගෙන අඬන්න ආදරණීය උරහිසක්, එකම එක දවසක් සැනසිල්ලකින් ඇස් පියාගන්න පිරිමියකුගේ ළය මඬලක්. ඒත් ගුස්ටාච් පොතේ අකුරක් අකුරක් ගාණේ එමාව ටිකින් ටික මැරුවා. පණපිටින් වැලලුවා.

මේ පත්තර ජීවිතේදී අපි හුඟක් වෙලාවට ගනුදෙනු කරන්නේ භෞතික මෙවලම් එක්ක නෙවෙයි මිනිස්සුන්ගේ හදවත්, හැඟීම්, අනේක ප්‍රශ්න, පීඩන එක්ක. මිනිස්සු වසන් කරන්න හදන මානව ප්‍රකෘතිය එක්ක. මිනිස්සුන්ගේ ජීවිතවල ඒ අය වඩාත් සංවේදී එක තැනකින් ජීවිත ලිහන්න ගත්තම ඇස් දෙකින් ඇස් දෙකත් එක්ක කතා කරන්න ගත්තම ඒ ජීවිත ඇතුළෙ හංගගෙන ඉන්න කතන්දර වේදනාවන් කඳුළු අපිට හමුවෙනවා. එමාලා, මට මම පය ගහලා ඉන්න සමාජයේදී හමුවුණේ ඒ සමාජ කියවේදීමයි.

තමන්ව තමන්ගේ ජීවිතේ ගැඹුරටම එබිලා කියවන්න පුළුවන් අය අපට මේ ජීවිත කාන්තාරයේදී හමුවෙන්නේ හුඟක් කලතුරකින්. ජීවිතේ වැලිකතරට කොහේදෝ ඉඳන් ආව වැස්සක් වගේ දැනෙන්න ගන්නේ ඒ වගේ ආත්මීය බැඳීම්. මුළු සංසාරෙම අපි හමුවෙන්න ඇති වගේ හැඟීමකින් විශ්වාසයකින් අපි පළමු දැක්මෙන්ම බැඳී යන්නේ ඒ වගේ බන්ධනයක වෙන්න ඇති. ජීවිතේ විශ්වාසයෙන් ආදරයෙන් ළං කරගන්න පුළුවන් අය අපට මුණගැහෙන්නේ සමහරවිට මුළු ජීවිත කාලයටම කීප දෙනයි. ඒත් විශ්වාස කරන්න ප්‍රතිරූප මවාගන්න ඉක්මන් වෙන්න ඕනෙත් නෑ කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඒක ඇත්ත.ඒත් කොන්දේසි විරහිතව විසම්මුතිකව ඇතිවන බැඳීම් මේ ජිවිතයේ හමුවෙනවා.ඒ බැඳීම් අපට දැනෙන්න ගන්නේ මට හිතෙන්නේ ආත්මගත බැඳීම් විදිහට. විශ්වාසය ඉල්ලනවට වඩා සුන්දරම දෙය තමයි විශ්වාසවන්ත වෙන එක. ආදරය ඉල්ලනවට වඩා හොඳම දේ තමයි ආදරය පූජා කරන එක.

සෙනෙහස ගඟුලක් ඔබට පුදන්නෙමි 
බිඳුවක් ඔබගෙන් ලබන නියා...
සෙනෙහස උතුරන මහ සයුරක් වෙමි
වෙරළක් වී ඔබ දකින නියා.... 

එහෙම හිතන්න පුළුවන්නම් ආදරය හැමදාම පරිත්‍යාගයක්. පරාර්ථයක්. ජීවිතේ හැම බැඳීමකටම නමක් නැති වෙන්න පුළුවන්. ඒ බැඳීම හදවතටම දැනෙනවා නම් මොකටද නමක්. මොකටද අයිතියක්. නමක් අයිතියක් තිබුණත් හදවතට ජීවිතයට නොදැනෙනවා නම් අවසානයේ මොකක්ද අපි ලබන සතුට සැනසීම. මට හිතෙන්නේ එමා පාරක් පාරක් ගාණේ ජීවිතය හොයන්න ඉස්සර එක මොහොතක් එහෙම හිතුවනම් මාත් එක්ක කතා කරන්න එමාට මළවුන්ගේ ලෝකයේ ඉඳන් තාමත් හුස්මක් වැටෙන මගේ ලෝකයට එන්න වෙන්නේ නෑ.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00