2018 මැයි 19 වන සෙනසුරාදා

දැහැන

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 173

ඇයගේ අවසාන ඉරණම කොහොම ලියවුණාද කියන්න මම දන්නේ නෑ... ඒ ප්‍රේම සැඳෑවෝ එක තැනකින් එහාට කියවන්න තරම් මානසික සිහිලසක් මට එදා නොතිබුණු හින්දා... මට දෙවියන් මුණගැසුණේ පල්ලියේදී නෙවෙයි... කල්ප කාලාන්තරයකට පස්සේ ජීවිතයේ තව වතාවක් මට දෙවියන් මුණගැසුණු බව මගේ හදවත මට කියන්න අරගෙන. ඉතින් නැවත වතාවක් ප්‍රේම සැඳෑවෝ නවත්තපු තැනින් ආයෙත් කියවන්න අරගෙන ඇනස්ටාසියා ඔයාගේ ඉරණම ගැන ඔයත් එක්ක මට කතා කරන්න හිතුණා... ඔයා කියවලා තියෙනවද ප්‍රේම සැඳෑවෝ... ප්‍රේම සැඳෑවෝ නමින් සිංහලයට නැගුණේ E.L. James ගේ Fifty shades of Grey කියන පොත. මට මතකයි එක දවසක් ජර්මනියේ ජීවත් වෙන ප්‍රේම සැඳෑවෝ පරිවර්තකයා මාත් එක්ක කතාකරද්දී මගෙන් ඇහුවා ඇයි සමහරු මේ පොත කියවලා මට බණින්නෙ කියලා. ජීවිතය නොවිඳ ජීවිතය අස්සේ තටු හකුලාගෙන හැංගිලා ඉන්න මිනිස්සු එහෙමයි..... මට කියන්න ඕනවුණේ ඒක.... ජීවිතයට වයසක් තිබුණට ජීවිතයට සිහිලසක් ගෙනෙන හැඟීම්වලට වයසක් නෑ... සීමා මායිමක් නෑ. සංසාර සමුදුරේ ඇදී ඇදී යන මේ යාත්‍රාව කොතැනකදී හරි නැංගුරම් ලන මොහොතක් දක්වා මට හිතෙන්නේ ඔයයි මමයි දෙන්නම ජීවිතෙන් අයදින්නේ එකම හැඟීමක්...  ඒ ප්‍රේමය... අහුමුලු ගානේ හම්බවෙන සිල්ලර ප්‍රේමය නෙවෙයි දෙවියන් වහන්සේ ඉගැන්නුව දිව්‍යමය ප්‍රේමය... ඒ ප්‍රේමය සදාකාලිකයි... ඒ ප්‍රේමය මරණය සමඟවත් මිය නොයන ප්‍රේමයක්... ඒ ප්‍රේමය ත්‍යාගශීලියි... ඉවසිලිවන්තයි... නොඉල්ලමි කිසිවක්ම ආදරය හැරෙන්නට... ඒ ප්‍රේමය අරැත් ගැන්වෙන්නේ එවන් අරුතකින්...

ඇනස්ටාසියා මට හිතෙනවා ප්‍රේම සැඳෑවෝ එයයි ඔයයි ගැන කතා කරන්න. ඇනස්ටාසියා සහ ක්‍රිස්ටියන් ඒ ඔයාලා දෙන්නා. ක්‍රිස්ටියන් කියන්නේ ඔයාගේ දුප්පත්ම දුප්පත් ලෝකෙට ආව ලොකු සල්ලිකාරයෙක්... එයාගේ ලෝකය පුරා කොච්චර දේවල් තිබුණද? මතකද ඔයාට එයාව මුණගැසුණු හැටි..... ඔයා එයා ළඟට ගියේ එයාගෙන් interview එකක් ගන්න සඟරාවකට. අන්තිමට එයා දවසක ඔයාගේ මුළු ජීවිතයම interview කරන්න පටන් ගත්තා. කා ළඟවත් නොවැටී මහා හයිය ගෑනියක් විදිහට හුඟක් ගින්දර කාටවත් නොපෙනෙන්න පපුව අස්සේ හංගගෙන ලෝකයත් එක්ක හරි අපූරුවට හිනාවෙවී ජීවත් වෙච්ච ඔයා එයා ළඟ ඉටිපන්දමක් වගේ දියවෙන්න පටන් ගත්තාද ඇනස්ටාසියා! මට වෙලාවකට එහෙම හිතුණා. මට හිතෙන්නේ ඒ කිසි දෙයක් අහම්බයක්ම නෙවෙයි... ඔයා එයා ඔයාගේ මුළු ජීවිතයම කරගත්තේ ඇයි කියලා ඔයාට වද දිදී අහන්න මට වෙලාවකට ඕන වුණා. ඒත් ඔයා මට හිනාවෙවී මෙහෙම උත්තරයක් දෙයි කියලාත් මට හිතුණා... මම ආදරය කරන්නේ හදවතින් නෙවෙයි ලේ වලින්... ලේ වලින් එන කැක්කුම් කාටවත් කවදාවත් ඉහිරුවන්න බෑ... ලේ හරි ඝනකම්... ප්‍රේමය ලේ වල දියවෙන්න ගත්තම ඒ ප්‍රේමය කවදාවත් ආත්මයෙන් එහාට වීසි කරන්න බෑ... ඔයා එහෙම කියද්දී මට ඔයාගෙන් අහන්න එක ප්‍රශ්නයක් තිබුණා. ඔයාගේ ලෝකයයි එයාගේ ලෝකයයි අතර දුර අනන්තයක්... ඔයා මම කියන්න ගිය දේ කියලා ඉවර කරන්නත් ඉස්සර මෙහෙම උත්තරයක් දුන්නා... ඒත් ඒ අනන්තය ඇතුළෙ අපි දෙන්නා එකම එක දශමයකවත් පරතරයක් නොදැනෙන සමාන්තර රේඛා දෙකක්. කොච්චර සමාන්තරව සමපාතව ගමන් කළත් සමාන්තර රේඛා දෙකක අවසානය දෙකෙළවරක් ඇනස්ටාසියා. මම එහෙම කියද්දි ඔයා මට කීවේ මෙහෙම දෙයක්. මට ක්‍රිස්ටියන්ගෙන් ලැබෙන ප්‍රේමය ඉදිකටු තුඩක් තරම් කියලා කෙනෙක් කීවත් ඒ ප්‍රේමය ඇත්තක් කියලා මගේ හදවතට දැනෙනවා නම් ඒ වෙනුවෙන් මහමෙරක් තරම් ආදරය කරන්න මගේ හිත ලෑස්තියි කියලා. ඒත් ඔයා එහෙම කීවත් වචන නැතුව කතා කරන ඔයාගේ ඇස් අස්සේ කවදාවත් මේ ලෝකේ කාටවත් කියවන්න බැරි වෙච්ච වේදනාවක් හැමදාම තිබුණා.... ඒ මොහොතෙත් ඒ ශෝකබරිත ඇස් අස්සේ දැල්වුණේ ඒ වේදනාව ඇන්ස්ටාසියා. මම දැනගෙන හිටියා හුඟක් දේවල් වලින් පිරුණු එයාගේ ලෝකය ඇතුළෙ ඔයා එක පුංචි තිතක් විතරයි... අවසාන අංකයක් විතරයි කියලා... ඒත් ඔයා අන්තිමට කීවේ දෙවියන් වහන්සේ ප්‍රේමය ගැන කියපු දෙයක්... නොඉල්ලමි කිසිවක්ම ආදරය හැරෙන්නට.

ඔයා මට එක රාත්‍රියක් ගැන කීවා මතකයි. ඒ රෑ කවියක්... ඒත් මට හිතෙන්නේ ඒ ඔයා වින්ද රාත්‍රියක් නෙවෙයි... ඔයා විඳින්න පෙරුම් පුරාගෙන බලාගෙන හිටපු රාත්‍රියක්.... ළා එළියක් විහිදිච්ච හෙමින් සැරේ පිනි බින්දු පොළොව ඉම්බ කළුවර හඳ එළියකට ඉඩක් නොදී හාත්පස ඉහිරිච්ච ඒ රූ ඔයා හිටියේ පුංචි සඳලුතලයක් තිබුණු ලස්සන පුංචි කාමරයක... බැදපු අලපෙති රස විඳින ගමන් ළා රත්තරන් පාට ජින් වීදුරැවක හිස්වෙන උගුරක් උගුරක් ගානේ එයා හරිම හැඟීම්බර විදිහට ලස්සන වචන එකතු කර කර ඔයත් එක්ක කතා කළේ ආදරය ගැන... ජීවිතය ගැන... ඔයාට හිතුණේ ඔයයි එයයි ඇරෙන්න මුළු ලෝකයම නින්දක කියලා... ඒ සුසුම් මොනතරම් නම් උණුසුම්ද... ඒ සුසුම් ඇතුළෙ තිබුණෙත් වචන.... නළලට නළල තියලා දුන්නු පළමු හාදුව මට හිතෙන්නේ ඔයා සංසාර මතකයක් විදිහට සංසාරෙන් සංසාරෙට අරන් යයි... ඇඳ ඇතිරිලි හිමින් සැරේ පොඩිවෙද්දී නැගුණු කෙඳිරිලි එයා ඔයාව අරන් ගියේ ප්‍රේමයේ අනන්තයට.... මට කියන්න ඇනස්ටාසියා කොහොමද මුළු රැයකම ඇස් පිය නොපියවා ඔයා එයාගේ පපුව උඩ ඔළුව තියාගෙන එයා දිහා බලාගෙන හිටියේ.

ඇනස්ටාසියා ප්‍රථම ප්‍රේමය කියන්නේ ජීවිතයේ ප්‍රායෝගිකව විඳින අංකයෙන් එක වෙච්ච ප්‍රේමයට නෙවෙයි. හදවතේ ගැඹුර කොන්දේසි විරහිතව සිපගත්ත ප්‍රේමයට... ක්‍රිස්ටියන් පැත්තක තියලා ප්‍රේමය හා ජීවිතය වෙනුවෙන් අරගල කරපු ඔයාව කියවද්දි මට මේ හැම සිතුවිල්ලක්ම දැනෙන්න ගත්තා. එක මොහොතකට දෙකකට එයාගේ කටහඬ අහන්න එයාගෙන් එක ඇමතුමක් එනකම් රූ එළිවෙන පැය ගණන් ඔයා බලන් හිටපු දවස් මට මතක් වුණා. හැම රෑකම සීතල ඇස් පියන් ඇහැරවාගෙන ඔයා ඒ හඬ අහන්න බලන් හිටිය රාත්‍රීන් කොච්චර ගණනක් ඒ අතීතයේ තිබුණද කියලා මම ඔයාගෙන් අහන්නේ නෑ ඇනස්ටාසියා. ඒත් මට ක්‍රිස්ටියන්ගෙන් අහන්න එක ප්‍රශ්නයක් තියෙනවා...

ඇයි ක්‍රිස්ටියන් ඔයා ඇනස්ටාසියාගේ සිරුර ඉඹගත්ත ලෝභකමින් එයාගේ හදවත සිප නොගත්තේ.... ඒ ඇස් කවියක් වගේ කීව ඔයාට ඒ ඇස් පිටු ලක්ෂ ගාණක පොතක් වගේ කියපු ඔයාට ඇයි ක්‍රිස්ටියන් ඒ ඇස් අස්සේ ඇනස්ටාසියා මුළු ජීවිත කාලයක්ම හංගගෙන හිටපු කඳුළු නොපෙනුණේ....