2018 මැයි 19 වන සෙනසුරාදා

මට බඩගිනියි තාත්තේ.....

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 69

කර්ම භූමි - 12

අනිල් මාමා මාව කරේ තියාගෙන වඩාගෙන ගියේ ගෙදර. මට මතක අනිල් මාමා මාව ඇඳේ හාන්සි කෙරව්වා විතරයි. මගේ ඇඟ සීතලෙන් වෙව්ලන්න ගත්තා. අනිල් මාමා කුඩම්මගෙන් ඉල්ලගෙන විනාකිරි දවටනයක් මගේ නළලේ එලලා දෙවියන්ට කීවේ මේ අසරණයා ඉක්මනින් සනීප කරලා දෙන්න කියලා.
ඔය ළමයව පැදුරක් එලලා බිමින් තියන්න.. ඇඳෙන් වැටුණොත් තව කරදරයක්... 

කුඩම්මා එහෙම කීවේ ඇඳ යට රෝල් කරලා දාලා තිබුණු පැදුරක් එළියට අදින ගමන්. අනිල් මාමා ඒ දූවිලි පැදුරට උඩින් කඩමලු වෙච්ච ඇඳ රෙද්දක් අරන් එලලා මාව උස්සලා බිමින් තිබ්බා. 

ඕවා හිතුවක්කාරකමට හදාගන්න ලෙඩ.. හැමදාම ගෙදර හිටියොත් උදේ පාන්දරම ගඟට දුවනවා.. සීතලේ නාලා නාලා හදාගත්ත ලෙඩ.. අපිට තමයි ඉතින් කරදරේ. 

තමන්ගේ දරුවකුට ලෙඩක් වුණාම මොකද ඒක කරදරයක් විදිහට බාර ගන්නේ...? එහෙම කරදරයක් නම් මම සනීප වෙනකම් මේ ළමයව අපේ දිහා එක්ක යන්නම්. 

සමර්කාන්ත්ගෙන් අහලා ඕන දෙයක්... එහෙම කියාගෙන කුඩම්මා කාමරයෙන් එළියට ගියා.

මහ යක්ෂ ගෑනියක්.. මේ ළමයට කන්න බොන්න දෙයක්වත් හදලා දෙයිද දන්නෙ නෑ. 

අනිල් මාමා එහෙම කියාගෙන කාමරයෙන් එළියට ගියා. මම ඇඟට දැනුණු වේදනාව, තද ඔළුවේ කැක්කුම යටපත් කරගෙන තව තවත් මටම තුරුල් වුණා. මට මතක් වුණේ මගේ අම්මාව. මම අසනීපයකින් පෙළෙන කිසිම දවසක අම්මා නිදා ගත්තේ නෑ. අම්මා මගේ ළඟටම වෙලා ඇහැරිලා හිටියා. මට කැව්වේ පෙව්වේ මගේ අම්මා. මට නින්ද යනකම් අම්මා මගේ ඔළුව අතගෑවා. මම නිදාගත්තේ අම්මගේ පපුව අස්සේ උණුහුමට ගුලි ගැහිලා. ඒ දවස් මතකයට එද්දී මට දැනුණේ ඉකිගහලා අඬන්න තරම් වේදනාවක්.

අනිල් මාමා ගියාට පස්සේ කුඩම්මා හවස් වෙනකම්ම කාමරයට ආවේ නෑ. මම පොරෝණය ඇතුළෙ එහෙමම ගල්ගැහිලා හිටියා. හවස් වෙද්දී මට දැනුණේ ලොකු බඩගින්නක්. ඒත් කුඩම්මා එක වතාවක්වත් මගෙන් බඩගිනිද ඇහුවේ නෑ. කන්න දෙයක් ගෙනත් දෙන්නද ඇහුවේ නෑ. 

මොකද මේ කරගත්තා කියන්නේ..? හැන්දෑවේ තාත්තා කාමරයට ආවේ එහෙම අහගෙන. මට වචන කතා කරගන්න තරම් හයියක් තිබුණේ නෑ. මම එහෙම්මම කෙඳිරි ගාමින් පැදුරේ වැතිරිලා හිටියා.

තියෙන හිතුවක්කාරකමක් මිසක් වෙන මොකක්ද?

මට බඩගිනියි තාත්තේ.. මම කෙඳිරි ගාන ගමන් එහෙම කීවේ ඉන්නම බැරි තරම් බඩගින්නක් දැනෙද්දී. 

ඇයි මොකුත් කාලා නැද්ද? 

නෑ. 

උදේ ඉඳන්ම 

ඔව් තාත්තේ 

තාත්තා මගේ නළලට අත තිබ්බේ පැදුරේ කොණක වාඩිවෙලා. 

මට බඩගිනියි තාත්තේ.. මට කන්න දෙයක් ගෙනත් දෙනවද? 

මොකද මේ දරුවට උදේ ඉඳන් කන්ට දෙයක් නොදුන්නේ... හරි නරක වැඩක්නේ කරලා තියෙන්නේ. 

මට කියලා මේ ගෙදර කොච්චර වැඩද? අනිත් එක උණ ලෙඩෙක් කොහොමද බත් කන්නේ? 

බත් බැයිනම් රොටියක් හරි හදලා දෙන්න එපැයි. 

රොටී හදන්න...මට පුළුවන්ද දවස තිස්සේ ළිප ළඟ කර වෙන්න? 

එක රොටියක් හදන්න දවස තිස්සේ ළිප ළඟ කර වෙන්න ඕනද? 

ඇවිත් කර ගන්න එකනේ තියෙන්නේ.. මොකද මගේ දරුවෙක්ද?

ඒ දරුවා මගේ දරුවා.... මේක ඒ දරුවගෙත් ගෙදර 

එතකොට මම මේ ගෙදර නෙවෙයිද?

තාත්තා මේ විදිහට කතා කරනවා මම අහගෙන හිටියේ පුදුමයකින් වගේ. මට කාලකන්නියා කියලා බැන්නත් තාත්තගේ හිතේ මගේ ගැන කැක්කුමක් තියෙනවා කියලා මට තේරුණේ තාත්තා එහෙම කතා කරද්දී. 

රොටියක් පුච්චලා ලුණු මිරිසක් හදලා ගන්න ඉක්මනට.. මේකා හොඳටම හාමත් වෙලා ඉන්නේ 

මට හයියෙන් ඉකිගැහුණේ තාත්තාගේ ඒ වචන පපුවේ පතුලටම කිඳා බහිද්දී. 
තාත්තා ටිකක් සැරෙන් කුඩම්මට එහෙම කියාගෙන පැදුරෙ මගේ ළඟ ඇලවුණා...
උඹත් මොකද මෙච්චර හිතුවක්කාර පුතේ
ඇයි තාත්තත් උදේම ගඟට ගිහින් නාන්නේ
මම ලොකු මිනිහෙක්... උඹ තාම පොඩි එකෙක්
කුඩම්මා මට එළිය වැටෙනකම් නිදාගන්න දෙන්නෙ නෑ... කෑගහනවා... ඒ නිසා ඉතුරු ටික මම ගඟේ ගිහින් නිදාගන්නවා...
මොකක්...
හ්ම්....
ගඟේ ගිහින් උඹ වතුර උඩද නිදාගන්නේ....
වතුර උඩ නෙවෙයි තාත්තේ මම ගං ඉවුරේ ඇතිවෙනකම් නිදාගන්නවා.
තාත්තා වචනවලින් මුකුත් නොකියා මගේ දිහාටම බර කරගත්තු ඇස්වලින් මගේ දිහා බලාගෙන හිටියා...

 

► අනුවර්තනය : චන්දන වරාවිටගේ &  සංජු

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00