2018 මැයි 26 වන සෙනසුරාදා

දැහැන

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 121

මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා

ඒ හුළඟ.. ඒ වැස්ස... ඒ මහා පාළු මන්දිරය... ඒ කළුවර... හුළඟේ හිතුවක්කාරකම. අතු අග්ගිස්සෙන් උදුරගෙන ඈතට ඈතට අරන් ගිය තුරු පත්.. ඒ සීතල... සොබාදහමත් ආදරය විඳිද්දී.. සොබාදහමත් සොඳුරු මධුසමයකට ලෑස්ති වෙද්දී ඒ හැඟුම් කොහේ කොතැනකදී හරි දිග හැරෙන්න ඇති.... මිස්ටර් ඇන්ඩ් මිසිස් අයියර් FILM එක බලද්දී මට මතකයි මම A/L පන්තියේ. ඒත් මම එතෙක් කිසිම විදිහක ආදරයක් ප්‍රායෝගිකව විඳලා නෑ. ඒත් මිස්ටර් ඇන්ඩ් මිසිස් අයියර් බලද්දී ආදරයේ දිගන්තයන් ආදරයේ අනන්තයන් මගේ හදවතට දැනෙන්න පටන් ගත්තා. ආදරයක්, හැඟීමක්, දෙයක්, කෙනෙක් විඳින්න ඒක මගේම වෙන්න ඕනේ කියලා න්‍යායක් ලෝකේ කොහේවත් නෑ. ලෝකය ඉස්සරහා මගේ නොවෙන හුඟක් දේවල් අපිට පුළුවන් හදවතින් මගේ නෙවෙයි මගේම කරගන්න. හෘද සාක්ෂියට එකඟනම්, හදවත ඉදිරියේ මගේම නම් ලෝකය යන අතක යද්දෙන්... අයියර් හිතුවේ එහෙම... අයියර් එහෙම හිතද්දී මට මෙහෙම හිතෙනවා. මම මේ ලෝකයේ විශ්වාස කරන බලගතුම අධිකරණය මගේ  හෘද සාක්ෂිය. ඒ අධිකරණය ඉදිරියේ වග නොවී වරදකරුවකු නොවී ජීවිතය විඳිය හැකි ඕනෑම මොහොතක් ඕනෑම වින්දනයක් මඟහරින්න එපා. ජීවිතය කියන්නේ සංසාරය කියන පොළොව මතට යන එන හුළඟක්. ඒ හුළඟ දවසක එන්නේ තව දවසක යන්න බලාගෙන. ඒ යන දවස සපැමිණෙන තෙක් ඒ හුළඟට සරන්නට ඉඩ හරින්න. ලෝකය මිනිස්සුන්ව කොටු කරන්න හදන සම්මතයන් න්‍යායන් තුළ ඒ සුළඟට හිර ගෙවල් හදන්න තරම් ඔයා ඔයාට සැහැසිකම් කරන්න එපා. මේ පොළොව ඉඹින්න ඒ හුළඟට ඉඩ දෙන්න. මේ ගහ කොළ අතර ඇවිදින්න ඒ හුළඟට ඉඩ දෙන්න. මල්වල සුවඳ ස්නේහයෙන් ඉඹින්න ඒ සුළඟට ඉඩ දෙන්න. අහසට තුරුල් වෙන්න වලාකුළක හිස තියන්න මහ වැස්සක කැකෑරෙන්න ඒ සුළඟට ඉඩ හරින්න. තාරුකා ඇස් වසන සීතලම මැදියමක ඒ තරු සිපගන්න, සඳක සිහිලස උරා සැනහෙන්න ඒ සුළඟට ඉඩ හරින්න. ගංඟාවක් දිගේ ගලාගෙන යන්න, මුහුදු හුළඟකට ආදරය කරන්න ඒ හුළඟට ඉඩ දෙන්න. කාන්තාරයක උණුසුමක්, මහා වැස්සක සීතලක් අඳුරන සුළඟකට මේ මුළු ලෝකයම කියවන්න පුළුවන් කියලා මට හිතෙනවා.

අපි අපේ ජීවතවලට ආදරය කරමු. අපි දෙන්නා අපි දෙන්නගේ ජීවිතවලට විතරක් නෙවෙයි ආදරය අවැසි හැම ජීවිතයකටම අපි ආදරය දැනෙන්න දෙමු. ඔයාගෙයි මගෙයි ආදරය කාටවත්ම නොදී ඒ ආදරය අපි දෙන්නගෙම විතරක් කරගෙන මනුෂ්‍යත්වයේ ආදරය අපි ලෝකයටම දීලා දාමු. එහෙම කියන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් හරිම සියුම් අවබෝධයකින් අපි තේරුම් ගත යුතු යථාර්ථයක් තියෙනවා. අපි ජීවත්වෙන මේ අතිධාවනකාරී පාරිභෝගිකවාදී සමාජය ඇතුළේ ඒ මනුස්සකම් මනුස්සකම් විදිහට තේරුම් අරගෙන ගෞරවයෙන්, ස්නේහයෙන්, භක්තියෙන් ඒ මනුස්සකම් විඳින්න පුළුවන් මිනිස්සු අපිට මුණගැසෙන්නේ හරිම කලාතුරකින්. අපිට හුඟක් වෙලාවට මේ ජීවිතය කියන පාර දිගේ ඇවිදිද්දී හමුවෙන්නේ කෙනෙක්ගේ  සංවේදීකම් කෙනෙක්ගේ  මනුස්සකම් අවස්ථාවාදීව තමන්ගේ ප්‍රයෝජනයට පාවිච්චි කරන්න හදන, අවස්ථාවාදී වුවමනාවන් වෙනුවෙන් ළංවෙන්න හදන ආදරය කියන වචනය ඉස්සරහට දාලා යහන්ගත වෙන්න කතා කරන ගැහැනු, පිරිමි. මානව හිතවාදය ගැන සුන්දර මනුස්සකම් ගැන ප්‍රේමය ගැන ලස්සන වචනවලින්, මේ කතා කරන්නේ හදවතින්ම වගේ කතා කරන හුඟක් හදවත් අස්සේ තියෙන්නේ කපටිකම් කුහකකම්. සර්ව සම්පූර්ණ සුදු හෝ කළු මිනිස්සු ලෝකේ අඩුයි. වැඩිපුර ඉන්නේ අළු පාට මිනිස්සු. කලාතුරකින් අපිට සුදු වැඩි මිනිස්සු මුණගැහෙන්න පුළුවන්. කළු මිනිස්සු කොහොමත් වැඩියි. ලෝකේ ජීවත්වෙන න්‍යාය තමා අවබෝධයෙන් ජීවිතයේ කොටසක් බවට පත්කරගන්න මිනිස්සුන්ව තෝරාගෙන අනිත් අයව ප්‍රතික්ෂේපත් නොකර ඒ අයගේ පෙන්නන මූණ වෙනුවට නොපෙන්වන මූණ ගැන හරි අවබෝධයෙන් අවශ්‍ය සීමාව තුළ රඳවාගෙන එයාගේ සැබෑ ස්වරෑපය  තේරුම් ගෙන එයාට ප්‍රතිචාර දක්වන එක. මට හිතෙන්නේ කෙනෙක්ට තමන්ව පාවිච්චි කරන්න නොදී තමන්ට තමන්ව පරිස්සම් කරගෙන ජීවත් වෙන්න තියෙන හොඳම ක්‍රමය ඒක. මිනිස්සු දිහා විශ්වාසය හා අවිශ්වාසය අතරේ හිඳ බලන්න පුරුදු වෙන්න. මිනිස්සුන්ව තේරුම් ගන්න පුළුවන් හොඳම අවස්ථාවක් තමයි තීරණාත්මක මොහොතක ඒ අයගේ ප්‍රතිචාර හා හැසිරීම්. සංවේදීකම් ආදරණීයකම් අධ්‍යාත්මිකව තමන්ගේ ජීවිතයට ළංවෙච්ච කෙනෙක් එක්ක බෙදාගනිද්දී ඔයා ඔයාට හානියක් කරනොගෙන මේ මුළු ලෝකයටම මනුෂ්‍යත්වයෙන් ආදරය කරන්න.

අයියර් අපිට හුඟක් දේවල් කියලා දෙනවා. ඔයා ඒ FILM එක බලනවානම් මම හුඟක්ම කැමතියි. එයා එක ගමනාන්තයක කෙළවර තෙක් හුඟක් භක්තියෙන් පරිස්සම් කරන්නේ තමන්ට අයිති කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ ප්‍රේමය තුළ ආදරය රාගය යටපත් කරගෙන ඉස්මතු වෙන්නේ මනුෂ්‍යත්වය. ඒත් ගමනාන්තය තෙක් එක රැයක් හමුවෙනවා. මම මුලින් කීව සීතල, ඝනකමට කළුවර ඉහිරිච්ච එක රැයක්. ඒ රැයේ උණුසුම ආදරය ස්නේහය අපිට පෙන්වන්නේ එකම එක ඉඟියකින්. හිරු අරන් ආව ඊළඟ දවසේ කැඩපත ඉදිරියේ ඇය ඇය දෙස බලාගෙන ඉන්නවා. ඇගේ නළලත මොට්ටුව මැකී ගිහින්. ඇදවී බොඳවී ගිහින්. රැයක් පුරා සියලු සංසිද්ධීන් පෙන්වන සංකේතය තමයි ඇගේ නළලත ඒ මොට්ටුව. ඒ සියලු විඳීම් පරිස්සම් කිරීම් රුකවරණ එක ගමනාන්තයකින් කෙළවරයි. ඒ ගමන කෙළවර ඇය සහ අගේ දරුවා රැගෙන යන්න ඔහු ඇවිත්. ඇගේ තරුණ සැමියා ඇවිත්. අයියර් ආපහු හැරෙන්නේ තනි මංසලෙන් ආ දෙසට නොවෙයි. නොගිය දෙසට. ප්‍රේමය මනුෂ්‍යත්වය ජීවිතය ගනුදෙනු කැළඹීම් මේ හැමදේම ගැන මිස්ටර් ඇන්ඩ් මිසිස් අයියර් කියලා දෙන අපූරුව... ඒත් ජීවිතය කියන්නේ ෆැන්ටසියක් විතරක්ම නෙවෙයි... අයියර්ලා අපිට මුණගැසෙන්නේ අතිශය කලාතුරකින්. ජීවිතය කියන පාර දිගේ ඇවිදිද්දී හමුවෙන මහපාරවල් වගේම අතුරු පාරවලුත් හුඟක් ඇති. හැරෙන්නේ වංගු ගන්නේ පල්ලම් පහු කරන්නේ පරිස්සමින්. මතක තියාගන්න උඹ මගේ කියලා උඹ අපේ කියලා අත් දෙකින් අල්ලගන්න හුඟක් දෙනාගේ හෙවනැල්ල අපේ ජීවිතවලින් හුඟක් ඈතක තියෙන්නේ...

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00