2018 මැයි 26 වන සෙනසුරාදා

දත් ගැලවීම සහ දත් ගැලවීම

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 588

ඔන්න එක්තරා දන්ත වෛද්‍යවරයකුගේ සායනයකට මනුස්සයෙක් ගියාලු මුල්ම වතාවට දතක් ගලවන්න. පළවෙනි අත්දැකීම නිසා මිනිහා එතන කෑගහලා දෙක කළාලු. කොහොමහරි දොස්තර දතත් ගලවලා.
ඔන්න දැන් ගාස්තුව ගෙවන්න යද්දි මිනිහට තරු පෙනිලා තියෙනවා.

අනේ දොස්තර මහත්තයෝ මොකද මේ? අර බෝඩ් එකේ ගහලා තියෙන්නේ එක දතක් ගලවන්න රු. 500/- කියලා. ඒත් ඇයි මගෙන් රුපියල් 2000/-ක් අය කරන්නේ? ඔහු ඇහුවලු.

මමත් මෙතන කරන්නේ සේවයක් වුණාට මේක මගේ බිස්නස් එක. දැන් බලන්න ඔබතුමා මෙතන කෑගහලා මරලතෝනි දීපු නිසා දත් ගලවන්න ආපු තුන්දෙනෙක් බය වෙලා ආපහු හැරිලා ගියා. ඉතින් මම ඒ පාඩුව පියවගන්න එකේ වරදක් තියෙනවද?

 

ගං වතුරේ බල්ටියක් ගසයි

මේ දිනවල ඇදහැලෙන ධාරානිපාත වරුසාව කාගේත් දැඩි අවධානයට ලක්වෙලා තියෙන්නේ ගං වතුර හා නාය යෑම් අනතුරු අඟවා තිබෙන නිසයි.

දැනට රූගත කරමින් යන ටෙලි නාට්‍ය නිෂ්පාදනයක වැඩ කරන ශිල්පියෙකුත් ඉන්නේ කැලණි ගඟ ආශ්‍රිත ප්‍රදේශයක නිසා ඔහු වැඩ කළේ තරමක් කලබලෙන්. කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යන්න යන්න මෙයාට වැඩ කරන්න බැරි වෙලා අධ්‍යක්ෂකට කියලා කලින්ම ගෙදර ගිහිල්ලා. අනිත් කට්ටිය දිගටම වැඩ.

ඔන්න ගොඩාක් රෑ වෙලා අර කළින් ගෙදර ගිය ශිල්පියාගේ බිරිඳගෙන් අධ්‍යක්ෂකට කෝල් එකක් ආවලු.
අනේ අපේ අයියා තාම වැඩ ඇතිනේ.. එයාට කියන්න අපි කට්ටියම අපේ අම්මලෑ ගෙදර යනවා කියලා..
බැලින්නම් ගං වතුර චාටුවෙන් බල්ටියක් ගහලා අපේ මිත්‍රයා කට්ටියක් එක්ක සෙට් වෙලා.

 

මඟුලක් කතා කරනවද?

මේක ටික කාලකෙට කළින් අහපු ලස්සන කතාවක්. වත්මන් පරපුර සමහරවිට ඒක අහලා නැතුව ඇති කියලා හිතුණ නිසා, ඔන්න ඒ කතාව ලියනවා. ඔන්න එකමත් එක කාලෙක හිටියලු එක්තරා අනතුරකින් අතක් වැලමිට ළඟින් අහිමි වෙච්ච මනුස්සයෙක්. මේ ගැන ඔහු නිතරම හිටියේ දැඩි කනස්සල්ලෙන්. කොහොමහරි දිවි නසා ගන්න සයිස් එකටම මිනිහා මානසිකව ඇද වැටුණා. 

තනි අතින් ගෙල වැලලා ගන්නත් බැරි එකේ ඔහු හිතුවළු උස ගොඩනැගිල්ලක් උඩට නැගලා ඒකෙන් බිමට පනින්න.
ඔන්න එහෙම හිතාගෙන ඔහු තට්ටු බර ගාණක බිල්ඩිමක් උඩට නැගලා පනින්න හදනකොටම දැක්කලු අත් දෙකම නැති මනුස්සයෙක් පාරේ සතුටින් නට නටා යනවා. 
වහාම බිල්ඩිමෙන් බැහැලා මේ මිනිහා අර නට නටා යන මිනිහා ළඟට දුවගෙන ගියාලු.

අයිසේ තමුසේ නිසා මගේ ජීවිතේ බේරුණේ. එක අතක් නැති මම ජීවිතේ නැති කරගන්න හදද්දි තමයි අත් දෙකම නැති ඔයා මේ වගේ සතුටින් නට නටා යනවා දැක්කේ. ඔයා කොහොමද අත් දෙකම නැතුවක් මේ වගේ සතුටින් ඉන්නේ?
මගුලක් කතා කරනවද මහත්තයෝ. මට මගේ පිට කහගන්න බැරුව මේ දඟලන්නේ. කියලා අර මනුස්සයා කිව්වලු.

 

අද චිකන් ද? කුකුල් මස්ද?

සමහරු වචනවලින් හරඹ දක්වන්න හරිම දක්ෂයි. ලියනවා වගේ සමහරු කතාවෙනුත් ඒ දස්කම් දක්වනවා.  ඔන්න එක්තරා චිත්‍රපට නිෂ්පාදන කළමනාකරුවෙක් ඉන්නවා. ඔහුත් මේ වගේ වචනවලින්ම කට්ටිය හොල්මන් කරනවා.
හදිසියේ සෙට් එකට පෑනක් ඕනෙයි කියමුකෝ. එයාගෙන් ඒක ඇහුවම එයා ගත් කටටම අහන්නේ නිල්ද? බ්ලූද? කියලා.

ඒ වගේම තමයි කට්ටිය සෙට් එකේ වැඩ ඉවර වුණාම, මිනිහා අහනවලු හෙට  දවල් කෑමට කට්ටිය කැමති චිකන්ද? නැත්නම් කුකුල් මස්ද? කියලා.

 

නිළිය අඳුනගන්න බැරිවෙලා

අලුතින් හදන චිත්‍රපටයක ප්‍රවීණතම සම්මානනීය රංගන ශිල්පියෙක් කාන්තා චරිතයක් රඟපානවා. කාලෙක ඉඳලා චිත්‍රපටයේ අධ්‍යක්ෂක, සහාය අධ්‍යක්ෂක, අඳුම් නිර්මාණ ශිල්පී, අංග රචනා ශිල්පියා හා කලා අධ්‍යක්ෂක මේ වැඩේට බැහැලම කටයුතු කළා. 

ඔන්න දැන් ෂූටිං පටන් ගන්නකොටත් මේ චරිතය ගැන දැනගෙන හිටියේ ප්‍රධාන කීප පොලක් විතරයි.
මුල්ම දවසේ ඔහු කාන්තා චරිතයට අවශ්‍ය මේක් අප් හා ඇඳුම් පැළඳුම් ද ඇඳගෙන ෂූටිං කරන ගෙදර ආලින්දයේ වාඩිවෙලා හිටියලු. කාටත් මෙයාව අඳුරගන්න බැරිවෙලා. තේ බෙදන තරුණ කොල්ලා මේ නළුවා ළඟටම ඇවිත් එයාගේ නම කියලා හොයනවලු තේ කෝප්පයක් දෙන්න.

කෝ දෙන්න. ඒ මම තමයි. කියලා සුකොමාල කාන්තා හඬකින් ඔහු කොල්ලට කිව්වම ඔහු එක පාරටම ගල් ගැහිලා වගේ බලන් උන්නලු.

 

► Text - Mithra