2018 මැයි 26 වන සෙනසුරාදා

ඇයි මගේ එකාට හයිය හත්තිය නැද්ද?

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 104

කර්ම භූමි 13

මාව සීතලෙන් වගේම බඩගින්නෙනුත් වෙව්ලන්න පටන් ගත්තා. ඒ සීතල මකන්න තරම් පොරෝනය ඝනකම් වුණේ නෑ. මම පැදුරු කඩමල්ල අස්සේ පුළුවන් තරම් මටම තුරුල් වෙන්න පටන් ගත්තා. තාත්තා හුඟක් වෙලාවකට පස්සේ ලුණු මිරිස් එක්ක රොටියක් අැලුමිනියම් පිඟානට දමාගෙන ඇවිත් මගේ ළඟ බිමින් ඉඳ ගත්තා.
කෝ ඔළුව උස්සලා කාපන් හෙමිහිට... මම ඔළුව උස්සන්න යද්දී ආයෙත් ඔළුව කඩාගෙන වැටුණා. මට එකපාරටම ඉකිගහලා අඬුණේ දැනුණු අසරණකමට. 
ඒ පාර උඹ අඬනවා... පිරිමි අඬන්නේ නෑ...

මට බඩගිනියි තාත්තේ 
ඒක තමයි මම කුඩම්මට කියලා රොටියක් පුච්චගෙන ආවේ 
තාත්තට බැයිද මට කවන්න 
ඒ පාර උඹ හුරතල් වෙන්නත් හදනවද? කෝ නැගිටපන් හෙමිහිට....
මට ඔළුව උස්සන්න අමාරුයි තාත්තේ....
තාත්තා මගේ ඔළුව හෙමිහිට උස්සලා කෙළින් කළා. මම තාත්තාගේ උරහිසේ ඔළුව තියා ගත්තේ දුක, වේදනාව, තනිකම, අසරණකම මේ හැම හැඟීමක්ම එක් වෙච්ච සිතුවිල්ලකින්. තාත්තාගේ හැඩි දැඩි ගතිගුණ ටිකක් හරි මෙළෙක් බවට පත්වෙච්ච අවස්ථාවන් මට මගේ ජීවිතයේදී හමුවෙලා තියෙන්නේ හුඟක් අඩුවෙන්.
හ්ම් කාපන් ඉතින්.. මම රොටී කෑල්ලක් කඩාගෙන ලුණු මිරිස්වල ඔබලා කටේ තියාගත්තා. කොච්චර බඩගින්න තිබුණත් මට දැනුණේ තිත්තම තිත්ත ගතියක්.
හ්ම් කාපන් ඉක්මනට
හොදි නැතුව රොටී කන්න අමාරැයි තාත්තේ 
උඹ වෙනදටත් රොටී කෑවේ හොදි එක්කද?
මගෙ උගුර ඔක්කොම වේලිලා 
කෝ හිටපන් එහෙනම්. දවල් බත්වලට හැදුව හොදි මොනවා හරි තියෙනවද බලන්න.. තාත්තා එහෙම කියන ගමන් නැගිටලා ආයෙත් ගියා.. අඳුර ගලා හැලුණු කාමරය ඇතුළේ මට මහා තනිකමක් දැනෙන්න පටන් ගත්තා. කෙනෙක්ගෙන් ලැබුණු කෙස් ගහක තරම් හරි ආදරයත් නැතිවෙලා මඟ හැරිලා දියරු වෙලා යද්දී හිතට දැනෙන සංකාව වේදනාව මට දැනෙන්න ගත්තා. මගේ හිත තුවාලයක් වගේ රිදෙන්න ගත්තේ මමත් නොදන්නා අහේතුවකට. සමහර දේවල්වලට හේතු කියන්න මට තේරුණේ නෑ. මම ආයෙම පැදුරේ ගුලි ගැහුණේ ඇස් දෙක කඳුළින් පිරෙද්දී. ඒ කඳුළුත් ගින්දර වගේ රස්නෙට දැනෙන්න ගත්තා.
මොන කරදරයක්ද මේ ළමයගෙන්... සමර්කාන්ත් ඔයා දන්නවනේ අද රෑ කෑමටවත් දවල්ටවත් හොදි හැදුවේ නෑ කියලා.. දැන් මට ආයෙත් කියන්නේ හොදි හදන්න කියලද?
හදන්න කියලා නෙවෙයි හදපුවා තියෙනවද කියලනේ මම ඇහුවේ 
හදපුවත් නෑ... හදන්නත් බෑ.
තාත්තා ආයෙමත් ලුණුමිරිස් එක්ක රොටිය අරන් ඇවිත් මගේ පැදුර උඩින් තිබ්බා.
හොදි නෑ. ඔන්න ඕක කාලා දාපන්.
තාත්තා කාමරයෙන් ගියා ගියාමයි ආයෙත් ආවේ නෑ. කුඩම්මා ගෙදර ආවේ මගේ ජීවිතයට මහා අවාසනාවක් අරගෙන බව මට දැනෙන්න ගත්තේ මගේ උණ හොඳවෙලා මාස ගණනකට පස්සේ එයා දවසක් උදේ කාර කාර වමනේ දාන සද්දේ ඇහෙද්දි.
හොඳයි ගෙදර සිරියාවටත් එක්ක.
මම මේ බලාගෙන ඉන්නේ කොලු පැටියෙක් එනකම්.
කොල්ලෙක්නම් ඉන්නේ. ගෙදර වැඩ කරන්නත් එක්ක කෙල්ලෙක් තමා ඕනෑ.
හොඳ කොල්ලා. ඌ නල්ලමලේ කොල්ලෙක්
මොකෙක් වුණත් ඌ මගේ පළවෙනි ගෑනිගේ දරුවනේ.
මේ දේපල බලාගන්න ඕන හොඳ හයිය හත්තිය තියෙන පිරිමි දරුවෙක්.
ඇයි මගේ එකාට හයිය හත්තිය නැද්ද?
හරියකට බත් පිඟාන කන්ටවත් දන්නැති ළමයෙක්... හොඳට තියෙයි
තාත්තාගේ ජීවිතේ වුණේ හාලුයි, හකුරුයි, කුඩම්මයි විතරයි. මට හිතුණේ කුඩම්මගේ බඩ ගෙඩිය මෝරන්න මෝරන්න එයාගේ නපුරුකම් තව තව වැඩි වෙනවා කියලා. ඉස්කෝලේ ගියත් මගේ හිත ගියේ පාඩමට නෙවෙයි. මට මතක් වුණේම කුඩම්මාගේ ඉවරයක් නැති ඇණුම්පද. මේ හැම දෙයක් අතරේම මට අම්මාගේ ආදරය වැඩි වැඩියෙන් දැනෙන්න පටන් ගත්තා.
අමර් රෙදි බේසමක් තියෙනවා.. ගඟට ගිහින් හෝදගෙන ඇවිත් වනනවා.
මගේ රෙදි ඔක්කොම මම උදේම ගඟට ගිහින් හෝදගන්නවා.
කාගෙ වුණාම මොකද? මේ ගෙදර රෙදිනේ.
ඇයි කුඩම්මගේ රෙදි කුඩම්මට හෝදගන්න බැරි?
මට මේ බඩ ගෙඩියකුත් උස්සගෙන රෙදි බේසම් හෝදන්න පුළුවන්ද?
මට ඉස්කෝලේ වැඩ තියෙනවා. මම තාම දවල්ටත් කාලා නෑ.
දවල්ට කැන්ටිමෙන් කනවනේ. ආයෙ රූටම කෑවොත් මදිද..
කැන්ටිමෙන් කන්නේ බනිස් ගෙඩියක්.. මට දවල්ට බත් ඕනෑ..
කන්නම ඉපදිච්ච එකෙක්..
කුඩම්මා එහෙම කියාගෙන ගස්සාගෙන ගිහින් රෙදි බේසමක් කකුලෙන් තල්ලු කරගෙන ආවා.  බත් කන්න ඉස්සර ගිහින් ර‍ෙදිටික හෝදගෙන එනව
බත් කන්න තිබ්බ බඩගින්න හින්දම මම රෙදි බේසම අරන් ඔළුව්‍ෙ තියාගත්තා.

 

► අනුවර්තනය : චන්දන වරාවිටගේ &  සංජු

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00