මට ජේන් අයර් එක්ක ජීවිතය ගැන කතා කරන්න හිතෙනවා. ජේන් අයර් කියන්නේ කාත් කවුරුවත් නැති අනාථ දරුවෙක් විදිහට මේ ලෝකෙට ආව කෙනෙක්. මට මතකයි මම ජේන් අයර් පොත කියෙව්වේ අටේ පන්තියේදී. අන්තිමේදී මට මතකයි ජේන් අයර් එක්කම මමත් ඇඬුවා. ජීවිතේ අලුත් පරිච්ජේදයක් එයාගෙම අත් අකුරින් ලියන්න ජේන් අයර් අසීමාන්තික දුක් මැද්දේ පාරක් හෙව්වා. නොසලකා හැරීම්, වද වේදනා, අනාදරණීය ගැරහුම් මැද්දේ ජේන් අයර් ජීවිතය දැක්කේ කාන්තාරයක පිපිච්ච කුසුමක් විදිහට. ජීවිතයට සිහිලසක් දෙන්න වතුර බින්දුවක්වත් මුණනොගැසුණු ඒ කාන්තාරයේ එයා එයාගේ ජීවිත කුසුමට පරවෙන්න නොදී පිපෙන්න ඉඩ හදලා දෙන්න ගත්ත වෙහෙස, දරා ගත්ත දුක්ඛ දෝමනස්සයන් මට හිතෙන්නේ සුන්දර පැරීසියේ සේන් ගඟේ මහා දිය කඳ වගේ. ඒ තරම් ගැඹුරුයි. ඒත් නිහඬයි.
මට මේ ලෝකේ ආදරණීයම ගංඟාව සේන් ගඟ. සුන්දර ප්‍රංශයේ සේන් ගඟ මට හිතෙන්නේ මම දකින්නේ සංසාරේ ආත්මයක් ආත්මයක් ගාණේ ප්‍රාර්ථනා කළත් කවදාවත් ගැහැනියකට හමුනොවෙන පිරිමියෙක් වගේ. සේන් ගඟ දෑල නිල්වන් තණ කොළ මිටියාවත හොයාගෙන හුඟක් අය එන්නේ සේන් ගඟ විඳින්න. ඒ එන්නේ රතු වයින් සහ සැන්ඩ්විච් කූඩයකට දමාගෙන. දිලිසෙන රතු වයින් දෙතොල් තෙමාගෙන හදවතට වැක්කෙරෙද්දී යන්ත්‍ර සූත්‍ර වගේ ජීවිතෙත් එක්ක හැප්පෙන මිනිස්සු ජීවිතය ළඟ හුඟක් ආදරණීය වෙනවා. රතු වයින් වීදුරුවකට එච්චර දෙයක් කරන්න පුළුවන්ද ජේන් අයර්! හැන්දෑවේ තද රතුපාට වලාකුළු මත ඉහිරුවමින් ඉර ටිකින් ටික බැහැගෙන එයාගේ සඳළුතලේ දොර වහගෙන මේ රාත්‍රිය බාරගන්න ළා සඳ එළියකට කළුවර මැද්දෙන් එන්න කියද්දී ඔයා ආයෙත් එන්න ජේන් අයර් මාත් එක්ක ඩිංගක් කතා කරන්න.
අයිස් කඳු දියකරගෙන එන සීතලම සීතල සේන් ගඟේ වතුර මේ ලෝකේ හැම ගංඟාවකම වතුරට වඩා හුඟක් වෙනස්. ඒ වතුර හරි බරයි. තුන් හිතම සලිත කරන තරම් සීතලයි. ඒත් ඒ සීතල අස්සෙම සේන් ගඟ මහා උණුසුමක් දනවනවා. ඒ බර වතුර කඳ නිසාම සේන් ගඟ හුඟක් නිශ්චලයි. ඒ දිය වේගයෙන් රැලි නගන්නේවත් කැලතෙන්නේවත් නෑ. ඒත් ඒ ඉවසිලිවන්ත දියවර හරි පැහැදිලියි. වීදුරු පාටයි. ගැඹුරුයි. ඒ නිසල ගැඹුරු බව නිසාම දිය මත යනෙන යාත්‍රාවට නොරිදෙන්න ඒ ගඟ දිය හරිම ආදරෙන් ඒ යාත්‍රාව එගොඩ මෙගොඩ අරගෙන යනවා. මොනතරම් ගැඹුරු වුණත් ඒ මහා හදවත අස්සේ රහසක් නෑ. කිසිදෙයක් සඟවාගෙන නෑ. මුළු ජීවිත කාලයටම සේන් ගඟ වගේ එකම එක ආදරණීය හදවතක් සංසාර අයිතියටම මුණගැහෙනවානම්... ජේන් අයර් ඔයාගේ ඇස් මට කියවන්න පුළුවන්. ඔයා කියන්නේ එහෙම කතාවක්. ඒත් එහෙම හදවත් ලෝකෙ නෑ ජේන්. සේන් ගඟේ ගඟ දිය වගේ ආදරයෙන් නොරිදවා සංසාරය පුරා ඔයාව ගඟ දිය වගේ ආදරයෙන් අරගෙන යන ආදර ගංඟාවක් මේ ජීවිතයේදී හාෙයන්න එපා ජේන්. ඔයාට මතකද ඔයාට ඔයාගේ ජීවිතේ මුණගැහුණු කෙනෙක්. ඔයා එයාව ඔයාගේ ලෝකෙට පිළිගත්තේ දෙවියන් වහන්සේ පිළිගන්නවා වගේ මහා භක්තියකින්. ඔයාගේ ආදරේ සීමාවක් තිබුණේ නෑ. ඔයා මොනවද ජේන් එයාගෙන් ඉල්ලුවේ.. මොකුත්ම නෑ.. එක දෙයක් ඇරෙන්න... ඔයා එයාට කීවේ මේ වගේ දෙයක්.. නිවාලන්න මා ඔබේ සිහිලසින්....
ජේන් අයර්... ඔයාගේ ආදරවන්තයා මතකද දවසක් ඔයාට කීවා.. අපි දෙන්නා අතරේ කවදාවත් පුංචි රහසක්වත් තියෙන්න බෑ කියලා... එහෙම කියපු එයා ආයෙත් දවසක ඔයාගෙන් ඇහුවා නේද මම ඔයාට හැමදේම කියන්න ඕනද කියලා... මට අදාළ නොවන හැමදේම නෙවෙයි. ඒත් ඔයා ගැන හැමදේම මට කියන්න ඔයාට යුතුකමක් නැද්ද? එහෙම අහන්න මට අයිතියක් නැද්ද? ජේන් ඔයා ඒ විදිහට අහන ගමන් කියන්න හැදුවේ සේන් ගඟේ වීදුරු පාට වගේ විනිවිද පෙනෙන ආත්මගත බැඳීමක් ගැන... නෑ ඔයාගේ හිත රිදෙන දෙයක්නම් මම ඒ දේ ඔයාට නොකියා ඉන්නවා. මගේ සිත රිදෙන දේවලුත් ඔයා කියන්න එපා.. ඒක එහෙමයි වෙන්න ඕන එහෙම නේද? එයාගේ උත්තරේ හරියට සේන් ගඟේ වතුර වගේ නෙවෙයි ජේන් එංගලන්තයේ තේම්ස් නදියේ වතුර වගේ.. ළා බොර පාටයි... ජේන් ඔයාට හිතෙනවා නේද එතකොට මම මගේ ජීවිතයේ මට දැනෙන දුක් වේදනා මම ජීවිතයේ වැඩිපුරම ආදරය කරන කෙනත් එක්ක කියලා හිත සැහැල්ලු කරගන්න දේවල් මම කියන්නේ කා එක්කද කියලා. ඔයාගේ දුක ඔයා ළඟම තියාගෙන මට සතුට දනවන දේ විතරක් දෙන්න කියන බැඳීමක් ඇතුළේ පිටස්තර හැඟීමක් මිස ඇත්තටම සෙෙනහසක් තියෙනවද.. ජේන් හිත රිදුණත් නොරිදුණත් එයාගේ ලෝකේ කොයි විදිහකවත් ඉඩක් තවත් කෙනෙක් වෙනුවෙන් නැත්නම් හිත රිදෙයි හිත ගැස්සෙයි කියලා ඔයාට නොකියා ඉන්න බැරි දෙයක් එයා ළඟ නෑ... ජේන් වම් අතින් කරන දේ දකුණු අත දැනගන්න ඕනද කියලා කෙනෙක් ඔයාගෙන් ඇහුවොත් ඒ අහන කෙනාට පුළුවන් ඔයාට ඕනෑම වරැද්දක් කරන්න. ඔයාගෙන් ඕනෑම දෙයක් සඟවන්න. ඔයා එයාට එදාට දෙවියන් වහන්සේ ප්‍රේමයට දුන්න අර්ථ කථන ගැන උගන්නන්න යන්න එපා... ඔයා සොබාදහමේ ආදරයත් එක්ක සොබාදහමේ මහා ශක්තියත් එක්ක ඒ හිත් රිදීම් ඔයා ඔයත් එක්කම දරාගන්න... සංසාරෙන් සංසාරෙට ඔයාව හොයාගෙන එන කෙනෙක් කියලා හිතෙන දැනෙන කෙනෙක්ගෙන් වුණත් සේන් ගඟ වගේ හදවතක් බලාපොරොත්තු වෙන්න එපා ජේන් අයර් කවදාවත්.. ආදරයක්-බැඳීමක් කියන්නේ ජීවිතය පුරා රුඳෙන සෙවණැල්ලක්.ඕනෑම දුකක් වේදනාවක් හිත් රිදීමක් සතුටක් බෙදාගන්න ආත්මගතව මුහුවීමක්. එහෙම හදවතක් මුණගැහුණොත් ඒ හුඟක් කලාතුරකින්...
පල්ලියේ කන්‍යාරාමයේ හැදුණු ඔයා බෞද්ධ දර්ශනය අනුව ජීවිතයවත් ප්‍රේමයවත් විග්‍රහ කරන්න දන්නේ නැතුව ඇති. ජේන් අපි ආදරෙන් ජීවිතයට එකතු කරගන්න හැමදෙයක්ම අවසාන අර්ථයෙන් ගත්තම මහා දුකක් විතරයි. ඒ හැමදේම අපිව තව තවත් සංසාර භවයන් කරා රැගෙන යන රැහැන් පොටක්. ඒත් බුදුදහම හරිම ලස්සනට අපිට කියලා දෙනවා ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන මනසින් සියල්ල හැකිතාක් අත්හරිමින් ජීවිතය සුමට ලෙස විඳින මාර්ගය. අපි ආදරය කරන හැමදේම දවසක අපිව අත්හැර යනවා. සියල්ල ජරාවට දුකට අවසානයේ මරණයට පත්වෙනවා. ඒ නියත දහම අපි හැමෝටම පොදු ධර්මතාවයක්. එතෙක් දුක, සැප, ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා කියන අටලෝ දහම තුළ සැරිසරමින් අපි ජීවිතය අත්විඳිනවා. සම්මුති මරණය තුළ නෙවෙයි ජේන් අපි සැබෑ මරණය දකින්න ඕන. මොහොතක් පාසා වෙනස් වෙන මියැදෙන ජීවිත යථාර්ථය තුළයි අපි සැබෑ මරණය අත්විඳින්න ඕන.. ඉවසිලිවන්තව ජීවිතයේ, ප්‍රේමයේ සහ සියලු බැඳීම්වල වෙනස්වීම්, හැර දැමීම්, නොසලකාහැරීම්, අහිමිවීම් ඔයාට දරාගන්න පුළුවන් එකම මාර්ගය බුදුදහම තුළින් උගන්වන ලෝක සත්‍ය අවබෝධයෙන් තේරුම්ගෙන ඉවසිලිවන්තව උපේක්ෂාවෙන් ජීවිතය විඳීම සහ සියල්ල දරාගැනීම...
ජේන් අයර්.... පසුතැවීම වේදනාවක්... ජීවිතයේ සිද්ධ වෙච්ච කිසිම සංසිද්ධියක් වෙනුවෙන් පසුතැවෙන්න එපා... පසුතැවීම ඔයා ළඟ අවසානයේ ඉතුරු කරන්නේ කලකිරීමක්... කලකිරීම වෙනුවට ජීවිතය දෙන දේවල්, නොදෙන දේවල්, දීලා නැවතත් ඉල්ලා ගන්න දේවල් තුළ ජීවිතය අවබෝධයෙන් කියවන්න.
එදාට ඔයා සේන් ගඟ වගේ හදවත් මේ ලෝකයෙන් හොයන එකක් නෑ.