කුඩම්මාගේ දිග ගවුම් තාත්තගේ සරම් කොට්ට උර මහා ගොඩක් ඒ බේසම ඇතුළෙ හෝදන්න දාලා තිබුණා. මම සබන් කැටේ පැත්තකින් තියලා ගඟේ රෙදි හෝදන ගලක් උඩට වෙලා ඉස්සර අම්මා රෙදි වතුරේ පොඟවලා අරන් රෙදිවල සබන් ගාන විදිහට මමත් රෙදිවල සබන් ගාගෙන ගාගෙන ගියා. ඒත් අම්මා වගේ කුණු යන්න රෙදි ගලේ ගහන විදිහ රෙදි පොඩි කරන විදිහ මම දැනගෙන හිටියේ නෑ... කුඩම්මාගේ එක ගවුමක සබන් ගාලා පොඩි කරන්න මම හිතන්නේ මට පැය භාගයක් විතර ගියා... ඒත් ඒවයේ කුණු යවන්න මට තේරුණේ නෑ... පැයක් විතර තද අව්වේ ඇස් නිලංකාර වෙනකම් රෙදි හේදුව මම අන්තිමේදී ඒ රෙදි බේසමත් ඔළුවේ තියාගෙන ගෙදර ආවේ ඇස් නිලංකාර වෙලා මාව බිම ඇද වැටෙන්න තරම් අමාරුවක් ඇඟට දැනෙද්දී...
කෝ දැන් ඔය රෙදි ටික හොඳට මිරිකලා වනලා හිටියනම්...
කුඩම්මාට බැරිද ඒක කරන්න... මට හොඳටම බඩගිනියි...
මට පුළුවන්ද මේ තඩි බඩකුත් උස්සගෙන රෙදි වැල් ගානේ රෙදි වනන්න.
එහෙනම් මම බත් කාලම රෙදි වනන්නද?
මොන බඩගින්නක්ද මේ... ඔන්න ඔය වැඩේ ඉවර කරලම ඉන්නවා...
මම මොකුත්ම නොකියා රෙදි ටික මිරිකන්න පටන් ගත්තා. මට දැනුණේ මගේ අත්දෙක වෙව්ලනවා වගේ හැඟීමක්. රෙදි ටික වනලා ඉවර වුණාම කුඩම්මා කුස්සියට කතා කළේ මට බත් කන්න.
පරිප්පු හොදියි මෑ කරල් බැදුමකුයි එක්ක කරවිල වෑංජනයක් තිබුණා. කරවිල මම කවදාවත් නොකෑවේ කරවිල වල එන තිත්ත රස හින්දා. කරවිල ටික පැත්තකට කරලා මම මෑකරල් සහ පරිප්පු එක්ක බත් අනන්න ගත්තා.
මොකද කරවිල කන්නේ නැත්තේ....
තිත්තයි...
ඒක හොඳ උත්තරේ.... එතකොට ඔය ටික විසික් කරන්නද? හරි ෂෝක් අම්මා පුතා හදලා තියෙන හැටි...
මගේ අම්මට බණින්න එපා...
බණින්න අම්මෙක් ඉන්න එපැයි.
මගේ අම්මා මැරුණට තාම මාත් එක්ක ඉන්නවා.
ඒක තමයි හැමතිස්සෙම යකා වැහිලා වගේ දඟලන්නේ.
මගේ අම්මා යකෙක් නෙවෙයි දෙවි කෙනෙක් වෙලා ඉන්නේ.
දෙවියෝ වැහිලා වෙන්න ඇති පිස්සෙක් වගේ වැඩ කරන්නේ... තාත්තලා කන්න ආව පුතාලා.
කුඩම්මාගේ කියවිල්ලේ ඉවරයක්ම නෑ. තාරාවෙක් වගේ බඩත් පද්ද පද්දා කුඩම්මා කළේම මගේ අම්මට දොස් කිය කියා ඇවිද්ද එක. කුඩම්මා වෑංජන බෙදන්නේ හරි චුට්ටයි. ඒ ටික බත් පිඟාන කන්න හොඳටම මදි. ඒ හින්දා මම කළේ එක මාළුවකින් බත් ටිකක් කාලා ඉවරවෙලා ඉතුරු බත් ටික ඊළඟ වෑංජනයෙන් කන එක. ඒ හින්දම මට අනාගන්න බත් කටේ රසක් දැනුණේ නෑ. මගේ අම්මා උයන බත් මාළු තරම් කුඩම්මා උයන බත් මාළු රස නැහැ කියලයි මට හැමදාමත් හිතුණෙ.
මට තව පරිප්පු ටිකක් දෙනවද?
හැඳි දෙකක්ම බෙදුවේ මදිද?
හැඳි දෙකක් බෙදුවට හොද්ද විතරයි. පරිප්පු ඇට දහයක්වත් නෑනේ.
උඹනම් කන්නම ඉපදිච්ච එකෙක්.... එහෙම කීවා මිසක් කුඩම්මා තවත් පරිප්පු හැන්දක්වත් බෙදුවේ නෑ. මගේ ඇස් දෙකට හේතුවක් නැති කඳුළක් ආවා.
නාස්තිකාර විදිහට හැදෙන්න එපා... ඔහොම බඩජාරිකමට කන්න පුරුදු වුණොත් තාත්තට පුතාට කන්න දීලම ඉවරයක් නැතිවෙයි හම්බකරන ඒවා...
බඩගින්නට බඩපිරෙන්න කන්න නැතුව මොකටද? අම්මා නම් මට බත් පිඟානක්ම බෙදලා දෙනවා...
කුඩම්මා හැන්දේ ගෑවෙන්න නොගෑවෙන්න තව පරිප්පු ටිකක් පිඟානට දාලා කුස්සියෙන් එහාට ගියා...
තාත්තා ගෙදර එන්න ඉස්සර කුඩම්මා නිදියාගෙන හිටපු මාව නැගිට්ටුවේ වැල්වල වනපු රෙදි ටික අරන් ඇවිත් නමලා තියන්න කියලා කියන්න. කුඩම්මා මාව ඇහැරවද්දිත් මම හිටියේ තද නින්දක. අන්තිමේදී කුඩම්මා කළේ මගේ කන මිරිකන එක.
මට නිදි මතයි හොඳටෝම.
කළුවර වැටෙන්න ඉස්සර අර රෙදි ටික අරගන්නවා... කළුවර වැටුණාම රෙදි වැල්වල තියන්න හොඳ නෑ...
මට නිදිමතයි... මම ඇහැරිලා ගන්නම්.
දැන් තාත්තා ආවාම තාත්තට කියන්න ඉස්සර කීව වැඩේ ඉවරයක් කරනවා අමර්...
මම බැරිම තැන ඇස් දෙක පොඩි කර කර ඇස් ගැට කඩ කඩා නැගිට්ටා... නිදිමතට මාව එහෙ මෙහෙ වැනෙන ගතියක් තිබුණේ... තාත්තා ආවොත් ආයෙත් කනක් ඇහිලා ඉන්න නැති හින්දා මම නිදිමරගාතෙම එහෙට මෙහෙට විසික් වෙවී රෙදි වැල්වල වනලා තිබුණ රෙදි ටික ඔක්කොම අරන් ඇවිත් ඉස්තෝප්පුවේ පැදුරට දැම්මා. කුඩම්මා හිටියේ එතනම හාන්සි පුටුවේ ඉඳගෙන...
මෙහෙට ගන්නවා බලන්න ඔය හෝදපු ගවුමක්..
කුඩම්මා අතට දුන්න ගවුම එයා වාටි පෙරළා පෙරළා බැලුවේ දෙතුන් වතාවක් මගේ දිහා බලන ගමන්...
පුදුම හේදිල්ලක්නේ මේක... වාටි ගාණේ කුණු පැල්ලම් එහෙමමනේ... කුණු යන්න පොඩි කරේ නැද්ද...?
මම මීට කලින් කාගෙවත් රෙදි හෝදලා නෑ.
ඔක්කොම නැහැ කියලා නිකම් ඉඳලා හරි යනවද පුරුදු වෙනවා මිසක්.
මම තාම ඉස්කෝලේ යන ළමයෙක්.
ඉස්කෝලේ යන ළමයෙක් වුණත් පිරිමියෙක්නේ... පිරිමියෙක් වුණාම හයිහත්තියක් තියෙන්න එපැයි...
මම ගලේ රෙදි දියගහන්න දන්නේ නෑ... මගේ රෙදි හෝදලා දුන්නේ අම්මා...
දැන් අම්මෙක් නෑනේ... තමන්ගේ වැඩ විතරක් නෙවෙයි ගෙදර වැඩත් ඔක්කොම පුරුදු වුණොත් හොඳයි... තව ටික දවසකින් මේ ගෙදර අලුත් නංගියෙක් හරි මල්ලියෙක් හරිත් එනවනේ...
► අනුවර්තනය : චන්දන වරාවිටගේ & සංජු