එංගලන්ත රජ පවුලේ සිරිතට අනුව කුමාරයකුගේ හෝ කුමාරියකගේ විවාහයෙන් පසු එම යුවලට ආදිපාද ධූරයක් පිරිනැමේ. උදාහරණයක් ලෙස මීළඟට ඔටුන්න හිමි කුමාරයා වන චාල්ස් කුමරු ඩයනා කුමරිය සමඟ විවාපත් වීමෙන් පසු එම යුවල හැඳින්වුණේ කෝන්වෝල්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය ලෙසිනි. චාල්ස්ගේ වැඩිමහල් පුත් විලියම්ට විවාහයෙන් පසු ලැබුණු නම වූයේ කේම්බ්‍රිජ්හි ආදිපාද යන නමයි. කේට් කේම්බ්‍රිජ් ආදිපාදවරිය වූවාය. හැරී - මේගන් යුවලට විවාහයෙන් පසු ලැබුණු නම වූයේ සසෙක්ස්හි ආදිපාද යුවල යන නමයි. අපේ මාතෘකාව වන්නේ සසෙක්ස් ආදිපාද නම වටා බැඳී තිබෙන අවාසනාවන්ත සිදුවීමක් ගැන ද පසුගියදා ඩේලිමේල් පුවත් අඩවිය කර තිබූ වාර්තාවකි.
ඩේලිමේල් වාර්තාවට අනුව හැරී සහ මේගන් යුවලට පෙර සසෙක්ස්හි ආදිපාද ධූරය සහ ආදිපාදවරිය ලෙස නම් දැරැවේ එංගලන්තයේ තුන්වැනි ජෝර්ජ් රජුගේ හයවැනි පුතු වූ ඔගස්ටස් ෆෙඩ්රික් කුමරැ සහ ඔහුගේ බිරිඳ වූ ස්කොට්ලන්තයේ ඩන්මෝර් අර්ල්වරයාගේ දියණිය වූ ඔගස්ටා මරේ ආර්යාවයි. ඔවුන් විවාහ පත් වුණේ 1793 අවුරුද්දේදීය. එනම් හැරී සහ මේගන් විවාපත් වීමට වසර 225කට පෙරාතුවය.
අවුරුදු දෙසිය විසි පහකට පෙර සසෙක්ස් ආදිපාද නාමය හිමි වූ මේ යුවලගේත් අලුතින් එම නාමය ලැබූ හැරී - මේගන් යුවලගේත් එක් පොදු සමානකමක් තිබීම ද විශේෂත්වයකි. එනම් ඔගස්ටස් කුමරුගේ සහ ඔගස්ටා කුමරියගේ ආදරයත්, හැරී මේගන් බඳුම අක්කා මලෝ ප්‍රේමයක් වීමයි.
ඒ ආදර කතාව මෙසේය. කුඩා කල සිටම ඇදුම රෝගයෙන් පීඩා විඳි ඔගස්ටස් කුමරැව බකිංහැම් මාළිගයෙන් යුරෝපය බලා යැවුණේ ඔහුගේ රෝගී තත්ත්වයට ද විසඳුමක් ලෙසිනි. යුරෝපයේ ඔහුගේ වඩාත්ම සිත් ගත් නවාතැන වූයේ ඉතාලියයි. ඔහුට ආදරය මුණගැසෙන්නේ ද එහිදීය.
එවකට ඉතාලියේ වාසය කළ ඔගස්ටා කුමරියට ඔගස්ටස් කුමරු මුණගැසෙද්දී ඔහුගේ වයස අවුරුදු 19ක් වූ අතර ඇගේ වයස 24ක් විය. තමාට වඩා වයසින් වැඩිමහලු තැනැත්තියක් වුවද ඔහු ඈට තදින්ම ප්‍රේම කළේය. එහි ප්‍රතිඵලය වූයේ සති කිහිපයක දැන හැඳිනගැනීමෙන් පසු ඔවුන් රහසේම විවාපත් වීමයි.
ඔවුන් රහසේ විවාහ වන්නට ද හේතුවක් තිබුණි. ඔවුන් විවාහ වන විට ද ඔගස්ටා කුමරිය ගැබිණියකි. නමුත් ඒ ඔගස්ටස් කුමරුට දාව නොව ඇගේ අතීත පෙම්වතා වූ ආර්චිබෝල්ඩ් හැමිල්ටන් සාමිවරයාට දාවය. 1772 වසරේදී රජ මාළිගය විසින් අලුත් නීතියක් පනවා තිබුණේ රජ පවුලේ යම් කුමාරයකු විවාහ වීමට පෙර ඒ සඳහා රජ මාළිගයේ අවසරය, අනුමැතිය ලබාගත යුතු බවටය. තමාට වඩා වයසින් වැඩිමහලු වනවා සේම වෙනත් අයකුගේ දරු ගැබක් දරා සිටින කාන්තාවකට තම පිය රජුගේ කැමැත්ත ලබා ගැනීම කිසිසේත් කළ නොහැක්කක් බව සක් සුදක් සේ දැන හුන් ඔගස්ටස් කුමරු තීරණය කළේ කාටත් හොරා විවාහ වීමටයි. හැරී මේගන් විවාහය බිලියන දෙකක් ජනතාව සජීවීව නරඹද්දී එම විවාහය පැවතුණේ එංගලන්තයේ මේෆර්හිදී රහසිගතවය.
එහෙත් ඔහු සිතූ පරිදිම බ්‍රිතාන්‍ය රජ පවුලෙන් මෙම විවාහයට පිළිගැනීමක් ලැබුණේ නැත. ඔගස්ටස් කුමරු හා ඔගස්ටා කුමරියගේ විවාහයන් නිත්‍යනුකූල නොවන බවට තුන්වන ජෝර්ජ් රජු නියෝගයක් පැනවීය.
මේ අතර විවාහයෙන් මසකට පසුව ඔගස්ටස් කුමරිය පිරිමි දරුවකු වැදුවාය. ඉන් කිපුණු මහ රජු තම පුත්‍රයා වූ ඔගස්ටස් කුමරු රටින් පිටුවහල් කළේය. එහෙත් ඔගස්ටා කුමරියව පිටුවහල් නොකළේ රටින් පිටදී තම පුත්‍රයා සමඟ ඇගේ ඇසුර නවතාලීමේ අදහසිනි.
නැවත ඉතාලියට ගිය ඔගස්ටස් කුමරුට තම බිරිඳ සහ පුත්‍රයා අමතක විය. එහි හුන් ඔපෙරා ගායිකාවක සමඟ ඔහු හාදකමක් ඇති කරගත්තේය. මේ අතර 1801 අවුරුද්දේදී බකිංහැම් මාලිගය විසින් ඔහුව සසෙක්ස්හි ආදිපාදවරයා ලෙස නම් කළේය. සම්ප්‍රදායට අනුව ඒ මොහොතේ සිට ඔගස්ටා කුමරිය ද සසෙක්ස්හි ආදිපාදවරිය බවට පත්වූ නමුදු ඈට එම නම භාවිතා කිරීමට රජ මාලිගය තහනමක් පැනවීය.
කෙසේ වෙතත් වසර පහකට පසු ඔගස්ටස් කුමරුට නැවත ලන්ඩනයට පැමිණීමට හැකිවිය. අවුරුදු පහකට පසු තම බිරිඳ හමුවන විට ද ඇය ගැබිණියක් වීම ඔහුට මහත් ප්‍රශ්නයක් විය. පසුව සොයා බලන විට තමා ඉතාලියේ සිටිද්දී ඈ තම පරණ පෙම්වතා වූ ආර්චිබෝල්ඩ් සාමිවරයා සමඟ හාදකම් පවත්වා තිබුණි. ඉන් කලකිරුණු ඔගස්ටස් හෙවත් සසෙක්ස්හි ආදිපාද තෙමේ නැවත පෘතුගාලය බලා ගියේ නැවත ඈ නොදකින අදහසිනි.
මේ අයුරින් අවුල් වියවුල් මැද ගලා ගිය එම අක්කා මලෝ ප්‍රේමයට නැවතීමේ තිත වැටෙන්නේ ඔගස්ටස් කුමරියගේ අකල් මරණයත් සමඟිනි.
► Text — Rehan