රූම් - එකේ දොර ඇරලා දෙන වෙලාවෙ
මං අඳුරගත්තා පටිය කැඩුණු සෙරෙප්පුව
දැනුණා ත්‍රිපෝෂ සුවඳ
මූණ බැලුවෙ නෑ මං
යතුර වැටුණා මා අතින්
කස්ටමර් කෑ ගෑවා
ඉක්මං කරපං කොල්ලෝ කියලා
අල්ලපු කාමරේ ඉඳං
හිල්වලින් බලන ගමං
විජේලා කියනවා ඇහුණා
බඩේ ළමයෙක් හම්බවෙච්චි ඉරි තිබ්බට
ඒකි පුරුදුකාරියෙක් නොවන වග
මට මතක් වුණා
අම්මා නාවන්න
පොඩි එකාට බෙහෙත් පොවන්න
මස්සිනාගේ මුත්‍රා බටේ ගලවන්න
උදේම නැගිටලා කවර අලවන්න
ඒකිට තිබ්බ පුරුද්ද
ත්‍රීවීල් - එක ගියාට පස්සේ
ඇඳ අස් කරන්න කලින්
කොට්ටවල තිබ්බ කඳුළු වේලෙනකං
ෆෑන් - එක වැඩි කරලා මං
එළියට බැහැලා
ඔහේ ඇවිදගෙන ගියා ටික දුරක්
මිනිස් ජීවිත පතුලේ කැකෑරෙන ඉසියුම් හැඟීම්, වේදනාවන් හා කලාතුරකින් කෙනෙකුගේ ඇස ගැසෙන සංවේදී සංසිද්ධීන් කවියට ප්‍රස්තුත කරගන්නා මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කවියාගේ අක්කා නම් කවියයි මේ. හදවත්වලට කතා කරමින් ඒත්තු ගන්වන ආකාරයේ ඔහුටම අනන්‍ය වූ කවි බස ඒ කවියා සතු අපූරු මෙවලමකි.
ගණිකාවක් ලෙසින් ඇය එන හෝටල් කාමරයේ රූම් බෝයි ඇගේම මල්ලිය. පිරිමි පහසකට රිසින් නොව ජීවිතේ අනේක දුක් වේදනා අබිමුව රුපියල් හොයන්නට පිරිමියෙකු හා යහන්ගතවෙන අක්කාගේ ආත්මය තුළ උතුරා පිටාර ගලන ප්‍රශ්න දුක් වේදනා දහසකුත් එකක් මේ කවියේ පදවලට ප්‍රස්තුත සපයයි. මේ අක්කා... තව අක්කලා දහස් ගණනකගේ සමාජ සංකේතයකි.
ළඳුනේ.... ගීතය හරහා ඇය ගැන කතා කරන්නට පෙර මහින්ද ප්‍රසාද් මස්ඉඹුල අපේ යුගයේ කවියාගේ අක්කා ගැන ඔබට කියන්නට මට සිතුණි. ඒ ගණිකාවකගේ ආත්මය ගැඹුරින් විනිවිද කවියා ඇය දකින අපූරුව සැබැවින්ම හෘද සංවේදී වන හෙයිනි. මහින්ද දුටු මේ අක්කාත් අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න දුටු ඒ වීදි සරණ ළඳත් ලේ මස් නහරවලින් හැදුණු ගැහැනුන් ලෙස අනේක විධ දුක්ඛ දෝමනස්සයන් දෙවුර දරාගෙන ජීවිතය හා කරන අරගලය දෙස මනුස්සකමින් බලන්න යැයි ගීතය විග්‍රහයට පෙර මම ඔබට කියමි.
ළැම පමණක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ
හංස විලාසෙන් නැගී හිඳින ගැහැනියකගේ ළය මඬල දෙස රාග නෙතින් බලන ඇගේ පියයුරු තුඩග මෘදු සිනිදු බව මනසින් හෝ ස්පර්ශ කර බලන්නට ලෝභ සිත් ඇති බහුතරයක් පිරිමින්ට ඇගේ හදවතේ ලේ සුවඳ රාග සිතින් නොව මනුස්සකමින් ඉඹ බලන්නට කවදාවත් සිත් වීද? ගී පද රචකයා එදා කපු කැටි යුගයේ කුවේණියට මෙන්ම අද අයි. ටී තාක්ෂණ යුගයේ ගැහැනියට පොදු වූ ඉරණමක් ගැන ගැඹුරු යථාර්ථයක් ඒ ගී පද ඔස්සේ හෙළි කරතැයි මට සිතේ.
ළඳුනේ... ළඳුනේ...
ඔබේ දෑස දැකගත්තෙමි
සඳෑ කලෙක ළඳුනේ... ළඳුනේ...
දෙනෝ දහක් අත ගත්තද
සැමියකු නැති ළඳුනේ...
නෑයෙක් නෑකම නොකියන
වීදි සරණ ළඳුනේ
ගී පද රචකයා කියන මේ වීදි සරණ ළඳුන් කවුද? පොදු සමාජයට ඒ ළඳුන් වීදි සරණ ළඳුන් ලෙස හඳුන්වනවාටත් වඩා දැනෙන්නේ ඔවුන් ගණිකාවන් වෙසඟනන් ලෙස හඳුන්වද්දීය. ඒ ගෑනි වෙසඟනක් (සමාජය වෙසඟනක් යන භාවිතයටත් වඩා පහත් ආමන්ත්‍රණයකිනි ඔවුන් හඳුන්වන්නේ)
ඒ ගෑනි ගණිකාවක්! ඒ ලෙස ඇය හඳුන්වන සමාජයට ඒ ගැහැනුන් හා යහන්ගත වෙන පිරිමින් ශුද්ධවන්තයෝය. ගැහැනුන්ට වෙසඟන, ගණිකාව යන නම් දුන් වියතුන් පඬිවරුන් හා සමාජය ඒ ගැහැනුන් හා රමණයේ සුව සොයා යන පිරිමින් හඳුන්වන්නට නමක් නොදී ඉන්නට තරම් පුරැෂෝත්තමවාදී වීම තුළම පුළුල් විෂම සමාජ කතන්දරයක් සැඟවී තිබේ. සම්මතයට එහෙයි න්‍යායෙන් සළකන පොදු සමාජය එක පෙළට පෙළ ගැහෙන්නේ සම්මතයනම් සුදු රෙද්දට එක දූවිලි පොදක් හෝ ඉසින ඕනෑම අයකුට ගල් ගසන්නටය. පටාචාරා කතා වස්තුවේ පටාචාරාවට අනේ අපොයි කියන කිසිවකුට උකුස්සා ගැන අල්පමාත්‍රයකවත් අනුකම්පාවක් නොදනුණේ ඇයි? පටාචාරාව මනුස්ස කුලකයේ අම්මා කෙනෙකි. උකුස්සා සත්ත්ව කුලකයේ අම්මා කෙනෙකි. ඒත් දරු සෙනෙහස ඒ අම්මාවරු දෙදෙනාටම එක හා සමානය. මිනිස් අම්මාගේ ළය ලෙය මෙන් උකුසු අම්මාගේ ළය ලෙය කිරට නොහැරුණත් ඒ උකුසු අම්මාගේ ළමැදේ සියුම් තටුවක් තටුවක් ගාණේ පැලී දෝර ගලන තරම් ආදරයක් ඈ තුළ ද තම පැටවුන් කෙරේ නොතිබුණේයැයි කිව හැක්කේ කාටද? උකුසු අම්මා පටාචාරාවගේ දරු පැටවුන් රැගෙන ගියේ උගේ දරු පැටවුන්ගේ බඩගිනි නිවන්නටය. පොදු මනුස්ස සමාජය සලකන සදාචාරය ගැන නීතියක් ඒ කුරුලු අම්මා දන්නේ නැත. ඌ සොයන්නේ බඩගිනි නිවන්නට ගොදුරක් පමණි. එක අන්තයක හිඳ ලෝකය පිරික්සන අපට ඒ අන්තයෙන් එහා ඉමක හිඳ සමාජ සංසිද්ධීන් විෂයහි අරුත් පසිඳිය නොහැක්කේ ඇයි?
බුදුන් දවස අම්බපාලිය නම් රූබර ගණිකාව සොයා සිටුවරු, රජවරු ගිය බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි. අදත් වීදි සරණ ළඳුන් සොයා පැමිණෙන විවිධ තරාතිරමේ අය අතර රජ සිටු මට්ටමේ පුද්ගලයෝ ද සිටිති. එහෙත් කාටවත් නොපෙනෙන්න කිසිවකුටවත් නොදැනෙන්න ඇගේ පහසේ දැවටෙන කවර පිරිමියෙක්වත් ඇය කිසිවකුත් ඉදිරියේ තමන්ගේ කිසිවකුත් ලෙස පිළිගන්නේ නැත. හඳුන්වා දෙන්නේ නැත. ඇගේ ලෝකයේ හිස්තැන් මකන්නට ඒ කවර හදවතකවත් ප්‍රේමයක්, මිනිස්කමක්, ළතෙත් බවක් ඉපදෙන්නේ නැත. ඇයව තුටු කිරීමට නොව ඇගෙන් තම ඇවිලෙන පිරිමි සිරුරේ ගින්දර පවස නිවාගන්නට ඇයව ලිංගික භාණ්ඩයක් ලෙස පරිහරණය කරන පිරිමින්ට ඇය සමාජය ඉදිරියේ වෙසඟනක් පමණි. මහා වැරදිකාර ගැහැනියක් පමණි. රැවුම් ගෙරවුම් මඟහැරීම් මිස ඇයට උරුම අන් කිසිත් නැත. අහවල් ගණිකාව මගේ දුවක්, මගේ මිතුරියක්, මගේ නෑදෑයෙක් කියන්නට මේ සමාජයේ කිසිවකුගේවත් මුව විවර වන්නේද නැත.
දෙනෝ දහක් අත ගත්තද
සැමියකු නැති ළඳුනේ...
පිරිමින් දාහක් සමඟ නිදි වැදුණත් ඇයට ඇගේම යැයි කියන්නට සැමියකු නැත. කාටවත් නොපෙනෙන ඇගේ ඇතුළු හදවත ඉල්ලා හිඳින ඇගේම ලෝකයක් ඇයට ද නැති වෙන්නට බැරිය. ඒ ලෝකයේදී ඇය ප්‍රාර්ථනා කරන්නේ නිදි වැදෙන්නට ඇය සොයා එන පිරිමින් නොව ඇයටම සැමියකු විය හැක. ඇගේ කුස යහනත හොවා රැකගන්නට, ඇඟ ලේ කිරි කර පොවන්නට දරු පැටවකු විය හැක. ඇය වීදි සරණ ළඳක් වීම තුළ ඇගේ අතීත ජීවිත කතාව මහා ශෝකී කතාවක් විය හැක. ඇය එවන් ඉරණමක් දරන්නේ අම්මගේ තාත්තාගේ හෝ සැමියාගේ වරදින් විය හැක. සමාජ නොසලකාහැරීම් අප්‍රමාණ සමාජ පීඩන නිසා විය හැක. ඇගේ ළැමට, සිරුරට, ලිංගික අවයවයන්ට ලොබ බඳින කවර පිරිමියකුට ද ඇගේ ළයේ බාහිර උණුසුමට යටින් නිදන් වූ ඒ ආත්ම ගින්දරේ රස්නය දැනුණේ?
ඇගේ දෑසින් පෙරී එන රාග මිශ්‍රිත ඇරයුම විනිවිද ගී පද රචකයා හඳුනා ගන්නට යත්න දරන්නේ ඇගේ දෑස් පත්ලේ ඈ කිසිවකුට නොපවසා සඟවා සිටින ඇගේ ඒ ආත්මීය ශෝකයයි.
ඔබේ දෑස දැකගත්තෙමි.... ඒ දෑස් ඇගේ ඇතුළු හදවතේ සියලු කතන්දර වෙනුවෙන් සාක්ෂියකි.
ඇයට ඇගේ දුක කියන්නට කෙනෙක් නැත. සිතේ ගිම් නිවා ගන්නට, හිස රඳවා හඬා වැටෙන්නට ඇයට කිසිවකුගේ උරහිසක අයිතියක් නැත. තමන්ගේම වූ පිරිමි උරහිසක්, ළය මඬලක් ප්‍රාර්ථනා නොකරන ගැහැනියක් ලෝකයේ නැති තරම්ය. එහෙත් වීදි සරණ ළඳකට රැපියල් වටිනාකමක් මිස ආදරණීය වටිනාකමක් දෙන්නට තරම් ළතෙත් සිත් ඇත්තන් මේ සමාජයේ අතිශය විරලය. පටාචාරාවක වෙසින් කිසාගෝතමියක වෙසින් ඇය තෙල්, මල් රැගෙන බුදුන් පුදන්නට යන්නේ වෙනසක් නොමැතිව ඇය පිළිගන්නා එකම තැන ඒ බුදුන්, දෙවියන් සෙවණ පමණක්ම වන හෙයිනි. බුදුන්, දෙවියන් මිස ඇගේ දුක අසන්නට කිසිවකුත් නැති බව ඇගේ සිතම ඇයට මුරගා කියන හෙයිනි.
තෙල් මල් ගෙන දෝත පුරා
මුනි කුටියට පියමං වන
ඔබට ඇය වෙසඟනක් පමණක්ම වුවත් ඇයට ඇය අදහන විශ්වාසයක්, ධර්මයක් පවතී. ඈ තුළ ද මානවීය වටිනාකමක් පවතී.
බුදුන් දැක නිවන් දකිමියි
දෙව්රම යන පාර අසන
ඔබද පටාචාරාවකි...
ඔබද කිසාගෝතමියකි...
ඇය ද සැනසුම යදියි. ඇය ද ආත්ම සුවය පතයි. මේ සියලු සමාජ විඳවීම්, ගැරහීම්, අවමන් නොසලකාහැරීම් මැද ඇය ද නිර්වාණය ප්‍රාර්ථනා කරයි. ඇය පතන ඒ නිර්වාණය බුදුන් වහන්සේ වදාළ නිර්වාණය ද ජීවිතයම සිහිලැල් කරන ප්‍රේමයක් මනුෂ්‍යත්වයක් ඔස්සේ ඈ ඇගේ ආත්මය ගැඹුරින්ම ඉල්ලා හිඳින සැනසිල්ලක්දැයි මේ ගීය මතුපිට අරුත විනිවිද ගැඹුර පිරික්සද්දී මට සිතේ.
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ...
කුහුඹුවකුට වරදක් නැති... ඒ පද මගින් ධ්වනිත කරන ඒ නිවැරදි බව නිර්වචනය කරන්නට මම නොදනිමි. එහෙත් ඒ නිවැරදි බව තුළම ඇය යළිත් මහා වැරදිකාර ගැහැනියකි.
කුහුඹුවෙකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ...
පළමු ගල ගැසිය යුත්තේ කාටද? තීරණය මම පාඨක ඔබටම බාර කරමි.
අපේ විචාරයට ලක්වෙන ගීත ගැන ඔබටත් කියන්නට දෙයක් ඇත්නම් අපට ලියන්න.ඔබ කැමති ගීතත් අපට කියන්න.
Deshayanews@gmail.com
Deshayalayout@gmail.com
හදසර - සංස්කාරක, දේශය කතෘ මණ්ඩලය,
විජය පුවත්පත් සමාගම, අංක 08, හුණුපිටිය හරස්පාර කොළඹ 02