වම් ඇස හරවා බලද්දී හුස්මක් වැටෙන දුරටත් ළඟින් දුර මගේ ජීවිතය.. මගේ ප්‍රාණය.. මගේ සියල්ල... ඒ සදාදරණීය ඔහු... මගේ දකුණු ඇස හරවා දුරක රඳවද්දී ආදරයෙන් දියඹ සිපගන්න නොඉවසිල්ලෙන් බලා හිඳින නැව් දිගු පෝලිමක... මගේ පාදයේ ඇඟිලි සිරකරගත් ඔහුගේ පාදයේ උණුසුම සංවේදී ස්නායුවක් පවා හැඟුමින් කිති කවා ඇහැරවද්දී මගේ පා සළඹත් පා මුදුවත් මම වගේම කතා කරගන්න බැරි වචනත් එක්ක ගොළු වී උන්න හැටි... අපේ ආදරණීය දෙපතුල්වලට පෑගිච්ච වෙරළේ වැලිකැටවලටත් රිදුණද මන්දා... අහන්නෙත් කොහොමද.. ඇහුවත් කියන එකක්ද? නොඅසන්න.. නොකියමි... එදා කළුවර කැටි ඉහිරිච්ච අඳුරු අහස කීවෙත් එහෙම කතාවක්ද මන්දා? හිටපු ගමන් පුංචි වැහි බින්දු කිහිපයක් පොළොවට හලලා ආයෙමත් කරබා ගත්තු අහසින් මහා වැස්සක් අරන් ඇවිත් අපේ සොඳුරු සාගර රාත්‍රිය අපෙන් උදුරා ගන්නවද කියලා අහද්දී අහසත් පොඩ්ඩක් ගස්සලා අහක බලා ගත්තද කොහෙද?
ඒ ගැස්සිල්ලට වලාකුළු චිත්‍රය මොහොතක් සෙලවුණා... අහස් යායේ අඳිමින් සිටිය සිතුවමේ රේඛාවක් දෙකක් වෙනස් වුණාද මන්දා... ඒකයි එයා මගේ වම් අතේ ඇඟිලි දකුණු අතින් පටලාගෙන හා කියන්න මගෙ මැණික දැන් අර වලාකුළු එකතු වෙලා ඇඳලා තියෙන චිත්‍රයේ ඉන්න සතා මොෙකක්ද කියලා අහද්දී එයාගේ ඇස් මත දැවටි දැවටි තිබුණු මගේ ඇස් වලාකුළු මත රඳවන එක මොහොතට ඒ චිත්‍රයත් වෙනස් වුණේ... අපි හිටියේ මුහුදු වෙරළේ... ලස්සන අවන්හලක... වෙරළේ තබා තිබූ පුංචි මේසයක් වටකරගත් පුටු දෙකක් අපේ සිරුරු දරාගෙන ඉන්න ඇති... ඒත් ඒ පුටුවලට අපේ බරක් දැනෙන්නම විදිහක් නෑ.. මට හිතුණේ එහෙම... ආදරයේ වැහි ජීවිතේ තෙමාගෙන වැටෙද්දී සිත, කය හුළඟකටත් වඩා සැහැල්ලුයි... ආදරය ආදරයක් විදිහටම විඳිද්දී හිතට දැනෙන්නේ වචනවලට පෙරළන්න බැරි සතුටක්.... සතුට සතුටක්ම විදිහට දැනෙන, ආදරය ආදරයක්ම විදිහට දැනෙන.... අසංඛ්‍යාත්මක, රුක් මුල් ගොඩක් දරාගෙන ඉන්න මහා කන්දක් වගේ අපි දෙන්නගේ ප්‍රේමය හුරුපුරුදු සංසාර මුල් අනන්ත සංඛ්‍යාවක් දරාගෙන ඉද්දී අධ්‍යාත්මික හැම ඉසුරක්ම ඒ ප්‍රේමය ඇතුළේ තිබුණා... මහා සාගරය අහසත් එක්ක එකතු වෙලා අපිට කීවේ ඒ දෙන්නගේ ආදරය ගැන... මුහුදු රැල්ල වෙරළ හොයාගෙන එන්නේ වෙරළ රැල්ල එනකම් බලාගෙන ඉන්න නිසා මිසක් මුහුද වෙරළට ආදරය කරන නිසා නෙවෙයි... අනේ මන්දා මට හැමදාම හිතුණෙම එහෙම... ආදරයක් තිබුණානම් හෝ ගාගෙන ඇවිල්ලා වෙරළ රිද්දලා ආයෙත් යන්න යයිද? මුහුද ආදරේ කළේ අහසට... අයිතියට නෙවෙයි... අපි දෙන්නා වගේම සංසාර පුරුද්දට... කොච්චර දුර වුණත් මූණෙන් මූණ බලගෙන ඒ දෙන්නා හැමදාම කතා කළේ මේ ලෝකේ කාටවත් තේරුම් ගන්න බැරි ඒ දෙන්නගේ අනන්ත ආදරය ගැන....
අහන්න.... ඉතින් මට මගේ ආදරණීය ඉන්දීය ලේඛකයා මතක් වුණා... චේතන් භගත්... ඔයා කියවලා තියෙනවද චේතන්ගේ 2states කියන පොත... මට ක්‍රිෂ් සහ අනන්‍යා මුණගැසුණේ 2states වලදී... ඒ දෙන්නා ආදරය විඳින්න යනවා මරිනබේ මුහුදු තීරයට... මරිනබේ චෙන්නායිවල පිහිටි හරිම පළල් සුන්දර මුහුදු තීරයක්... දකුණු ආසියාවේ විශාලම මුහුදු තීරය තමයි ඒ... මම ඔයත් එක්ක කීවේ අනන්‍යාගේවත් ක්‍රිෂ්ගේවත් කතාව නෙවෙයි... ඒ මුහුදු තීරය, ක්‍රිෂ් සහ අනන්‍යා ගැන හිතද්දී අනන්‍යාගේ නිහඬ ආත්මය එයාට ඇත්තටම ආදරය කරන, එයාව කියවන, එයාගේ හදවත පිරිමැද්ද, මහා වනස්පතියක් වගේ එයාට දැනෙන කෙනෙක් එක්ක එයා හොයන්න ඇති කියලා මම හිතපු ජීවිතේ ගැන.. එයා ගෙවන්න බලාගෙන ඉන්න ඇති කියලා හිතපු ආදරණීය සොඳුරු රැයක් ගැන. ඔයත් එක්ක ඒ කතා කළේ අනන්‍යා...
අහන්න.... අනන්‍යාට තව කතා කරන්න ඕනෙලු...
මම ආසයි එයාගේ උණුසුම් උරතලයේ මගේ කම්මුල් ස්පර්ශ වෙන විදිහට ඔළුව තියාගෙන එයා හුඟක් ගැඹුරින් ජීවිතය ගැන ආදරය ගැන එයා ගැන කියන හැම වචනයක්ම අහගෙන ඉන්න. එයා එයාගේ මුළු ජීවිතයම ඉස්පිල්ලක්, පාපිල්ලක්, තිතත්, කොමාවක් නෑර මාත් එක්ක කියද්දී මගේ ඇස් කඳුළුවලින් දිලිසුණා. එයාගේ ඇස් දිහා නොබලා මම පපුව අස්සේ මූණ හංඟාගත්තේ ඒ කඳුළු එයාට නොපෙනෙන්න. එයාගේ දුක සතුට හැමදෙයක්ම මගේම කරගෙන එයත් එක්ක ජීවිතේ බෙදා හදා ගන්න මට ඕනෑ. එයා ළඟ මට දැනෙන සුන්දරත්වය, මනුස්සකම, විශ්වාසය, සීමාවක් නැති ආදරය නිය තුඩකින් පවා විඳගන්න මට ඕනෑ. එයාගේ පුංචි ඇඟිල්ල අල්ලාගෙන ඇඟිල්ලේ මුදුනත සියුම්ව පිරිමදින්න මම ආසයි අපි රළ ගසන රැල්ල දිහා වෙරළ අයිනටම වෙලා හුඟක් වෙලා බලාගෙන හිටියා.. මගේ උරහිස ඒ ශක්තිමත් අතින් තුරුල් කරගෙන මගේ හිස ඒ උණුසුම් පපු යහනට තුරුල් කරගෙන ජීවිතේ මට කවුරැත් කියා නොදුන්න දිව්‍යමය ප්‍රේමය අකුරක් අකුරක් ගානේ හුස්මක් හුස්මක් ගානේ කියලා දුන්නේ එයා... ඒ ආදරයට මගෙන් උපමාවක් ඉල්ලන්න එපා... ඒක අසමානයි... එයා කොයි වගේද අහන්න එපා... එයා එයා වගේම විතරයි... ඒ වගේ හදවතක් මේ ලෝකේ තව තැනක නෑ... මට හිතෙන්නෙම එහෙම.
රන්වන් පාට රටකජු අපේ පුංචි කෑම මේසය වට කරගත්ත අනිත් හැමදේටම වඩා රිදී පාට ඉහිරුණු වයින් එක්ක ගැලපුණා. වයින් වීදුරුවකට හිත් තවත් රොමෑන්ටික් විදිහට ආදරණීය කරන්න පුළුවන්... රන්වන් රටකජු සහ රිදී වයින් අතරෙත් ගලාගෙන ගියේ සෙනෙහස... එයාගේ අතින් අත්නොහැරුණු මගේ අත ඒ උණුසුම හැමදාමත් ඉල්ලයි.
අනන්‍යා තවත් වචනයක්වත් කතා කරන්න එපා...
ඇයි?
එකම එක ඇත්තක් මට ඔයාට කියන්න ඉඩ දෙන්න....
අනන්‍යා... එයාගේ ලොකු ඇස්වලින් මාත් එක්ක කතා කරනවා. ඒත් ඒ ඇස්වලට වඩා මගේ වචන ඉක්මන්.
අතනෑර ඒ අත අල්ලගන්න ඔයාට කවදාවත් දවසක් එන්නේ නෑ.... අනන්‍යා...
ඔව් ඇත්ත. ඒත් එයා ආදරයෙන් භක්තියෙන් මගේ අත සිපගනිද්දී මට දැනෙන ආදරයේ සුවඳ සදාතනිකයි. අත අතහැරිලම ගියත් ඒ සුවඳ හැමදාමත් මාව ජීවත් කරයි.