2018 ජුනි 09 වන සෙනසුරාදා

ආනන්දෙන් ග්‍රීස් යකා......

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 247

ග්‍රීස් යකා, මෙරට ග්‍රාමීය සමාජය තුළ මහත් කලබලයක් ආන්දෝලනයක් භීතිකාවක් ඇතිකළ සිද්ධියක් විය. එම භීතිකාවට මෙරට සමාජය මුහුණදුන් ආකාරය විවිධ පැතිකඩ ඔස්සේ නිර්මාණ කරළියට ගෙන ඒමට ආනන්ද ඩ්‍රාමා කණ්ඩායම සමත් වූයේ 2014 වසරේදීය. ඒ Grease යකා නමින් වේදිකා නාට්‍යයක් නිර්මාණය කරමිනි. ඔවුහු නාට්‍ය නිර්මාණයේ අනුප්‍රාප්තිය සනිටුහන් කිරීමට මේ වනවිට සුදානම් වෙමින් සිටිති. ඒ Grease යකා returns (ග්‍රීස් යකා ආපසු එයි) නමිනි. ආනන්ද ඩ්‍රාමාහි අධ්‍යක්ෂවරයකු වන නිශාන්ත ද සිල්වා ඒ ගැන කතාබහකට අප හා එක් විය. 

“අපි Grease යකා කියන වේදිකා නාට්‍ය නිර්මාණය කළේ සිංහල සහ ඉංග්‍රීසි කියන භාෂා දෙකම යොදාගනිමිනුයි. ඒ කාලේ හැටියට ඒක අපේ රටට නැවුම් අත්දැකීමක් වුණා. විශේෂයෙන්ම භාෂා දෙක ගැනම අවබෝධයක් තිබෙන ප්‍රේක්ෂකයන් Grease යකා ආදරයෙන් පිළිගත්තා”. 

2014 දී එළිදැක්වුණු නිර්මාණයේදී ග්‍රීස් යකා යන සංකල්පය විවිධ සමාජ පැතිකඩයන් හරහා පෙන්නුම් කිරීමට ආනන්ද ඩ්‍රාමා සංවිධානයට හැකි විය. එමෙන්ම සමාජයේ අප එදිනෙදා දකින දුර්වලකම් වේදිකාව මතට ගෙන ඒමට ද එම නිර්මාණය සමත් විය. ලබන අගෝස්තුවේදී නව නිර්මාණය දිගහැරෙන්නේ එහිම දිගුවක් ලෙසිනි. 

“Grease යකා නිර්මාණයට බොහොම හොඳ ප්‍රතිචාර තිබුණා. ලයනල් වෙන්ඩ්ට් ශාලාවේ දින දෙකක් පුරා පැවති නාට්‍ය සඳහා මුල් දිනයේ සියයට 80ක ප්‍රේක්ෂක සහභාගීත්වයකුත් දෙවැනි දිනයේ සියයට 100ක ප්‍රේක්ෂක සහභාගීත්වයකුත් ලැබුණා. තවත් මේ වාගේ නිර්මාණ කරන ලෙසටත් ප්‍රේක්ෂකයන් අපෙන් ඉල්ලා සිටියා”. 

එම ඉල්ලීම අනුව යමින් මේ දක්වා විවිධ නිර්මාණ කිහිපයක්ම සිදුකිරීමට ආනන්ද ඩ්‍රාමා සංවිධානයට හැකිවී තිබේ. PICKET REPUBLIC, THE TEMPEST, AFFAIR AT WARD PLACE HOTEL, DRACULA!, KENSUKE’S KINGDOM සහ ALLES IN WONDERLAND-11 යන නිර්මාණ ඒ අතර වේ.
“මම 2006 වසරේ ඉඳන් ආනන්ද විද්‍යාලයීය ඉංග්‍රීසි නාට්‍ය සංගමයේ සාමාජිකයෙක්. අපි 2013 දී පමණ ආනන්ද ඩ්‍රාමා ආයතනය ගොඩනැඟුවේ පාසල් කාලයේ වේදිකා නාට්‍යවල රඟපෑ අපි කිහිපදෙනකුට පාසල් කාලයෙන් පසුවත් කලාවේ යෙදීමට ඇති ආශාව නිසායි”

ග්‍රීස් යකා නාට්‍ය නිර්මාණය පිටුපස සිටින්නේ ද එහි රංගනයට දායකවන පිරිස වීම විශේෂත්වයකි. එනම් ග්‍රීස් යකා පිටපත නිර්මාණය කරන්නේ ද රංගන කණ්ඩායම විසින්මය. ඔවුන් තම ඇසූ දුටු දේ ඇසුරෙන් පිටපත රචනා කිරීමට දායකත්වය දැක්වූහ. නාට්‍ය අධ්‍යක්ෂණය ප්‍රවීණ නාට්‍ය අධ්‍යක්ෂිකා රුවන්ති ඩි චිකේරාගෙනි. 
Grease යකා returns නාට්‍ය තවමත් ඇත්තේ නිෂ්පාදන අදියරේය. පළමු නාට්‍යයෙන් මතුකෙරුණු අදහස්වලට එහා ගොස් අලුත් යමක් ප්‍රේක්ෂකයන්ට ලබාදීමේ අරමුණින් එහි කටයුතු සිදුවන බව නිශාන්ත අප හා පැවසීය. 
“අපි තාම පිටපත ලියාගෙන යන ගමන් ඉන්නෙ. නමුත් ග්‍රීස් යකා හරහා ‘සමාජ භීතිකාව’ කියන සංකල්පය ඉස්මතු කරමින් අලුත් යමක් කිරීම තමයි අපේ අරමුණ. ගොඩක් දුරට ලබන අගෝස්තු මාසයේදී මේ නිර්මාණය දකින්න ලැබේවි”. 

 

Text —Rajitha