චේතන් භගත්... මගේ ආදරණීය ඉන්දීය ලේඛකයා... ඔයත් එයාගේ රස අකුරු ගංඟාවන්ගේ ඕන තරම් පීනලා කිමිදිලා විඳලා ඇති... චේතන් අසිරිමත් මිනිස්සු... හරි සුන්දර මිනිස්සු... මේ මොන ආදරණීය පිස්සෙක්ද කියලා හිතෙන මිනිස්සු අපි ළඟට එක්ක එනවා... ඒ සොඳුරු මිනිසුන් ගැන චේතන් කියලා දෙන හැටි... ආදරණීය මිත්‍රයන් වගේම ආදරණීය සහෝදරයනුත් මට චේතන්ගේ පොත් අස්සෙදී හමුවෙලා තියෙනවා... ආදරය ගැන නෙවෙයි අද අපි කතා කරමුද ජීවිතය තරම්ම දැනෙන හරිම ආදරණීය විශ්වාසවන්ත සහෝදරකම් ගැන... ඔයාට ඉන්නවද ඔයාගෙම සහෝදරයෙක් සහෝදරියක්... ඔයාගෙම නෑදෑයෙක්... ඔයාව තනි නොකරපු ඔයාව පැත්තකට වීසිකරලා නොදාපු ඔයාව එයාලගේ ජීවිතවලින් පිටමං නොකරපු ඔයාව අතරමං නොකරපු අම්මෙක් තාත්තෙක්... එහෙම කාත් කවුරුත් නැති අයත් මේ ලෝකේ ඉන්නවා... එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි ඕන තරම්... ඒත් ඒ අයත් ඔයා වගේම මේ ලෝකයෙන් ආදරය ඉල්ලනවා... ආදරය හොයනවා... ආදරය දැක්ක තැන නවතින්න හදනවා... ඒ ආදරේ මගේමයි කියලා පපුව අස්සටම දැනුණාම ඒ ආදරේ මගේම කරගෙන සංසාර අයිතියටම ලියාගෙන පොරෝණයක් අස්සේ සීතලට උණුහුමක් හොයාගෙන ගුලි ගැහෙනවා වගේ ගුලි ගැහෙන්න හදනවා... කාත් කවුරුත් නැති අය එයාලගේ ලෝකේ පුරවාගන්නේ මේ ලෝකයෙන් අහුලගන්න පිටස්තර බැඳීම්වලින්... එයාලට ලේවලින් එන තමන්ගේම අය නැතිවුණාට ලේවලටම දැනෙන තමන්ගේම බැඳීම් බවට ඒ පිටස්තර බැඳීම් පත්වෙනවා...
එක කුස උපන් සහෝදර ස්නේහයක් හදවතින් විඳලා නැති හදවතකට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සහෝදරකමක සුසුවඳ දෙන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ කොහේදී හරි හමුවෙනවානම්... ඔයා සංසාරේ මගේම සහෝදරයෙක් වෙලා ඉන්න ඇති කියලා හිතන්න පුළුවන් සහෝදරකමක් ඔයාටත් ලෝකේ කොහේදී හරි මුණගැහුණොත්... ආදරය විඳින මිනිස්සුන්ට වඩා ආදරය පිටාරගලන්න තරම් ජීවිතවලට ලැබෙන මිනිස්සුන්ට වඩා මට හිතෙනවා ආදරයේ උත්තරීතර වටිනාකම දැනෙන්නේ ආදරය නොවිඳින මිනිස්සුන්ට... කලාතුරකින් ආදරය ලබන කාත් කවුරුත් නැතුව මේ ලෝකේ තනිවුණු මිනිස්සුන්ට... චේතන් මට එහෙම සහෝදරයන්ව මුණගස්සවලා තියෙනවා.
හරිම සුන්දර හරිම විශ්වසනීය හරිම ළතෙත් විදිහට ජීවිතයේ ඕනෑම දෙයක් ඕනෑම හැඟීමක් වචන බවට පෙරලුවොත් හරිම ආදරෙන් සංවේදීව ඒ හැඟීම් ඉස්පිල්ලක් පාපිල්ලක් ගාණේ තේරැම්ගන්න... ජීවිතයේ දැනෙන හිස්තැන් ස්නේහයෙන් පිරිමදින... ඕනෑම මොහොතක ජීවිතයේ ගිම් නිවන්න උරහිස දෙන ඔයාගෙම ලේ බැඳීමෙන් බැඳුණු ඔයාගේ ඇස් දෙකට එබීගෙන ඔයාව අහගෙන ඉන්න සහෝදරයෙක් ඔයාටත් ඉන්නවද? එහෙම ඉන්නවනම් මම කියන මේ හැම හැඟීමකම සුන්දරත්වය ඔයාට දැනෙයි... එහෙව් සහෝදරකමක් මට හිතෙන්නේ මහා වැවක වැව් බැම්මක් වගේ... ඔයාගේ ආදරය ඒ වැවේ මහා ජලකඳ වගේ... සීතලයි... ඒත් උණුසුම හංගගෙන ඉන්නෙත් ඒ සීතල ඇතුළෙමයි... ඒ මහා ජලකඳ දක්වන ඕනෑම වෙනස්වීමක් ඇතිකරන පීඩනයක්... දියරැලි නංවමින් දනවන සොඳුරුතාවයක් මේ ඕනෑම දෙයක් ඒ මහා වැව් බැම්ම හැමදාමත් ඉවසිල්ලෙන් ආදරයෙන් දරාගෙන ඉන්නවා... වෙලාවකට ඒ වැව් බැම්ම මහා ශක්තිමත් උරහිසක් වගේ... විඩාපත් ජලකඳ ඒ උරහිස මත හොවාගන්නවා... තවත් වෙලාවකට ඒ මහා ජලකඳ ආදරණීය පපුවක් වගේ... ජලකඳ කියන ඕනෑම දෙයක් අහගෙන ඉන්නවා... ඕන දුරක ගිහින් ඇවිත් පපුවට තුරුල් වෙද්දී තුරැල් කරගන්නවා...
මට මගේ නොවන ආදරයක් විතරක් නෙවෙයි මට මගේ නොවන සහෝදරකමුත් ඔයාට ඔයාගේ ජීවිතයේ හමුවෙලා ඇති... මට මගේ නොවන කියන යෙදුම වෙනුවට මට මගේම කියන යෙදුම යොදාගන්න ඉඩක් තිබුණානම් කියලත් ඔයාට අනන්ත වාරයක් හිතිලා ඇති... ඒත් මගේම නොවුණත් මගේම විදිහට දැනෙනවානම්... නමක් නැතිවුණත් අයිතියක් නැතිවුණත් ඒ බැඳීම හදවතට ලේවලට ජීවිතයට දැනෙනවානම්...
වලාකුළු පාවෙන්නේ අහසට හුඟක් පහළින්... ඒත් ඒ වලාකුළු කවදාවත් සංසාරෙකදීවත් අහස අත්හැරලා යන්නේ නෑ.
කොයි තරම් අහසට දුර වුණත් ඒ වලාකුළු හැමදාමත් අනන්ත අහසට ආදරෙයි