2018 ජුනි 16 වන සෙනසුරාදා

Dhadak දෙන්නා දෙපැත්තේ තාත්තා මැද්දේ

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 248

මාදුකර් අඩු කුලේකට උරුමකම් කියන දුප්පත් කොල්ලෙක්. ඔහුගේ පවුලේ උදවිය ජීවත් වෙන්නේ ගොවිතැනින්. පාර්තවී කියන්නේ ධනවත්, ඉඩ කඩම් අයිති කෙනෙක්ගේ දුවෙක්. මාදුකර්ට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඔහු ප‍්‍රාදේශීය ක‍්‍රිකට් කණ්ඩායමක නායකයත් වෙනවා. පාර්තවී සහ මාදුකර් දෙන්නම එකම කොලේජ් එකේ ඉගෙන ගන්නා අතරේ දෙන්නට දෙන්නා ආදරය කරන්න පටන් ගන්නවා. එක දවසක පාරත්වීගේ මල්ලිගේ උපන්දිනය හින්දා සාදයක් තියෙනවා. එදා පාර්තවීගේ තාත්තාට මේ දෙන්නාගේ ආදර පලහිලව්ව අතටම අහුවෙලා මාදුකර් සහ ඔහුගේ මිතුරන් තමන්ගේ දුව දූෂණය කරන්න හැදුවා කියලා තමන්ගේ ධනය සහ බලය පාවිච්චි කරලා පොලීසිය මගින් මාදුකර් සහ ඔහුගේ මිතුරන්ට එරෙහිව කටයුතු කරන්න හදනවා. පාර්තවී ඔහු මාදුකර් සහ ඔහුගේ මිතුරන් බේරගෙන පර්තවී මාදුකර් එක්ක කෝච්චියක නැගලා හයිද්‍රාබාද්වලට යනවා. එතනින් පස්සේ මොකක්ද වෙන්නේ? කතාවේ ඉතුරු ටිකත් කියන්න පුළුවන්. ඒත් ඔබ කියෙව්ව ඒ කතාව බලන්න ඔබට තව ටික දවසක් බලන් ඉන්න වෙනවා. මොකද ධඩක් හින්දී සිනමාපටය තිරගත වෙන්නේ 2018 ජූලි මාසයේ 20 වැනිදා හින්දා.

ධඩක් හින්දි සිනමාපටයේ පාර්තවීගේ චරිතයට පණ පොවන සුන්දර තරුණිය ගැන මුලින්ම කියලා ඉන්නම්කෝ. ඇය හින්දී සිනමාපටයකනම් දකින්නේ මුල්වරට. මේ සුන්දර කෙල්ල ඉපදිලා තියෙන්නේ 1997 මාර්තු 07 වැනිදා ඉන්දියාවේ මාහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ බොලිවුඩයේ සුපිරි තරු ජීවත් වෙන මුම්බායී නගරයේදී. ඇය ජීවත් වෙන්නෙත් මේ නගරයේම තමයි. මීන ලග්නයට උරුමකම් කියන මේ කෙල්ලගේ ප්‍රේමවන්තයාගේ නම ශිඛර් පැහැරියා. තමන් කැමතිම නළුවා ශාරුක් ඛාන් කියන මේ සුන්දර තරුණිය කැමතිම නිළියනම් වෙන්නේ දැනට ජීවිතයෙන් සමුගත්තත් අපි කාගෙත් හිත්වල ජීවත් වෙන ශ්‍රී දේවී කපූර්. සුදු සහ නිල් පැහැයට වැඩි රුචිකත්වයක් දක්වන මේ තරැණිය රට රටවල ඇවිදීමට සහ සංගීතයට සවන් දෙන්න තමයි වැඩි මනාපයක් දක්වන්නේ. කළු පැහැති කෙස් කළඹකට සහ ළා දුඹුරු ඇස් දෙකකට උරැමකම් කියන මේ කෙල්ල සිනමා ලෝකයට සම්බන්ධ පවුලක කෙනෙක්. ඒ ජනප‍්‍රිය සිනමාපට නිෂ්පාදකයෙක් වන බොනී කපූර්ගේ සහ ජීවිතයෙන් සමුගත් ජනප‍්‍රිය නිළි ශ්‍රී දේවියගේ දුව ජාන්වී කපූර් තමයි ධඩක් හින්දි සිනමාපටයේ පාර්තවීගේ චරිතයට පණ පොවන්නේ.

පාර්තවී ගැන කිව්වට පස්සේ ඔබට කියන්න හදන්නේ මේ සිනමාපටයෙහි මාදුකර්ගේ චරිතයට පණ පොවන කොල්ලා ගැනයි. 1995 නොවැම්බර් 01 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ මුම්බයි නගරයේදී ඉපදුණු මේ නළුවා සිනමාවට සම්බන්ධ වෙන්නේ 2017 වසරේදී. 2005 දී ළමා ශිල්පියෙක් ලෙසින් වාහ් ලයිෆ් තෝ ඒසී සිනමාපටයේ ඉෂාන්ගේ චරිතයටත් 2016 දී උඩ්තා පන්ජාබ් සිනමාපටයෙත් 2017 දී බියොන්ඩ් ද ක්ලවුඩ්ස් සිනමාපටයේ අමීර් ලෙසිනුත් ඔහු චරිත කිහිපයකට පණ පොවලා තියෙනවා. මොහු බොලිවුඩ් සිනමා නිළියක් වූ නීලිමා අසීම්ගේ සහ රාජේශ් ඛට්ටර්ගේ පුත‍්‍රයා.  තව විදියකින් කියනවානම් නීලිමා කලින් කසාද බැඳලා හිටිය පන්කජ් කපූර්ගේ පුත‍්‍රයා ශහීද් කපූර්ගේ සොහොයුරා. මොහු නමින් ඉෂාන් ඛට්ටර්. ඉෂාන් තමයි ධඩක් හින්දී සිනමාපටයේ මාදුකර්ගේ චරිතයට පණ පොවන්නේ. 

පාර්තවීගේ සහෝදරයා ගැනයි දැන් කියන්න හදන්නේ. ඒ චරිතයට පණ පොවලා තියෙන්නේ ආදිත්‍ය කුමාර් වන අතර ඔහු ආදිත්‍ය කියන නමින්මයි පෙනී ඉන්නේ. මාදුකර්ගේ මවගේ චරිතයට පණ පොවා තියෙන්නේ අයිශ්වර්යා නර්කර් වන අතර පාර්තවීගේ පියාගේ චරිතයටනම් පණ පොවලා තියෙන්නේ හින්දි සිනමාවේ අති දක්ෂ දුෂ්ට චරිත නිරූපණය කරන නළුවෙක්. ඔහුව ඔබ දන්නවත් ඇති. එක්වරම ඔහු නිරූපණය කරන ලද චරිතයක් නිසා හින්දි සිනමාපට පෙන්වන සිනමාශලාවල තිරයට පවා ප්‍රේක්ෂකයන් හානි කළා. මෙන්න මේ සිනමාපටවල තමයි ඔහු විවිධ චරිතයන්ට පණ දුන්නේ.

2017 - Aa Gaya Hero, 2017 - Jeena Isi Ka Naam Hai, 2016 – Shorgul, 2015 - Black Home, 2015- Dirty Politics, 2014 - Humpty Sharma Ki Dulhania, 2014 - Desi Kattey, 2013 - Zila Ghaziabad, 2012Ata Pata Laapata, 2012 - Kismet Love Paisa Dilli, 2011- Hamilton Palace, 2011 – Sargana, 2011 - A Strange Love Story, 2011 – Monica, 2008 – Victory, 2007 – Dhokha, 2007 – Awarapan, 2005 – Kalyug, 2004 - Pardesi Re, 2003 - Dil Pardesi Ho Gayaa, 2003 - Sandhya Dr. Singhania, 2002 - Karz: The Burden of Truth Rajpal Thakur, 2002 – Danger, 2001 – Kasoor, 2001 - Guru Mahaaguru, 2000 – Badal, 1999 – Jaanwar, 1999 – Sangharsh, 1998 - Ghulam, 1998 - Dushman

දැනටමත් ඔබ මේ කියන්න යන කෙන කවුද කියලා දන්නවත් ඇති. 1967 නොවැම්බර 10 වැනිදා ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශ්හි ගඩර්වර කියන ප‍්‍රදේශයේදී තමයි ඔහු ඉපදුණේ. සිනමා නළුවෙක් සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදිහට ඔහු කටයුතු කරනවා. රේණුකා නීඛරා ඔහුගේ බිරිඳ වන අතර ශෞර්යමන් නීඛරා සහ සත් යේන්ද්‍ර රානා නීඛරා තමයි ඔහුගේ දරුවන් දෙන්නගේ නම්. ඔව් ඔහු නමින් අෂුතෝෂ් රානා නීඛරා. ඔහු තමයි මේ ධඩක් සිනමාපටයේ පාර්තවීගේ පියාගේ චරිතයට පණ පොවන්නේ.

ධඩක් හින්දි සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ශෂන්ක් කයිතන්. මේ සුන්දර සිනමාපටයේ සුන්දරත්වය වැඩි කරන්න අත දිග ඇරලා මුදල් වියදම් කරලා තියෙන්නේ එහෙම නැත්නම් නිෂ්පාදනය කරලා තියෙන්නේ කරන් ජෝහාර්, හීරූ යාශ් ජෝහාර් සහ අපූර්ව මෙහ්තා. ධර්මා ප‍්‍රඩක්ශන් එකක් විදිහට කල එළි බහින මේ සිනමාපටයේ තිර පිටපත ලියා තියෙන්නේ ශෂන්ත් ඛයිතන්. ඒත් මේ සිනමාපටයේ කතාවට හිමිකම් කියන්නේ නාගරාජ් මන්ජුකේ. ඒ ඔහුගේ තෙලිඟු සිනමාපටය වන සයිරත් කියන සිනමාපටයේ කතාව හින්දා. ධඩක් හින්දි සිනමාපටය සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ අජය සහ අතුල්. ඒ වගේම මේ සිනමාපටයේ සියලුම ගී පද ලියලා තියෙන්නේ අමිතාබ් භටාචාර්යා. ධඩක් හින්දි සිනමාපටය බලන්න 2018 ජූලි මාසේ 20 ඉඳන් ඔන්න ඔබටත් හැකියාව තියෙනවා

Translation — Chandana Waravitage

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00