වැහි පොදක් වැටෙන තුරු අහස දෙස බලාසිටින දහසක් අය අතරේ මඩ කඩිතිවලින් සූරා ගන්නා ජල පොද පවුලේ අවශ්‍යතාව වෙනුවෙන් රැස් කරන අහිංසක මිනිසුන් දකින හිත් කම්පාවට පත් කරනවා. ජීවත් වීම කියන අරගලය ඇතුළත බීමට දිය පොදක් සොයා සැතපුම් දහස් ගණන් පය වෙහෙසන්නට සිදුවීම තවත් විදිහක ඛේදවාචකයක්. ශුෂ්ක මහපොළොව මත කටු ඉපල් වී යන ආහාර සහ ආදායම් බවට පත්කරගැනීමට සරිකළ භෝග වගාවන්. මේ සියල්ල අතරේ සොබාදහමට මේ අවනඩුව කියමින් අහසට දෑත් දිගු කළත් ඊට ප්‍රතිචාර ලෙස සොබා දහමටත් මිනිසුන්ට කියන්න කතාවක් තියනවා.
අද බොහෝ රටවල ජනතාවට පිරිසිදු පානීය ජලය සපයා ගැනීම ගැටලුවක්. තැනක නියගය පවතිද්දී තවත් තැනක මහ වැසි සහ ගංවතුර. නිසි කලට අපේක්ෂා කළ තරම් වැසි නොලැබීම මෙවර නියගයට හේතුවූ බව ලක් පොළොවේ කාලගුණ විද්‍යා අංශ කියා තිබුණා. නිසි කලට නිසි පමණට සිදුනොවන දේශගුණික තත්ත්වයන් වගේම අසමානතා ගැන විශ්වයේ විවිධ පැතිවලින් දැන් අසන්නට ලැබෙනවා. කිවි පොළොවේ පහුගිය සීත සමය ගැන කියවුණේ වෙනදා තරම් සීත නැති බවයි. ඒ දිනවල පැවතුණේ වෙනදාට වසන්ත සමයට සමාන කාලගුණික තත්ත්වයක්. ඒ නිසාම පහුගිය සීත කාලය මාධ්‍ය මගින් හැඳින්වූයේ “Spingter” (Spring+ Winter) කියලයි. මේ දිනවල පවතින ගිම්හාන සමයත් වෙනදා තරම් රස්නයක් නැහැ. වෙනදා කිවි පොළොවේ එළිමහනේ ගිම්හාන හිරු රැස් දහර වින්දනය කරන කිවීන් මේ වසරේ කාලගුණික තත්ත්වයේ වෙනස්කම නිසා රටින් පිට උණුසුම් තැන්වල සංචාරයට ලොකු උනන්දුවක් ඇති බව කිවි සංචාරක ඒජන්සිවල දත්ත අනුව මාධ්‍ය පෙන්වා දී තිබුණා.
මිනිසුන්ගේ ඇඟට දැනෙන මේ වෙනස්කම් අතරේ සොබා දහම තුළ මොන මොනවාදෝ රහසේම සිදුවන බව නම් පැහැදිලියි. ඒ රහස එළිකර ගැනීමට විද්‍යාව මුල් කරගනිමින් විවිධ පර්යේෂණ සිදු කෙරුණත් මිනිස් මොළයේ සීමාව ඉක්මවා යන වපසරියක් සොබාදහම සතු නිසා ඒ දේවල් මිනිස් නිමවුම් රෝබෝ යන්ත්‍ර වලටත් හසුනොවන තරම්. ඒ වගේම මිනිසුන් නිමැවූ තාක්ෂණය සොබාදහමට සිදුකරන බලපෑමේ තරමටම පෙරළා ලැබෙන ප්‍රතිචාරයක් විදිහටත් මේ දේශගුණික වෙනස්කම් දකින්නට පුළුවන්.
කොහොම හරි වසරින් වසර පෘථීවියේ උෂ්ණත්වය සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතිනවා. වසර සියයකට මෙහා නවසීලන්තයේ වැඩිම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ පසුගිය වසරේදීයි. National Institute of Water and Atmospheric Research (NIWA) නවසීලන්තයේ ජලය සහ වායුගෝලීය තත්ත්වයන් පිළිබද පර්යේෂණ සිදුකරන ජාතික ආයතනය පසුගියදා නිකුත් කළ දත්ත අනුව 1909 වසරට පසු වාර්තා වූ වැඩිම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ පසුගිය 2016 වසරේදීයි. මේ තත්ත්වය කිවි පොළොවට පමණක් සීමා වන්නේ නැහැ. ගෝලීය වශයෙන්ද පසුගිය වසර උෂ්ණත්වය අධිකම වසරක් ලෙස හඳුනාගෙන තිබෙනවා. පෘථීවියේ මතුපිට උෂ්ණත්වය සහ ආක්ටික් මුහුදේ අයිස් තත්ත්වය පිළිබඳව නාසා ආයතනය මඟින් සිදුකළ පර්යේෂණ වලින්ද තහවුරු වී ඇත්තේ ගෝලීය උෂ්ණත්වය පිළිබද මෙතෙක් පැවති වාර්තා රැසක්ම බිඳ දැමීමට පසුගිය වසර සමත්ව ඇති බවයි. පෘථිවි තල නිරීක්ෂණ සහ සැටලයිට් දත්ත අනුව මේ බව තහවුරු කර දෙන එම ආයතනය පෙන්වා දෙන්නේ පසුගිය වසරේ මුල් මාස හය මෑත ඉතිහාසයේ වාර්තා වූ උෂ්ණත්වය අධිකම කාල පරිච්ඡේදය බවයි. එම වාර්තාව අභිබවා ගොස් ඇත්තේ 1880 වසරේදී වාර්තා වූ වැඩිම උෂ්ණත්ව අගයයි.
කොහොම නමුත් මේ තත්ත්වය පාලනය කරන්නට ගෝලීය වශයෙන් යම් ගිවිසුම්ගතවීම් වගේම ක්‍රියාමාර්ග ගැනීම් දක්නට ලැබෙනවා. එහෙත් මේ තත්ත්වයට පිළියම් යෙදීම එතරම් පහසු නොවන බවත් පෙනී යනවා. ඉන්ධන දහනය වගේම විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා වායුගෝලය උණුසුම් කෙරෙනවා. ඊට සාපේක්ෂව සිදුකෙරෙන වනාන්තර හානියත් විශාලයි. සොබාදහමේම නිර්මාණයක් වුණත් මිනිසා ඒ සමඟ ගනුදෙනු කිරීමේදී සොබාදහමට කරන රිදවීම් උහුලාගෙන සිටින්නා සේ පෙනුනද කාලයත් සමඟ එහි ඵළ විපාක අත්විදින්නට සිදුවෙලා. මේ නිසා ලෝකයට අද ආපදා කළමනාකරණය වැනි විෂයයන් හඳුන්වා දෙමින් ස්වභාවික ආපදාවන්ගෙන් මිනිසුන් මුදාගැනීම ගැන වැඩි අවධානයක් මෙන්ම ධනයත් වැය කරන්නට සිදුවෙලා තිබෙනවා. ඊට අමතරව සීඝ්‍ර ලෙස අයිස්කඳු දියවීම නිසා ඇලෙස්කාව වැනි ප්‍රදේශයන්හි ජන ජීවිතයේ අභියෝග රැසක් නිර්මාණය වෙලා අවසන්. ස්වභාවික ආපදා සහ වෙනස්වීම් අතරේ ලෝකයේ බොහෝ ජන කණ්ඩායම්හි සංස්කෘතිකමය වෙනස්කම් සිදුවීම වළක්වාලිය නොහැක්කේ මිනිසා සොබාදහමෙන් යැපෙන ඒ හා බැඳී සිටින ජීවියෙකු නිසයි.
නියගය වැනි ආපදාවන්ට මුහුණ දී සිටින සහෝදර ජනතාවට පිහිට වන අතරේ සොබා දහම වෙනුවෙනුත් යම් යුතුකමක් ඉටු කරන්නට සිතනවානම් එය මිනිස් පරපුරේ හෙට දවස වෙනුවෙන් කරන ආයෝජනයක්. එක් ගසක් හෝ අලුතින් සිටුවීම වගේම එක් විදුලි පහනක් හෝ නිවා දැමීම කාටත් ඒ වෙනුවෙන් කළ හැකියි. කාර්මික රටක් නොවන කිවි දේශය රටපුරා සදාහරිත පැහැය රැකගන්නටත් එහි ජීවීන්ට හොඳ පැවැත්මක් ලබා දෙන්නටත් දරන වෙහෙස ගැන අප මීට පෙර බොහෝ වර කතා කර තිබෙනවා. හැබැයි ලෝකය කියන්නේ තනි රටක් නොවෙයි. ලෝකයේ පැවැත්ම වෙනුවෙන් හැම බිම් අඟලකම ජීවත්වන හැම මිනිස් හිතකම දැඩි අධිෂ්ඨානය අවැසියි.......
Text - Nilmini Weewalathanna