මෑත කාලයේදී සිංහල සිනමාවේ රජ්ජුරුවෝ කවුද කියලා බැලුවොත් අපිට එකපාරටම මතක් වෙන්නේ ඔහුයි. පුංචි තිරයේදී නම් ටිකක් සෙල්ලක්කාර දඩබ්බර චරිත රඟපෑවත් සිනමාවේදීනම් ඔහු රජ්ජුරුවෝ වුණා. කවුද මේ... ඒ උද්දික ප්‍රේමරත්නයි. ඔය කොයි රජකම රඟපෑවත් අපිටනම් උද්දික කියන්නේ හරිම හිත හොඳ සහෘදයෙක්...
ඉතින්... ඉතින්... උද්දික කොහොමද ජීවිතේ. මොකද වෙන්නේ?
(රජකම පැත්තකින් තියලා උද්දික අපිත් එක්ක හරිම නිදහසේ කතා කළේ) මේ දවස්වල මම රඟපාපු අලෝකෝ උදපාදි ෆිල්ම් එක තරගතවෙනවා. ඊට පස්සේ මම රඟපාපු එකගෙයි මිනිස්සු ටෙලිනාට්‍යය රූපවාහිනියේ විකාශය වෙනවා. ඒකෙ රූගත කිරීම්වලටත් සහභාගි වෙනවා. ඔය වගේ වැඩ තමයි.
සිනමාවේදී උද්දික වැඩිපුරම රඟපෑවේ රජ චරිත... එහෙම නේද?
ඔව්.. මෙහෙමයි අපේ පොඩි රැල්ලක් හැදෙනවනේ. හැබැයි මම රඟපාපු චිත්‍රපට අතිසාර්ථක වුණා. මිනිසුන් ඒක බැලුවා. මම මේ වෙද්දී ඓතිහාසික චිත්‍රපට තුනකට දායක වුණා.
ඔහොම එකදිගටම එකවගේ චරිත රඟපාද්දී කොටුවීමක් වෙනවා නේද?
හැබැයි ඒක මට ලැබෙන අවස්ථාවේ හැටියට වෙන දෙයක්. මට ලැබෙන අවස්ථාව මම ප්‍රතික්ෂේප කරනවා.. නැත්නම් මම ඒ අවස්ථාව බාර අරගෙන ඒකට උපරිමයෙන්ම මගේ සහයෝගය දෙනවද කියලා මම දෙපාරක් හිතලා බලනවා.
උද්දික මනඃකල්පිත චරිත රඟපානවට වඩා වංශ කතාවල සඳහන් වන චරිත රඟපාද්දී පරිස්සම් වෙන්න ඕනේ... ඒ චරිතයට හානියක් වෙන්න බැහැනේ. මේ දේ අභියෝගයක් නේද?
ඔව්. අනිවාර්යයෙන්ම. හැබැයි මම ඒ අභියෝගවලට කැමතියි. අපේ ප්‍රේක්ෂකයාගේ මනසේ අපේ ඉතිහාසය පිළිබඳ යම්කිසි දැනුමක් තියෙනවනේ. ඉතින් ඒක අපි බිඳින්න නරකයි. ඒ විශ්වාසය තවත් තහවුරු වන විදිහට තමයි අපි නිර්මාණ කළ යුතු වන්නේ.
මිනිස්සු දකින චරිතය ඇතුළේ මහ දුෂ්කර කාලයත් තියෙනවා නේද... තේරෙන බාසාවෙන් කියනවනම් මහ කට්ටක් කනවා නේද?
මම ආසයි ඒ වගේ වෙනස්වුණු චරිත කරන්න. අපි කරන නිර්මාණ ඇතුළේ ලොකු කට්ටක් කාලා ඒක සාර්ථක වෙද්දී අර කාපු කට්ට ගැන සැනසීමයි. මේ දවස්ල යන එකගෙයි මිනිස්සු නාට්‍යයේ ජගදේශ්ගේ චරිතයත් ඒ වගෙයි.
අද නළුවෙක් වුණාට ආවේ ගායකයෙක් විදිහටනේ. කෝ... ඒ ගායකයා?
ඇත්ත.. ඇත්ත.. මම කලාවට ආවේ සංගීත කණ්ඩායම් ශිල්පියෙක් විදිහටනේ. ඉතින් ඒක තමයි ජීවිතේ. කවුරු මොනවා කිව්වත් අපිට මේ ලෝකේ හැදිච්චි තැනක් තියෙනවා. ලැබෙන දේවල් තියෙනවා. නැතිවෙන දේවල් තියෙනවා. ඕවත් එක්ක තමයි අපේ ජිවිතේ තල්ලු වෙන්නේ. කණ්ඩායම් ගායකයෙක් වෙන්නත් කලින් මම මාර්කටිං පැත්තෙන් රස්සාවක් කරපු කෙනෙක්. ඉතින් මොනවා කරන්නද නේද..
ඒ කියන්නේ උද්දික දැන් ගායනය අමතක කරලා?
කණ්ඩායම් සංගීතයෙන් මම අයින් වුණා. ඒත් ගායකයා කියන චරිතය මගෙන් ඈත් වෙන්නෙ නෑ. මම ප්‍රසංගවලට සහභාගි වෙනවා.
උද්දික... පෞද්ගලික ජීවිතේ ගැන බිරිය ගැන.. දරුවෝ ගැන වැඩිය කතාකරන කෙනෙක් නෙවේ. ඇයි ඒ?
මට පුංචි පවුලක් ඉන්නවා. ඒ පුංචි පවුලේ ඇතුළේ මම, මගේ බිරිඳ මගේ දරු පැටියා ජීවත් වෙනවා. අපි බොහෝම සරලව සතුටින් ජීවත්වෙන පවුලක්. බොහෝ වේලාවට මම ඒ දෙන්නා වෙනුවෙන් කාලයත් ඉතිරි කරගන්න උත්සාහ කරනවා. තාත්තා ඕන වෙලාවට මගේ පුතා ළඟ එයාගේ තාත්තා ඉන්නවා. සැමියා ඕන වෙලාවට මගේ බිරිය ළඟ සැමියා හැමවෙලේම ඉන්නවා.
උද්දිකගේ බිරිය කලාවට සම්බන්ධ කෙනෙක් නෙමෙයි නේද?
මගේ බිරිය ගුරුවරියක්. සාමාන්‍ය ජීවිත ගතකරන අනිත් මිනිස්සුන්ට වඩා වෙනස් දේවල් අරුම පුදුම දේවල් මගේ පෞද්ගලික ජීවිතේ නෑ. ඒ අයට වගේම සතුට තියෙනවා. ඒ අයට වගේම ප්‍රශ්නත් තියෙනවා. අර්බුදත් තියෙනවා.
කාර්යබහුල ජිවිතයත් එක්ක ඒ දෙන්නට ඔයාගේ වෙලාව වෙන් කරද්දී මොනවද වැඩිපුරම කරන්නේ?
අපි තුන්දෙනා ඒ වගේ වෙලාවට ඇවිදින්න යනවා. අපි එළියෙ ඇවිදින්න කැමතියි. මම මේ ගහකොළට මේ මහපොළොවට මේ මුහුදට ආස කරන කෙනෙක්. ඉතින් පුතා තාම පොඩි නිසා එයා කැමති දේවල්වලට අපි දෙන්නත් එකතු වෙනවා. පුතාට නිදහස දීලයි තියෙන්ෙන්. මගේ තාත්තා නළුවෙක්වත්... ගායකයෙක්වත් නොවේ. ඉතින් මගේ පුතාටත් එයාගේ තාත්තා නළුවෙක්වත් ගායකයෙක්වත් නෙවේ.
උද්දික මේ තැනට එන්න දුක් වින්ඳද?
ඔව්... ගොඩක් දුක් වින්ඳා. ජීවිතේ යම් තැනකට එන්න ගොඩක් දුෂ්කරයි. දුක් කම්කටොලුවලට මුහුණ දෙන්න ඕනේ. ජයග්‍රහණයක ආපස්සට හැරිලා බලද්දී තියෙන්නේ දුක් කම්කටොලු තමයි. අද මට වාහනයක් තිබ්බට එදා මට මියුසික් කරද්දී බයික් එකක්වත් තිබ්බෙ නෑ.
ඒත් උද්දිකට අරමුණු බලාපොරොත්තු තිබුණා එහෙම නේද?
අපි නැතිදේවල් හොයාගෙන යන්න ඕනේ. එතකොටයි ජීවිතේ රසවත් වෙන්නේ. අරමුණු බලාපොරොත්තු මගේ ජීවිතේ තිබුණා. ඉස්සරහටත් තියෙනවා. ඒ අරමුණුවල කිසිම කෙනෙක්ට බාධාවක් නෑ. කෙනෙක්ට රිද්දන්න මගේ හිතේ කවදාවත් නෑ. ඒ නිසා කාවවත් රිද්දන්නේ නැති ඒ ගමන මම හෙමීට යනවා. ඕනවට වඩා දේවල් මම කොහොමටවත් බලාපොරොත්තු වෙන්නෙ නෑ. එතකොට එතන සතුටක් සැනසීමක් නෑ කියලා හැමදාමත් මම විශ්වාස කරනවා.
Text - Dishani / Pic-FB