මම මැස්සාමි. පුංචි කාලයේ ඉඳලා මට තිබුණ හීන ගොඩක් අතරින් එකක් අපලයක් නැතිව සපල කරවා ගැනිමට අවස්ථාවක් උදා වුණේය. එනම් කවදාක හෝ නළුවෙක් වීමේ හීනයය.
මේ වැඩමුළුව අපි තියන්නෙ පැය 8යි. උදේ අටේ ඉඳලා හවස 4 වෙනකම් දේශන තියනවා මිස්.
එයා එහෙම කීවේ මට නොවේ මම ඉඳපු ගෙදර අක්කාටය. ඉතින් ඒ අක්කත් එක්කා මම නාට්‍ය හා රංග කලාව පිළිබඳ දේශනයට සහභාගී වීමට ගියෙමි. අක්කා ඉන්ටර්විව් එකේ වාඩි වුණාම මම අක්කාගේ කරේ නැග උන්නෙමි. අම්මාපල්ලා සති දෙකක් පමණ නාලත් නැති අක්කා ඩියෝඩරන්ට් එහෙම ගහලා හිටියාය. ඒ වුණාට ඒ ගඳ නම් මැස්සෙක්වත් ඉවසන්නට බැරිය.
ඔයා රඟපාලා තියෙනවද?
කරපු තරමක් කළේ රඟපෑම් තමයි
මොනවද ටෙලි නාට්‍ය චිත‍්‍රපට රඟපාපු.
අනේ නෑ. මම ගොඩක්ම ඉතින් සාමාන්‍ය ජිවතේ කරන රඟපෑම් තමයි.
ඒ මොනවද ඒ?
එකක් කියලා නෑ පෙම්වතිය, දුෂ්ඨි එතකොට කපටි දියණිය, හුරතල් කොමලිය වගේ චරිත තමයි කරන්නෙ.
මෙහෙමයි අපි මේ දේශනය ඉවර වෙද්දී තෝරගන්නවා. අලුතින් කරන්න යන චිත‍්‍රපටයකට නිළියෝ කීප දෙනෙක්
ආම් මට පුළුවන්...
නෑ... නෑ... ඔයාට පුළුවන් වුණාට අපි තෝරගන්න එපැයි
ඉතින් තෝරගමුකෝ... දැන් බැරිනම් පස්සෙ වෙලාවක නිදහසේ තෝරගමු
මොකද්ද?
මාව රඟපාන්න...
ඊට කලින් අපිට කියන්න ඕන ඔයාට තියෙන සුදුසුකම් මොනවද කියලා
ඕලෙවල් නම් පාස්
එතකොට ඒ ලෙවල්?
ෆේල්...
කමක් නෑ, කලබල වෙන්න එපා. ඒ ලෙවල් ෆේල් වුණා කියලා රඟපාන්න බැරි වෙන්නෙ නෑනේ
ඒකනේ.. ඒකමයි ෆේල් වුණේ. තේරුමක් නෑ. සුදුසුකම් වැඩි වුණාමත් ප‍්‍රශ්න
හරි අපි කරන චිත‍්‍රපටයට තෝරගත්තොත් ඔයාට කොහොමද ඒකට දායක වෙන්න පුළුවන්.
මම ඉතින් දායක වෙන්න කියන්නෙ තේ අල්ලන්න නෙමෙයිනේ....
නෑ... නෑ... මම අහන්නෙ නිර්මාණයට වැදගත් වෙන මොනවද ඔයාට තියෙන්නෙ
ඇයි මගේ පෙනුම
පෙනුම හරි තව?
ඇයි මට රඟපාන්න පුළුවන්
ඒකත් හරි. තව?
තව මොනවද ඉතින්....
තව මෙහෙමයි. ඔයාට කාර් එකක් තියෙනවද...?
තියෙනවා.
අන්න අන්න.. අන්න ඒවනේ සුදුසුකම්.....
ඇයි එහෙම කියන්නෙ?
මේකනේ නංගි චිත‍්‍රපට කරද්දී එක එක සීන්වලට වාහන ඕන. ඒවා සල්ලි දීලා හයර් කරන්න ගියාම පාඩුයි. ඔයාට කාර් එකක් තියෙනව නම් කෙලින්ම මට පුළුවන් මේකට ඔයාව යෝජනා කරන්න.
එතකොට ඇඳුම්.
ඇඳුම් නැද්ද ඔයාට.
මොකද නැත්තෙ. ඇඳුම් ඕන නම් අනික් අයටත් දෙන්නම්
අන්න බලන්න. මෙයාලා තමයි අනාගතේ සම්මනානීය නිළියෝ. මේ දැන් ඉන්න උන් මොනවද නංගි රඟපාන්නෙ. කාර් එක තියෙනවා. ඇඳුම් තියෙනවා. හරි...
හරිද අයියේ?
හරි අපි තෝරගත්තා. ඔය සුදුසුකම් දෙක නැතුව තමයි මෙච්චර තොගයක් අයින් කළේ.
ඒක තමයි නේද?
ඇයි නංගි කොච්චර රඟපාන්න පුළුවන් වුණාත් මොකටද කාර් එකක් නැතුව...
එතකොට කාර් තියෙන අයට රඟපාන්න පුළුවවන්ද?
ඒක අපිට අදාළ නෑ. අපිට ඕන කොයි විදිහට හරි රඟපාලා ප‍්‍රඩක්ෂන් එක ගොඩ දාගන්නනේ. උයද්දී මාළු හීනියට කපලා. තේකට සීනි අඩු කරලා. අනුන්ගෙන් කාර් හිඟාකාලා. ගෙවල් හිඟාකාලා. කොළඹම පාලම් යට බෝක්කු යට තියාගෙන ෂුට් කරලා කොහොම හරි ගේමක් ගහන්නයි අපිට ඕන.
අනේ අයියෝ මරුනේ
මරැ කියන්නෙ ඔයා දන්නවද දැන් නිළියක් වුණාම වෙන වැඩේ
නෑනේ..
රස්සා කෝටියක් විතර එනවා
ඒ කොහොමද?
දැන් බලන්න පුළුවන් කාලේ රඟපානවා. තරැණ කාලේ කෙල්ල. මැදි වියේදී අම්මා. නාකි වුණාම ආච්චි.
ආච්චිත් වුණාට පස්සෙ මොකද කරන්නෙ?
ආච්චි වුණාට පස්සෙ ඔයා දාගන්න සැලෝන් එකක්
ඇයි?
ප‍්‍රවිණ රූපලාවන්‍ය ශිල්පීනී කියලා සැලුන් එකක් දාගෙන ක්ෂේත‍්‍රයට අලුතින් එන නිළියන්ට පානිය දාලා, සැලොන් එකට ගෙන්න ගන්න. නැතුව වෙන මොනව කරන්නද නංගි. පිටරටවල්වල නිළියෝ රඟපාලා ඉවර වෙලා රංග පාසල් වල උගන්නවා.
අපේ
අපේ උන් රඟපාලා ඉවරවෙලා කොණ්ඩෙ කපනවා...
මේ කතා ටික අහන් ඉඳිද්දී මැස්සා නළුවෙක් වෙන අදහස අතෑරගත්තා. ඊට වඩා හොඳයි තිස්සමහාරාමෙන් කිරි ගෙනැල්ලා පාර අයිනෙ විකුණනවා. තිස්ස රස මීකිරි කියලා
මම
හොස්ස ළඟින් ගිය මැස්සා.