2018 ජුනි 23 වන සෙනසුරාදා

දැහැන

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 165

ආදරණීයම රාත්‍රියක් ඔයාගේ ජීවිතයේත් කොතනක හෝ ඇති... ආදරණීය රාත්‍රීන් අනන්තවත් තියෙන්න පුළුවන්. ඒත් මට හිතෙන්නේ ආදරණීයම රාත්‍රීන් තියෙන්න පුළුවන් එක රාත්‍රියක් විතරයි. මගේ ජීවිතයේ ඒ ආදරණීයම රාත්‍රිය එක සුන්දර ඉරිදාවක ගෙවී ගියා. ඒ සදාදරණීය ඔහු සමඟ. තරු අහසේ තැනින් තැන ඉඳගෙන අපි එක්ක කතා කරපු, වලාකුළු එහෙට මෙහෙට වෙවී අහස් තලය පුරා සිතුවම් මවපු, අඩැසි සඳ හොරෙන් හොරෙන් මතු වෙවී ඝනකම් කළුවරේ රන් රේඛා මැවූ ඒ රාත්‍රිය... මම කොහොමද වචන අස්සේ දිගහරින්නේ...

එදා අපි හිටියේ හෝ ගගා රළ නගන මුහුදු වෙරළ අද්දර පුංචි අවන්හලක. වයින් වීදුරුවකට ඒ තරම් හිත් මුදු මොළොක් විදිහට ආදරණීය කරන්න පුළුවන්ද ඇනස්ටාසියා.. මම ප්‍රේම සැඳෑවෝ පෙම්වතුන්ගෙන් ඇහුවේ ඒ රාත්‍රියේදී.. මතකද මන්දා ප්‍රේම සැඳෑවෝ ගැන මම දවසකුත් ඔයත් එක්ක කතා කළා. ප්‍රේම සැඳෑවෝ කියන්නේ E. L. James ගේ Fifty Shades of Grey කියන පොතේ සිංහල පරිවර්තනය. වෙරළේ සිහින් වැලි කැටවලටත් රිදුණද මන්දා... මගේ පාමුදු උඩ රැඳුණු ඔහුගේ පාවලට, අපේ දෙපයට පෑගුණු වැලි කැටවලටත් රිදුණද මන්දා... අපි එදා වෙරළේ තියලා ආපු පා සටහන් අද මැකී ගිහින් ඇති. 

ඇනස්ටාසියා ඔයා එනවද මාත් එක්ක වෙරළට ගිහින් එන්න? සියක් දහසක් පා සටහන් අතර අපේ පා සටහන්වල එකම එක රේඛාවක්වත් ඉතුරු වෙලා තියෙනවද බලන්න මට ආයෙත් හිතයි. ආයෙත් ඒ රාත්‍රිය හොයාගෙන යන්න හිතෙනවා ඇනස්ටාසියා. මට ඒ රාත්‍රිය ඒ තරම්ම හැඟීම්බරයි. අපි හුඟක් කතා කළේ වචනවලින් නෙවෙයි. නිහඬත්වය තුළ ඒ නිහඬ බව ඇතුළේ අපූරු සල්ලාපයක් තිබුණා. ඒ හැඟුම් වචනවලට පෙරළන්න ගියානම් හැඟුම්වලට මහා අසාධාරණයක් වෙන්න තිබුණා ඇනස්ටාසියා. ඒ හැඟීම් ඒතරම් සුමටයි, සොඳුරුයි. වචන දුප්පත් කියලා නෙමෙයි මම කියන්නේ. ඒත් අනන්තයක හැඟුම්වලට සාපේක්ෂව ශබ්දකෝෂයක  ඒ වචන දුප්පත්. පියාගත් ඇස් ආයෙත් හැර බලන්නත් ලෝභයි මට වෙලාවකට. ඒ රුව, ඒ මතක පියාගත් ඇස් අස්සෙත් හැංඟිලා තියෙන හින්දා... ජීවිතය තුළ පරිණත වෙච්ච ජීවිතය ගැන දැක්මකින් විචාරණ හදවත් පවා ආදරය ළඟ වෙලාවකට හරි  බොළඳයි, හුඟක් සංවේදියි කියලා මට හිතෙනවා. ඒත් ආදරය එහෙමත් වෙන්න ඕන නේද ඇනස්ටාසියා.

එයාගේ වචනවලින් මම ලෝකය අහනවා. එයාගේ ඇස්වලින් මම ලෝකය දකිනවා. එයාගේ සිනහව ළඟ මම ජීවිතය විඳිනවා. එයාගේ සෙවණැල්ල ළඟ මම ජීවිතය ඉල්ලනවා. ඇනස්ටාසියා සංසාරේ පුරා මම හොයපු ආදරය මට හමුවෙලා... මගේ හදවතේ සදාතනික ආදරය... රුව.... ප්‍රේමය... මට හමුවෙලා..

ඔයාටත් එහෙමද ඇනස්ටාසියා... ඒත් මට හිතෙනවා ඔයාගේ ප්‍රේම සැඳෑවන්ට වඩා මගේ ප්‍රේම සැඳෑවන් හරිම ළෙන්ගතුයි, හුඟාක් ආදරණීයයි කියලා... එයාගේ මුළු ජීවිතයම තිතක්, කොමාවක්, නැවතුමක් නැතුව මගේ ළඟ දිග හරිද්දී අනේ අනස්ටාසියා මගේ ඇස් කඳුළින් දිලිසෙන්න ගත්තා... එයාගේ ළය මඬලේ උණුහුමට මම මූණ හංඟාගත්තේ ඒ කඳුළු එයාට නොපෙනෙන්න. ඒ පපුතුර ඒ ළය මඬල මගේ ජීවිතයේම ගිම් නිවන හැටියක්! මට කියන්න ඇනස්ටාසියා ක්‍රිස්ටියන් ළඟ ඔයා ඒ උණුසුම ඇත්තටම විඳලා තියෙනවද? හැම දවසකම ඔයා ක්‍රිස්ටියන්ගේ කට හඬ අහන්න මම වගේම බලාගෙන හිටියද?

අංශුමාත්‍රයකින්වත් හිත් නොරිදන අසීමිත භක්තියකින් මගේ ලෝකෙට ආව දෙවියන් වහන්සේ එයා කියලා හිතාගෙන මම එයාගේ දෙපා ළඟ දණ ගසාගත් විදිහටම ඔයත් ක්‍රිස්ටියන්ගේ කකුල් දෙක ළඟ වැඳ වැටෙනවද ඇනස්ටාසියා... ඒත් ප්‍රේම සැඳෑවෝ පොත් හතරක් කියවද්දී ඔයා එයා ළඟ රාගයෙන් මිසක් ආදරයෙන් දණ ගහපු එකම එක තැනක්වත් මට හමුවුණේ නෑ.. මට ඕනෑ ඇනස්ටාසියා එයා ළඟ අනුරාගය වෙනුවෙන් දණ ගහන්න නෙවෙයි. ප්‍රේමය වෙනුවෙන් දණ ගහන්න.
එක දවසක් රෑ අපි දෙන්නා කතා කරද්දී හරිම සියුම් රිදුමක් දැනුණු තැනකදී.... හරියටම ඒ රිදුම ටිකක් බරට වැහි කැට ඉස් මුදුනට වැටෙද්දී දැනෙනවා වගේ රිදුමක්. අන්න එහෙම රිදුමක් දැනෙන තැනකදී එයා ඒ ඇමතුම විසන්ධි කරලා දැම්මා... මගේ ඇස්වලට කඳුළු එන්න මම හිතන්නේ තත්පරයක් ගත වුණේ නෑ. ඇනස්ටාසියා ඔයාවත් මගේ හදවත අහන්න... ඒ මම මේ ජීවිත කාලයේදී නෙවෙයි... මුළු සංසාරයක් පුරා හොයපු ආදරය.. ඉතින් මගේ ඇස්වලට කඳුළු නෑවිත් තියෙන්න විදිහක් නෑ....
තව තත්පරයකින් එයා කතා කළා. මට ඉන්න බෑ එහෙම... මගේ පපුව පැලෙන්න තරම් දුකක් එනවා එතකොට... එයාගේ ඒ වචන අස්සේ මෙහෙම තේරුමක් තිබුණා. කවදාහරි අපේ ජීවිතවලින් අපිට අපිව අත්හැරුණොත් එදාට අපිට ඒක දරාගන්න හුඟක් අමාරු වෙයි වගේ තේරුමක්.

පල්ලියේ අල්තාරය ළඟ දණ ගහගෙන දෙවියන් යදින ඔයා ඉරණම විශ්වාස කරන්නේ නැහැ. ඔයා සියල්ල තුළ සැනසීම අත්විඳිනවා සියල්ල දෙවියන් වහන්සේගේ කැමැත්ත බව තීරණය කරමින්. ඔයා ජීවමාන දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. උන්වහන්සේ සමඟ ජීවත් වෙනවා. මම - මම පය ගහලා ඉන්න පොළොවේදී මුණගැසුණු එක් ජීවමාන දෙවියන් වහන්සේ කෙනෙක්ව විශ්වාස කරනවා. ඒ දෙවියන් වහන්සේට දවස පටන්ගන්න මොහොතෙත් දවසේ අවසාන මොහොතේත් නමස්කාර කරනවා. ඒ දෙවියන් වහන්සේ මට අලුත් ජීවිතයක්, අලුත් හුස්මක් අරගෙන ආවා. ඒ මගේ ප්‍රේමය.

ඇනස්ටාසියා.... අද මට හිමි සතුට හෙට මගේ ජීවිතයේ උරුමයක්ද කියන්න මම දන්නේ නෑ. ඔයාගේ ජීවිතේ  කවදාවත් ඔයා ඔයාගේ හෙට දවස ගැන දැනගෙන හිටියේ නෑ... අපි හුඟ දෙනෙක් එහෙම තමා... අපි ජීවිත හරහා ආදරණීය ගමනක් යනවා විතරයි... ඒ ගමනේ කොතැනකදී නවතින්න වෙයිද කියලා අපි කවුද දන්නේ.

ඒත් ඇනස්ටාසියා ඔයා කාටහරි ආදරය කරනවා කියන්නේ එයාගේ සතුට ඔයාගේ ඒකායන ප්‍රාර්ථනය කරගන්න එක. ආදරයේදී ලෝභකම් ආත්මාර්ථකාමීකම් හිතේ ඉපදෙනවා. ඇනස්ටාසියා එයාගේ පිරිච්ච පිරිමි පපුවේ රෝම ගහක් එයාගේ කමිස බොත්තමේ නොවැසුණු තැනකින් පෙනුණොත්, ඒ ළඟ ගෑනු ඇහැක් මොහොතකට හරි නතර වෙයි කියලා මට ලෝභකමක් හිතෙනවා. ඒත් ඇනස්ටාසියා අපි ආදරය කරන අය ජීවිතේ අලුත් මාවත් හොයාගෙන හොයාගෙන යනවා දැකලා අපිට හදවතින්ම සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕනෑ... එයාට ජීවිතේ වැඩියෙන්ම දැනෙන තැනක, ජීවිතේ පරිපූර්ණකම දැනෙන තැනක එයා නතර වෙනවානම් එයාව විඩාපත් නොකර අත්හැරලා දාලා එයාගේ සතුට ළඟ තමන්ගේ වේදනාව දරාගෙන සතුටු වෙන්න අපට පුළුවන් වෙන්න ඕනෑ. ඇනස්ටාසියා ආදරය කියන්නේ අල්ලාගන්න එකටවත්... අත්හැරදාන එකටවත් නෙවෙයි. 

අල්ලගන්න ඕන තැනදී අල්ලගෙන අත්හරින්න ඕන තැනදී අත්හැරලා එයාගේ සතුට මගේ සතුට කරගන්න එකටයි ඇනස්ටාසියා ආදරය කියන්නේ.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00