මේ දවස්වල මොකද කරන්නෙ..?
මේ දවස්වල සුපුරුදු විදිහට සංගීත වැඩසටහන්වලට සහභාගි වෙනවා. දැන් මම ගොඩක්ම සංගීත ප්‍රසංග ටුවර්ස්වල තමයි යෙදිලා ඉන්නෙ. ඒ වගේම ලංකාවේ ගෘහස්ත සංගීත ප්‍රසංගවලටත් මම සහභාගි වෙනවා. දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් එදා වගේම අදටත් කොරින් අල්මේදාට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ලබන මාසේ අග සිඩ්නිවල ප්‍රසංගයකට මම සහභාගි වෙනවා. ඒ වගේම සැප්තැම්බර් මාසේදී අමෙරිකාව සහ කැනඩාවට දීර්ඝ සංචාරයක් තියෙනවා. මාස එකහමාරක විතර කාලයක් මම ඒ රටවල් දෙක අතරේ ඉන්නවා. ඒ වගේම මේ පාර දෙසැම්බර් 31 වැනිදාට මම ලංකාවේ නෑ. මමයි මගේ මල්ලියි ඔස්ට්‍රේලියාවේ ප්‍රසංගයකට සහභාගි වෙනවා.
කොරින් කියන චරිතය ළමා කාලයේදීම සංගීතයට ඇල්මක් දක්වපු සංගීත පරපුරක කෙනෙක්නෙ... පුංචි කාලේ හීනය වුණෙත් ගායිකාවක් වෙන්නද...?
ඒක හීනයකට වඩා මාව ඉබේම අරගෙන ගිය ක්ෂේත්‍රයක් වුණා. සංගීතය අපේ පවුලේම තිබුණු දෙයක්. මගේ තාත්තාට හොඳට ගිටාර් වාදනය කරන්න පුළුවන්. තාත්තා ජූලියන් අල්මේදා. මගේ අම්මගේ තාත්තා ඒ කාලේ ලංකාවේ ඉදිරියෙන්ම හිටපු පියානෝ වාදකයෙක්. සීයාගේ නම ක්ලැරන්ස් ලෝඩ්. මගේ අම්මාගේ නම නොයිලින් ලෝඩ්. ඉතින් සංගීතය කියන දේ අපේ පවුලේම තිබුණු දෙයක්. මගේ අම්මට සහෝදරියන් අටකුයි සහෝදරයෝ දෙන්නෙකුයි හිටියා. ඒ බොහෝ දෙනෙක්ට ගීත ගායනා කිරීමේ හැකියාව තිබුණා. ඉතින් අම්මිගේ පැත්තෙනුයි තාත්තිගේ පැත්තෙනුයි සංගීතය තිබුණු නිසා ඒ හැකියාව අපිටත් ඇවිත් තිබුණා. අදටත් තාත්තිගේ මල්ලිලා ඔය ෆැමිලි පාටිවලදී ගිටාර් එහෙමත් වාදනය කරනවා. ඉතින් මගේ පවුලේ ඉන්නෙ මමයි නංගියි මල්ලියි විතරයි. මගේ මල්ලිගේ නම කෙවින් අල්මේදා. නංගි ශැරන්. එයා දැන් අවුරුදු දහඅටක් තිස්සෙම පදිංචිවෙලා ඉන්නෙ ඉතාලියේ. නංගිටත් සින්දු කියන්න පුළුවන්. හැබැයි වෘත්තිය මට්ටමේ සංගීතයට මමයි මල්ලියි විතරයි සම්බන්ධ වුණේ.
පුංචි කාලේ ඔබ මොනවගේ චරිතයක්ද...?
පුංචි කාලේ ඉඳන්ම මම ගීත ගායනා කරනවා. මම පවුලේ වැඩිමලා. පුංචි කාලේදී වුණත් මගේ ඒ තරම්ම ලොකු දඟකාරකමක් තිබුණේ නෑ. පවුලේ වැඩිමලා වුණු නිසාමදෝ මන්දා වගකීම් දැරීමේ හැකියාවක් මට තිබුණා. ඒ නිසා වගකීමෙන් කටයුතු කරපු චරිතයක් වුණා. මගේ මල්ලිනම් දඟයා. හැබැයි නංගි හරි නිවිච්ච චරිතයක්. අපි පුංචි කාලේදී මගේ අම්මියි තාත්තියි දෙන්නම රැකියාවල් කළා. ඒ නිසා වැඩිමලා හැටියට මට වගකීමක් තිබුණා. අදටත් ඒ වගකීමෙන් තමයි පවුලේ සහ පිටස්තරව මම වැඩ කරන්නෙ.
ඉගෙන ගත්තෙ මොන පාසලේද...?
මම පාසල් තුනක අධ්‍යාපනය හැදෑරුවා. මුලදී තුරණ ශාන්ත ආනා විද්‍යාලයේ අවුරුද්දක් වගේ කාලයක් මම ඉගෙන ගත්තා. ඊටපස්සෙ බොරැල්ලේ සියලු ශාන්තුවරයන්ගේ පාසලෙත් කඳාන ශාන්ත සෙබස්තියන් කන්‍යාරාමයෙත් ඉගෙන ගත්තා. ඉස්සර ශාන්ත සෙබස්තියන් කන්‍යාරාමයේ උගන්වන්න හිටියේ සිස්ටර්ලා විතරයි. අද තමා ඒක ශාන්ත සෙබස්තියන් විද්‍යාලය විදිහට හඳුන්වන්නෙ. පාසලේදීත් මම සංගීත වැඩසටහන්වලට සම්බන්ධ වුණා. අදටත් මගේ පාසලේ පද්මිණී සංගීත ගුරුතුමිය එක්ක මගේ බැඳීම තියෙනවා. ඉඳලා හිටලා මම මිස්ව බලන්න යනවා. මිස් සමඟ කතාබහ කරනවා. හැබැයි සංගීතය පැත්තෙන් පාසලේදීනම් මම ලොකුවට කැපීපෙනුණු චරිතයක් නෙමේ. මම හැදෑරුවේ පෙරදිග සංගීතය. පාසලේදී සංගීතයට වගේම නාට්‍යවලටත් මම සම්බන්ධ වුණා. පන්ති නායිකාව විදිහට වසර කිහිපයක්ම වැඩ කළා. පුංචි කාලේදී අම්මා, තාත්තා එක්ක පල්ලියට ගියාට පල්ලියේ ගීතිකා කණ්ඩායමේනම් එහෙම ලොකුවට හිටියේ නෑ.
ඔබ ප්‍රසංග වේදිකාවේ මුලින්ම සින්දු කියද්දී වයස කීයද...?
මම අවුරුදු නවයේදී විතර ඉඳන් මීගමුව තිබුණු හොටෙල් කිහිපයකම කැලැප්සෝ බෑන්ඩ් එකත් එක්ක ගීත ගායනා කළා. මගේ තාත්තාගේ යාළුවෝ, අපි දන්න කියන හැමෝම සංගීත ක්ෂේත්‍රයේ අයනෙ. ඒ නිසා අවුරුදු නවය දහය කාලේ ඉඳන් මම සින්දු කිව්වා. හැබැයි ටික කාලයක් යද්දී ඒක මම නතර කළා. ආයෙමත් මම සින්දු කියන්න පටන් ගත්තෙ SUMMERSET බෑන්ඩ් එකත් එක්ක කොළඹ හොටෙල් එකක. ඒ ආපු ගමන තමයි තවමත් මේ ගීත ගායනා කරමින් ගෙවෙන්නෙ.
කාලයක් කොරින් සංගීත කණ්ඩායමක් පවත්වාගෙන ගියානෙ... මොකද ඒකට වුණේ..?
ඔව්... 2010 අවුරුද්දෙදී විතර මට මගේම සංගීත කණ්ඩායමක් කරන්න හිතුණා. ඊටපස්සෙ කෙවින්වත් එකතු කරගෙන කොරින් ඇන්ඩ් ද බීට් බොක්ස් කියලා බෑන්ඩ් එකක් පටන් ගත්තා. ඊටපස්සෙ අපි කොරින් ඇන්ඩ් කම්පනි කියලා බෑන්ඩ් එකේ නම වෙනස් කළා. අපි විදෙස් සංචාර කිහිපයක්ම කළා. අපිට හොඳ ප්‍රතිචාර ලැබුණා. හැබැයි ඒක ලොකු වගකීමක්. ඒ වෙද්දීත් මම වෙනම කොරින් අල්මේදා කියලා නමක් හදාගෙනයි තිබුණේ. ඒ නිසා සංගීත කණ්ඩායමට කැපකළ හැකි කාලය පිළිබඳ ගැටලුවක් ඇතිවුණා. තනි කෙනෙක්ට වඩා කණ්ඩායමක් පවත්වාගෙන යද්දී වගකීම වැඩියි. කාලයෙන් වැඩි කොටසක් ඒ වෙනුවෙන් කැපකරන්න ඕනෙ. ඒ නිසා බෑන්ඩ් එකේ අයට ඒ දේ තේරුම් කරලා දීලා අපි සුහදව කණ්ඩායම නතර කළා. අදටත් ඒ බෑන්ඩ් එකේ වැඩ කරපු සියලුම දෙනා මගේ හොඳ යාළුවෝ. බෑන්ඩ් එක නතර කළාට පස්සෙ අපි සංගීත වැඩසටහන් දෙක තුනක් එකතුවෙලා කරලත් තියෙනවා.
ඕනෑතරම් සංචාර කරලා තියෙනවනෙ... අමතක නොවන සිදුවීම් එහෙමත් ඔය අතරේ ඇති නේද...?
මගේ ජීවිතේ අමතක නොවන සිදුවීමක්නම් තියෙනවා. එක්තරා ප්‍රසංගයකට මට කැනඩාවට යන්න තිබුණා. ලන්ඩන් හරහා තමයි ඒ ගමන යන්න තිබුණේ. කොහොමහරි ප්ලේන් එක ලන්ඩන්වල නතර කරන්න විනාඩි හතළිස් පහක් විතර තියෙද්දී ප්ලයිට් එක ඇතුළේ ටිකක් කලබල ගතියක් දැනුණා. ඒත් එක්කම වෛද්‍යවරයකුට පැමිණෙන්න නිවේදනයක් ප්ලයිට් එකේදී නිකුත් කළා. කොහොමහරි ප්ලයිට් එක ලන්ඩන් නොගොස් වෙනත් රටකට ඉක්මනට ලෑන්ඩ් කළා. පස්සෙ තමයි අපි දැනගත්තෙ ප්ලයිට් එකේ ප්‍රධාන පයිලට්ට එකපාරටම මානසික ආබාධයක් ඇතිවෙලා එයාට ප්ලේන් එක පාලනය කරගන්න බැරිවෙලා. එයාට හරි සිහිකල්පනාවක් තිබිලා නෑ. කොහොමහරි කිහිපදෙනෙක් එකතුවෙලා පයිලට්ව තදින් අල්ලගෙන තමයි එයාව පාලනය කරලා තියෙන්නෙ. අන්තිමේදී ජීවිත ගණනාවක්ගෙ අනතුරක් බොහොම අමාරුවෙන් වළක්වාගන්න පුළුවන් වුණා.
සංගීතයට අමතරව ඔබේ අද දවස ගෙවෙන්නෙ කොහොමද...?
සංගීතයට අමතරව සමාජ සේවා වැඩ කරන්න මම හරි ආසයි. මම ඒ දේවල්වලට පුදුමාකාර ඇල්මක් දක්වනවා. තවත් මනුස්සයෙකුගේ දුක මට ගොඩක් දැනෙනවා. මම වැඩිහිටි නිවාසවලට ළමා නිවාසවලට ගිහින් ඒ අයට උදව් කරනවා. ඒ අය එක්ක දවස ගෙවනවා. ඒ වගේම මම මෑතක සිට අනෝජා අක්කිගේ (අනෝජා වීරසිංහ) යෝගාවලට සම්බන්ධවෙලා ඉන්නවා. ඒකෙන් මගේ මනසට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා. අනෝජා අක්කි කියන්නෙ පුදුමාකාර චරිතයක්. ජීවිතේට මුහුණදෙන්න, හිතට ආස කරන දේවල් අතහරින්න, එදිනෙදා ජීවිතේ එක්ක ඇලීම් ගැටීම් නැතිව ජීවිතය සැහැල්ලුවෙන් ගෙනියන්න මම ඉගෙන ගත්තෙ අනෝජා අක්කිගේ අභින පන්තියෙනුයි. ජීවිතේ මම බොහෝ දේවල් ඇගෙන් ඉගෙන ගත්තා. දෙවියන් වහන්සේ පවා ඇයට ආශිර්වාද කරනවා. ඒ වගේම මගේ ආදරණීය පුතාත් මම මේ වෙලාවේ මතක් කරන්නම ඕනෙ. බ්‍රැන්ඩන් තමයි දැන් මගේ ජීවිතේ. ජීවිතේ මම දකින්නෙ මගේ පුතාගේ ජීවිතෙත් එක්කයි.
► Text - Dishani / Pic – Internet