2018 ජුනි 23 වන සෙනසුරාදා

දෙදෙනාගේම දුක තල් අත්තක ලියමු

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 430

මා එක්කලා අමනාපව වී දබර 
දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර 

වැලි පොල් කටුයි හැඳි රෑනයි පෙරළාලා 
මිඳුලේ වැටුණු කොළ සේරම අතුගාලා 
ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා 
රෑ එළි වනතුරුම ඉමු මිඳුලට වීලා 

හඳ මාමා නැගෙන තුරු අපි තරු ගනිමු 
දෙදෙනාගේම දුක තල් අත්තක ලියමු 
හඳ මාමා අතම ඒ පණිවුඩ යවමු 
හෙටවත් ගෙදර ඒදැයි බලමින් ඉඳිමු 


ගී පද -ප්‍රේම කීර්තිද අල්විස් 
සංගීතය -ඔස්ටින් මුණසිංහ 
ගායනය -මාලනී බුලත්සිංහල 

ඉද්ද ගහ යට 
පියෙන් එසැවී 
මල් නෙළන විට 
පුංචි දියණිය 
මලක් සේ සිප 
වඩාගන්නෙමි 
පුදන්නට හෙට 
මගේ ලෝකෙට 

ඒ පුංචි දියණිය අස එක් මොහොතකට මම දියණියකගේ තාත්තා කෙනෙක් වෙමි. දියණියක හා තාත්තා කෙනකු අතරේ පවතින සීමාවකින් තොර ආදරය මනසින් දැනහඳුනා ගමි. ඇගේ ලෝකය තුළ තාත්තා කෙනකුට ඇති විසල් ඉඩහසර මට දැනේ. එක්වරම මට මෙවැනි සිතුවිල්ලක් දැනේ. තාත්තා කෙනකුගේ ආදරය කවදාවත් නොවිඳි දියණියකගේ ලෝකය තුළ ඇයට දැනෙන හිස්තැන පාළුව කොතෙක්ද? එය මකාලිය හැක්කේ කාටද? රත්න ශ්‍රී විජේසිංහයන් ලියූ වස්සානෙන් පසුව කවි පොතේ එන මල් සම්පත නැමැති දිගු කවියේ  ඉහත කවි පද කියවද්දී මගේ මනසේ මොහොතකට ඉපදෙන පුංචි දියණිය පිළිබඳ සිතුවිලි අවසානයේ නවතින්නේ පියවරු අහිමි, ජීවිතේ කිසිදාක තාත්තා කෙනකුගේ ආදරය සැළකිල්ල රැකවරණය නොලද දියණියක්ගේ වේදනාත්මක හද රිද්මය අභිමුවය.

දුවකට කවදාවත් තාත්තා කෙනෙක් නැති කරන්න එපා... එයා ඊට පස්සේ ජීවිතේ හම්බවෙන හැම පිරිමියෙක්ගෙන්ම ඒ තාත්තව හොයනවා... එයා කවදා හරි බිරිඳක් වෙච්ච දවසකත් තමන්ගේ ස්වාමියාගෙන් හොයන්නේත් ඒ තාත්තාව... ඒත් තාත්තා කෙනෙක්ගේ ආදරය රැකවරණය කවදාවත් එයාට තාත්තා කෙනෙක්ගෙන්ම හැරෙන්න මේ ලෝකේ පිටස්තර කෙනෙක්ගෙන් ලබන්න බැරිවෙයි...
ඒ තාත්තා කෙනෙක් නැති වූ දියණියකගේ හදවතේ උපන් සිතුවිල්ලකැයි මට සිතේ.

මා එක්කලා අමනාපව වී දබර 
දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර 

දූගේ තාත්තා.... ඒ ආමන්ත්‍රණය තුළ ඇති දයාබර ළතෙත් බව ඔබේ හදවතටත් දැනේයැයි මට සිතේ. නාගොල්ලාගම වැනි පිටිසර ගමක ජීවත් වූ මම ගැමි ගැහැනුන් තම ස්වාමියා කෙරේ දක්වන ආදරය ගෞරවය භක්තිමත් බව මැනවින් දැක ඇත්තෙමි. අපේ එක්කෙනා ඇය බොහෝවිට තම සැමියා හැඳින්වූයේ එලෙසය. ඒ අපේ යන වචනය තුළ සැඟවී ඇත්තේ මගේ යන වචනයැයි මට සිතේ. දරුවන් ලද පසු ඇය බොහෝවිට ඔහු ඇමතුවේ දරුවාගේ තාත්තා නැත්නම් දරැවන්ගේ තාත්තා යනුවෙනි. ඒ හැම ආමන්ත්‍රණයක් තුළම සීමාවක් නැති සෙනෙහසක් මගේකමක් ගැබ්වී තිබුණි. ලෙඩකදී දුකකදී ඇය ඔහුට මවක්ම වූවාය. කැස්සක්, හෙම්බිරිස්සාවක් හැදුණත් යහමින් ඉඟුරු, සුදු ලූණු දා පිළියෙළ කළ කොත්තමල්ලි කෝප්පයක් හදා බොන්න දී බී අහවර වෙන තුරු ඔහු ළඟින් උන්නාය. 

තම ස්වාමියා නින්දට යනතුරු නොනින්දාය. ගමනක් බිමනක් ගියත් ඔහු එනතුරු ඔහු ගැන සිතුවිල්ලෙන්ම ඔහු කඩුල්ල පැන එනතුරු කුප්පි ලාම්පුවත් දල්වාගෙන පෙරමං බලා සිටියාය. ඇය තම සැමියා වෙනුවෙන් බත්පත සූදානම් කළේ දානයක් පිළියෙල කරන්නාක් මෙන් භක්තිමත් හැඟීමකිනි. ඒ බත්පත සරි කරන්නට ඔවුන්ගේ කටු මැටි ගෙපැලේ බොහෝ අඩුවැඩිය නොතිබුණු දවස් අනන්තවත්ව තිබුණා විය හැක. එහෙත් ඇය වධක බිරියක් නොවී ජීවිතය වෙනුවෙන් ඔහු කරන අරගලයට සවියක්ම වූවාය. ඔහු වෙනුවෙන් අගහිඟකම් ඉවසුවාය. ඇතැම්විට ඇය මයියොක්කා හොද්දක්, පොල් සම්බෝලයක් හදා හාල් හුණ්ඩුවක් ළිප තබා රොටී කිහිපයක් ද හැදුවේ හාල් හුණ්ඩුවෙන් පිරිමැසිය නොහැකි බඩගින්නේ ඉතුරු හරිය පුරවන්නටය. එහෙත් ඒ හදන හැම වෑංජනයකටම තුන පහ රම්පේ, කරපිංචා අඩුම කුඩුම  සමඟ ඇගේ හදවතේ ඔහු වෙනුවෙන් ඉපදුණු සෙනෙහස ද මුහුව තියෙන්නට ඇතැයි ඒ බත් පත රස කර කද්දී ඔහුට සිතෙන්නට ඇත. දෙවියන්ට බුදුන්ට මෙන් ඔහුට මුදුන් වෙන්නට බත් පත බෙදා දී ඉතුරැ හරිය තම දරු පැටවුන්ට දී අම්මේ බත් මදි තව බත් නැද්දැයි අගහිඟකම් නොතේරෙන පොඩි උන් විමසද්දී තමන්ට ඉතුරු කරගත් බත් කටත් දරුවන්ටම කවා දන්කුඩය හූරන අම්මලාගේ ජීවිත, ඒ ජීවිතවල රිද්මය ගමක ජීවත් වූ මිනිසුන්ගේ සංවේදනාවන් දැනෙන හදවතක් ඇති මිනිසකු ලෙස මේ මහ පොළව ස්පර්ශ කළ මට ආගන්තුක හැඟීමක් නොවේ. ඒ හැම ජීවන රිද්මයක්ම මගේ ජීවිතය හා බැඳී තිබේ.

ඇගේ ඒ ගුණාංග මට සිහිපත් කරන්නේ යශෝධරාවතේ කියවෙන යශෝධරාවගේ ගුණ සමුදායෙන් බිඳකි. බිරියකට තම සැමියා වෙනුවෙන් එවන් කැපකිරීමක් පරිත්‍යාගයක් කළ හැකිද? ඒ සා මෛත්‍රියක් දැක්විය හැකිද යන්න යශෝධරා චරිතයෙන් තරම් පිළිබිඹු වෙන වෙනත් චරිතයක් ලෝක ඉතිහාසයේ වෙනත් තැනක හමු නොවන තරම්ය.

ප්‍රේමකීර්ති ද අල්විස් අසහාය ගී පද රචකයා අතින් ලියැවුණු ඔස්ටින් මුණසිංහ සංගීතවේදියා සංගීතවත් කළ  මාලනී බුලත්සිංහල ගයන මේ ගීය මට එවන් දුක්බර සුසුමක ස්වරය හදවතට දනවයි.

මා එක්කලා අමනාපව වී දබර 
දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර... 

දූගේ තාත්තා ඒ ඇගේ තවමත් නොබිඳි සෙනෙහසයි. ඒ සෙනෙහස උදෙසා සාක්ෂියයි.

වැලි පොල් කටුයි හැඳි රෑනයි පෙරළාලා 
මිඳුලේ වැටුණු කොළ සේරම අතුගාලා 
ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා 
රෑ එළි වනතුරුම ඉමු මිඳුලට වීලා 

ඇය බලා හිඳින්නේ සමනළ වියේ දියණියක සමඟ බව ප්‍රේමකීර්තිද අල්විස් කියන අපූරුව... 
වැලි පොල් කටුයි හැඳි රෑනයි පෙරළාලා 

ගෙයි ආර්ථිකය සරි කරන්නේ ඇගේ සැමියාය. හවසට තේ කොල කාලක්, සීනි සීයක්, හාල් කිලෝවක්, තුන පහ ටිකක්, පරිප්පු කාලක් වැනි දේ රුගෙන ඔහු එනතුරැ ඈ හැන්දෑවට බලා සිටී. අමනාපව ඔහු නේන කල බත සරි කරන්නේ කෙසේදැයි ඇයට මහා ගැටලුවකි. ගේ ළඟ කඩුල්ලට බැරි බර දීලා යනුවෙන් අරුත් ගැන්වෙන්නේ ඒ දරාගනු බැරි ආර්ථික පීඩනයයි. 

තවත් අතකින් නිවෙසේ මායිම සලකුණු කළ ආරක්ෂාව ඒ වැට කඩුල්ලයි. කඩුල්ලෙන් එහා ඉමක හිඳ දූ තාත්තත්, බිරිඳ දූගේ තාත්තාත් එනතුරු බලා සිටියොත් ඒ බලාහිඳීමම ගෙයි ගින්දර පිටට දීමක් විය හැක. එය ඇගේ සැමියාට නින්දාවක්, පිට ලෝකයෙන් දොස් අසන්නට ද වෙන කරුණක් ද විය හැක. තරුණ බිරියට වෙනත් සෙල්ලක්කාර ඇල්මක් බැල්මක් වැටෙන්නට ද හේතුවක් විය හැක. කඩුල්ලෙන් එහාට අපේ දුක අපි නොකියා හිතේ බර අපේ ගේ සීමාවේම හිරකරගෙන අපි බලගෙන ඉමු. දූට තාත්තත්, මට දූගේ තාත්තත් නැතුව මොන නින්දක්ද.. අමනාප වෙලා ගෙදරින් ගියත් දූගේ තාත්තා කෑවද, බීවද, අසනීපෙකින්ද හොඳින්ද කියලා මට මොහොතක් ගානේ කල්පනා වෙනවා.. ඉතින් හාන්කවිසියක්වත් තොරතුරක් නොදැන මම කොහොමද සැනසිල්ලේ ඇස් පියාගන්නේ.. ආදරණීයම බිරියකගේ සිතුවිලි ඒ පද ඔස්සේ වැක්කෙරෙන්නේ එලෙසය.

හඳ මාමා නැගෙන තුරු අපි තරු ගනිමු 
දෙදෙනාගේම දුක තල් අත්තක ලියමු 
හඳ මාමා අතම ඒ පණිවුඩ යවමු 
හෙටවත් ගෙදර ඒදැයි බලමින් ඉඳිමු 

බිරියගේ දරාගැනීමත්, ඉවසිල්ලත් මේ පද ඔස්සේ ප්‍රකාශිතය. ඇය වේදනාව ඉවසන අතරේම වේදනාව ඉවසා ගන්නට තම පුංචි දියණියට ද කියා දෙයි. ඇයද දිනෙක බිරියක් මවක් විය හැක. ගැහැනියක ලෙස මහපොළව සේ ශක්තිමත්ව ඇයට ද දිනෙක ජීවිතයේ බොහෝ අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදුවිය හැක. දුවේ නොහඬා දරාගන්නට... වේදනාව වෛරයක් කරනොගෙන ඉවසන්නට... අම්මා දිහා බලාගෙන පුරුදු වෙන්න. ගැහැනියක් මහ ගහක් වගේ වෙන්න ඕන දුවේ. ජීවිතය කියන පොළවේ හොඳට මුල් ඇදලා පැල වෙන්න ඕනෑ. මහා ගහක් වගේ මුළු පවුලටම හෙවණක් සිහිලසක් දෙන්න ඕනෑ. දූගේ සිතට එසේ ඒත්තු ගන්වන අතරේම ඇය ඒ පුංචි හිතට මහා බරක් ද නොපටවයි. පුංචි දරුවන්ට අපි හඳ මාමාට කියමු යැයි කියන්නේ ඒ සිතට බරක් නොදී ඒ සිත නොතලන්නටය.

කාටවත් කියන්න එපා දුවේ තාත්තා තරහා වෙලා ගිය විත්තියක්. අපි අපි දෙන්නගේ දුක තල් අත්තක ලියමු. තල් අත්තක ලියන දෙයක් කවදාවත් මැකෙන්නේ නෑ. කොළයක ලියලා ලියුමක් යැව්වත් පිනි බිඳුවක් හරි වැටිලා බොඳ වුණොත් අපිට තාත්තාට එන්න කියලා කියාගන්න බැරිවෙයි. ඒ හැඟුම කොතෙක්නම් බලවත්දැයි හැඟුම්බරදැයි සිතේ. අමනාපයෙන් අඩදබර වී හෝ සිත වෙනතක බැඳුණු නිසා හෝ දූවරැත්, දූවරැන්ගේ අම්මාවරුත් අතැර ගිය තාත්තලා සිය දහස් ගණනක් මේ සමාජයේ ඉන්නා බව අපි දනිමු. දූවරු තාත්තා දැන් දැන් එතැයි යන හැඬුම්බර බැල්මෙනුත්, බිරින්දෑවරු ලසෝ ගින්නෙනුත් බලා හිඳින දුක ඒ එක තාත්තෙකුට එක මොහොතකට හෝ දැනී යළි හැරී ඒ දුක් ගින්දර නිවාලනු පිණිස යළි එනවානම්.. ඒ සිතුවිල්ල සමඟම මා සිත ඉපදෙන තවත් සිතුවිල්ලකි. දූ වරුන්ට තාත්තලා අහිමි වීම පිටුපස ඒ දූ වරැන්ගේ අම්මා වරුන්ගේ දොස් අඩුපාඩුකම් සමුදායකුත් නොතිබිය හැකිද?  මා විචාරයට නැවතුම තබන්නේ මේ සිතුවිලි ඔස්සේය. 

 

► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර

 

අපේ විචාරයට ලක්වෙන ගීත ගැන ඔබටත් කියන්නට දෙයක් ඇත්නම් අපට ලියන්න.ඔබ කැමති ගීතත් අපට කියන්න.
Deshayanews@gmail.com
Deshayalayout@gmail.com
හදසර - සංස්කාරක, දේශය කතෘ මණ්ඩලය, 
විජය පුවත්පත් සමාගම, අංක 08, හුණුපිටිය හරස්පාර කොළඹ 02