අපි ගියා මහ කැලේකට. දාර ගස්... ඒ ගස් අස්සෙන් කැකෑරී කැකෑරී හමාගෙන එන සැර සුළං... තැනින් තැන දිය කඩිති.. සීතාවක සංචාරක ඉසව් හොයාගෙන ගිය ගමනේදීම තමයි අපිට මේ අපූරු ස්වභාවික කැලය හා ජලාශය හමුවුණේ. වැවේ කැලේ ස්වභාවික වනාන්තරය හා ජලාශය.. මේ නමින් තමයි මේ මහා කැලය හඳුන්වන්නේ. වැවේ කැලේ රක්ෂිතය පාලනය වන්නේ සීතාවක නගර සභාව මගින්. මේ මහ කැලේ භූමි වපසරිය අක්කර 27ක්. ඒ අක්කර 27න් අක්කර 1 2/1ක් 2ක් වෙන්වන්නේ විශාල ජලාශයකට. මේ රක්ෂිතය කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි ස්වභාවික කැලෑ ප්‍රදේශයක්. ජල පෝෂක ප්‍රදේශයක් වන මේ ස්වභාවික කැලයෙන් තමයි බිසෝ ඇල පටන් ගන්නෙත්. බිසෝ ඇල්ල දිය ඇල්ල කාලාන්තරයක් තිස්සේ අවට වන ලැහැබ, තුරුලතා පෝෂණය කරමින් ගලා හැලෙන මහා දිය ඇල්ලක්. ඉහළ ජෛව විවිධත්වයකින් යුක්ත වැවේ කැලේ රක්ෂිතයේ ආවේණික ශාක, ඖෂධීය පැලෑටි හා දුර්ලභ ගණයේ සත්ත්වයිනුත් ඉන්නවා. පරිසරවේදීන්නම් කියන්නේ සංචාරක පක්ෂීන්ට හා සමනලුන්ට වැවේ කැලේ රක්ෂිතය මහා පාරාදීසයක් කියලයි.
මීට අවුරුදු ගාණකට ඉස්සර අවිස්සාවේල්ල නගරයට හා රෝහලට ජලය සැපයීමට වැවේ කැලේ ජලාශය යොදාගත්තා. අදටත් කොටහාර කියන ගමේ මිනිස්සුන්ගේ පානීය ජලය හා අනෙකුත් ජල අවශ්‍යතා සපුරන්නේ මෙන්න මේ ජලාශයයි. බිසෝ ඇල ආශ්‍රිතව විශාල කුඹුක් කැලයක් තිබෙනවා. කුඹුක් ගහක සීතල කොච්චරද කියලා මම ඔයාට කියන්න ඕනෑද? කුඹුක් ගහක් යට දැනෙන සීතල මම ඔයාට වචනයෙන් කියන්න ඕනැද? ඒතරම් සිසිලසක් තමා කුඹුක් සෙවණකදී දැනෙන්නේ. 2006 අවුරුද්දේ මේ ස්වභාවික වනාන්තරය හා ජලාශය ආරක්ෂා කරන්න හා වගාව නඩත්තු කරන්න ගත්ත මහන්සිය වෙනුවෙන් සීතාවක පුර නගර සභාව ග්‍රීන් ඇපල් සම්මානයෙනුත් පිදුම් ලබා තිබෙනවා.
සපු, දේවදාර, දොඹ, කළුවර, කළුදෙණිය, සිංහල දෙල්, වෙනිවැල් වැනි ශාක විශේෂයත්, දණ්ඩියා, බුලත් හපයා හා මගුරා වැනි මත්ස්‍ය විශේෂත්, ඇහැටුල්ලා, තිත් පොළඟා, කරවලා වැනි උරග විශේෂත්, කෑදැත්තා, සැළලිහිණියා හා සංචාරක පක්ෂීනුත්, දියබල්ලා වැනි ක්ෂීරපායීනුත් වැවේ කැලේ රක්ෂිතය එයාලාගේම තෝතැන්නක් කරගෙන කීවොත් හරියටම හරි.
කැලයක සුන්දරත්වය විඳින්න පරිසරයට ස්නේහෙවන්ත හිතක් තියෙන්නත් ඕනෑ. එහෙම හිතක් අරගෙන වැවේ කැලේ රක්ෂිතයට යන්න පුළුවන්නම් ගිහින් එන්න. හරිම ආස්වාදනීය අත්දැකීමක් නොවැරදීම ඔයාට විඳින්න ලැබෙයි.
► Text -Saa / Pic- Channa Kassapa Koralearachchi