අන්තිම තාරකාවත් ඇස් වසා ගත් පසු දෙවියනි ඒ අහස ඒ රාත්‍රිය එක දවසක්... එකම එක දවසක් මට දෙන්න... මට මගේ ප්‍රේමය විඳගන්න එකම එක රාත්‍රියක් මට දෙන්න... කළුවර ඉහිරිච්ච නෙවෙයි කළුවර කැටිගැහිච්ච එකම එක රාත්‍රියක් මට දෙන්න... ලෝකයම ඒ මහා අන්ධකාරයේ නිදිගන්වලා මගේ ඇස් සහ ඒ ඇස් නින්ද නොසොයන එක රැයක් මට දෙන්න.... ප්‍රේමය වෙනුවෙන් කල්පාන්තය තෙක් එකම එක දවසක් මහා අන්ධකාරයක ගිල්වන්න... මේ සිතුවිලි හිතේ දිගහරුණේ මහා නගරයක කොටු පවුරේ හුදෙකලා සිමෙන්ති බංකුවක ඉඳගෙන අපි දෙන්නට අපි දෙන්නවත් නොපෙනෙන තරම් අඳුරක මම එයාගේ උරහිසේ ඔළුව තියාගෙන ඉද්දී එයාගේ හයිය පිරිමි අත්වලින් එයා මාව තුරුලු කරගෙන හිටපු දවසක... මොන සීතලක්, මොන රස්නයක්, දහදියක් පර්ෆියුම් සුවඳක් මැද්දේ වුණත් ඒ හැම සුවඳක්ම විනිවිද මම විඳින එයාගේ අනන්ත ආදරයේ එයාගේ අසීමාන්තික මනුස්සකමේ සුවඳ මම වින්ද තවත් එක රැයක් ඒ... මම දෙවියන්ට කියනවා... එයා වගේ තව කවුරු හරි මේ ලෝකේ ඉන්නවනම් මට කියන්න කියලා ..නැහැ එයා වගේ වෙන කවුරුත්ම නෑ.... එයා මිනිසුන් අතර ජීවමාන දෙවි කෙනෙක්... ඉන් එහාට මගෙන් ඒ මනුෂ්‍යත්වයට නිර්වචන ඉල්ලන්න එපා... කාත් එක්ක කොහොම කතා කළත් මේ ලෝකය පීරලා මම ආයෙත් ආදරයක් මනුෂ්‍යත්වයක් හෙව්වත් මට කවදාවත් ඉන් එහා උත්තරයක් හොයාගන්න බැරිවෙයි... එදා ඒ කළුවරට මම මේ මොහොතේත් හුඟක්ම ආදරෙයි... මගේ නළල් තලය මගේ කොපුල් තල ඒ සුසුම්වලින් උණුහුම් කරන්නට ඉඩ හදලා දුන්නේ ඒ කළුවර.. ඒ කළුවර කොච්චර කළුවරද කියනවනම් එයාගේ දිලිහෙන ඇස් විතරයි මගේ ඇස්වලට පෙනුණේත්.. ඊටත් වඩා ලස්සන ඇස් මේ ලෝකේ තියෙනවද? මගේ හිත දැන් මගෙන් එහෙම අහන්න අරන්... එහෙම තමයි ප්‍රේමය... දකින සුන්දරම වස්තුව තමන් සන්තක ප්‍රේමය බවට පත්කරන්න ප්‍රේමයට පුළුවන්... මම මේ ලියන්නේ කල්පාන්තයක සිහිනයක් ගැන මිසක් මම විඳින ප්‍රේමයක් ගැන නෙවෙයි..
බෙටී මහමුදී ලියූ NOT WITHOUT MY DAUGHTER - දෙවියන්ගේ අඩවිය කියවද්දී මගේ හදවත ගිහින් නතර වෙච්ච හීනයක් ගැනයි ඒ ඔයාට මම කීවේ... මට ඒ කල්පාන්ත සිහිනයේ තව තවත් ඔව් තව තවත් සැරිසරන්න ඉඩ දෙන්න... සතුට ඒ සිහිනයනම්... ඔව් එකම එක සතුට... ජීවිතය මම වෙනුවෙන් මට හොයා දුන්න එකම එක සතුට ඒ සිහිනයනම් මට ඒ සිහිනය තුළ මරණය තෙක් සැරිසරන්න ඉඩහරින්න.
අපි දෙන්නා ළඟ දැවටෙන අපේ කතා අහගෙන ඉන්න මේ හුළඟට ආයෙත් දවසක මෙතනදී හරි නැත්නම් තව කොහේදී හරි අපි මුණගැහුණොත් ඒ හුළඟට ආයෙත් අපි මතක් වෙයිද? ඒ හුළඟේ දැවටිච්ච අපේ සුවඳ එදාටත් එකම එක සුළං වාටියකවත් ඉතුරු වෙලා තියෙයිද? මහා නගරයක් මැද්දේ හුදෙකලා වෙච්ච යෝධ කොටු පවුරක තනි වෙච්ච මොහොත මගෙන් එහෙම ඇහුවා... හුළඟත් කතා කරන්න අරගෙන... එක පැත්තකින් මහා සාගරය... එයාගේ සුසුම් හරි ගැඹුරුයි... ඒ මහා සාගරය හැමදාමත් වෙරළ දිහාට ඇවිත් යනවා... ආදරේට කියලා මට හිතෙන්නේ නෑ... එයා සොබාදහමේ එක අණකට අවනත වෙනවා කියලා විතරයි මට හිතෙන්නේ... වෙරළ උරහිසක් වගේ රළ නගන හැම රැල්ලකම විඩාපත් වෙහෙස දරාගන්නවා... ඒක සොඳුරැ වෙහෙසක් වෙන්න බැහැ... ඒත් සොඳුරක් නොදුන්නත් ජීවිතයේ සමහර සංසිද්ධීන් දරාගන්න අපට සිදු වෙනවා. එහෙම දරාගන්න සොබාදහම අපට උපහැරණවලින් කියලා දෙනවා. මිහිරක්, සුවයක්, සැනසිල්ලක්, නිවනක් උත්තරීතර වටිනාකමක් කෘතවේදීත්වයක් ගෞරවයක් නොදුන්නත් ලෝකෙට පේන්න හා යුතුකම් ඉටුකරන්න ඉවසීමෙන් දරාගන්න සමහර බැඳීම් වගේ කියලා මට හිතෙනවා ඒ සාගරය සහ වෙරළ... සොබාදහම මහා දාර්ශනිකයෙක්... එයා ක්ෂිතිජය මැව්වේ ඇයි... එයා ක්ෂිතජයෙන් අපිට මොකද්ද කියලා දෙන්න හදන්නේ... එක් වෙන්න බැරි වුණත් කවදාවත් වෙන් නොවෙන සදාතනික ප්‍රේමය ගැන තමයි සොබා දහම ඒ කියලා දෙන්න හදන්නේ... වෙන් නොවී හැමදාම ළඟින් ඉන්න විඳින්න විනිවිදින්න විමසන්න පුළුවන් ප්‍රේමයක් මුණගැසුණොත් වෙන් නොවී ආදරය විඳින්න කියන පණිවිඩය දෙන්න තමයි සොබාදහම ක්ෂිතිජය නිර්මාණය කළේ... මන්දා මට එහෙම හිතෙනවා...
සියුම් හිඩැස් අතරින් පෙරී ආව ළා එළිය විඳිමින් අවන්හලේ කොණේ මේසෙක ඉඳගෙන උණු නුඩ්ල්ස් කද්දී මම හිටියේ හුඟක් බඩගින්නේ.. එදා දවසම අඹ වීදුරුවක අඹ යුෂ ප්‍රමාණයක් හැරෙන්න මගේ කුස වෙන කෑමක රහක් ගුණක් විඳලා තිබුණේ නෑ.. ඒත් ඒ බඩගින්න මට වද දුන්නේ නෑ... ඒ හේතුව හරි අධ්‍යාත්මිකයි. මගේ ආත්ම පවස ජීවිත බඩගින්න සංසාරය පුරා නිවපු ශුද්ධෝත්මයන් දැන් මගේ ළඟ.. ආත්මයට ජීවිතයට බඩගින්නක් නොදැනෙද්දී කුසට බඩගින්නක් දැනෙන්න විදිහක් නෑ වෙලාවකට...
ප්‍රේමය ඒ තරම්ම සොඳුරුයි.... තවත් මම මොනවා ලියන්නද.. ප්‍රේමය.. ඔව්.. ප්‍රේමය.. ඒ තරම්ම සොඳුරුයි.