සමිතා... ජයන්ත චන්ද්‍රසිරිගේ ඝරසර්ප චිත්‍රපටයේ රංගනයට කවින්ද්‍යාට ආරාධනා ලැබෙද්දී ඔබට මොකද හිතුණේ...?
ඇත්තටම කවින්ද්‍යා කවදාවත් රඟපෑමට එකතුවෙන්නනම් හිතාගෙන හිටපු කෙනෙක් නෙමේ. කවින්ද්‍යාට රඟපාන්න කැමැත්තක් තිබුණේ නෑ. එයාට ඕනවුණේ සංගීතය පැත්තෙන් ඉදිරියට යන්න. හැබැයි ජයන්ත අයියා කතා කරද්දී කාවින්ද්‍යා ගොඩක් සතුටු වුණා. ජයන්ත අයියා වගේ අධ්‍යක්ෂකවරයෙක් යටතේ රංගනයට එකතුවීමට ලැබීමත් කවින්ද්‍යාගේ වාසනාවක්. ඇත්තටම ජයන්ත අයියා මේ ගැන මට කිව්වට පස්සෙ ඔහු වගේ ප්‍රවීණ, දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් යටතේ කවීට රඟපාන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වුණා. ඉතින් බොහොම කැමැත්තෙන් මම කවීට ඒ කැමැත්ත ලබාදුන්නා. මුලින්නම් කවීට අත්දැකීමක් නැති නිසාම පොඩි බයකුත් තිබුණා. හැබැයි මම මේක කරලා බලමු කියලා කිව්වට පස්සෙ එයාගෙත් අකමැත්තක් තිබුණේ නෑ.
ඔබ කවින්ද්‍යා රූපගත කිරීම් කරන තැන්වලට ගිහින් එයා රඟපානවා එහෙමත් බැලුවද..?
ඔව්.. ඔව්... මම ඒ තැන්වලට ගියා. මුලින් කළුතර පැත්තෙ වගේම අනුරාධපුර පැත්තෙත් ෂූටිං කළා. අපි ඒ තැන්වලත් ගියා. ඇත්තටම දුව ගැන මට ගොඩක් ආඩම්බරයි.
සරඝර්ප චිත්‍රපටයේ ගීතය ගායනා කරන්නෙ සමිතා සහ බාචි සුසාන්. දුව රඟපාන චරිතයට ගීතය ගායනා කරන්නෙ අම්මා... මේක හරි අපූරුයි නේද...?
ඇත්තටම මම කරන දේවල් ගැනත් මගේ දුව කරන දේවල් ගැනත් හරිම ආඩම්බරයි. මේ දෙයත් එහෙමම තමයි. මම හිතන විදිහටත්, බොහෝ දෙනෙක් කියන විදිහටත් ලංකාවේ දුවෙකුගේ චරිතයක් වෙනුවෙන් අම්මා ගීතයක් ගායනා කරපු පළමු අවස්ථාව මෙයයි. තවත් සමහරු ලෝකයෙත් එහෙම දෙයක් වෙලා නෑ කියලත් කිව්වා. කොහොම වුණත් ඇත්තටම මේ දේ ගැන මට ගොඩක් සතුටුයි.
ගීතය ගායනා කරද්දී ඔබගේ ඇස්වල කඳුළු... ඇයි ඒ...?
ඒකට හේතු දෙකක් තියෙනවා. ගීතය ගායනා කරද්දී ඒක අධ්‍යක්ෂකවරයාටත් ඕනවුණා. අනෙත් එක තමයි කොහොමටත් මගේ දුව හෝ පුතා මගේ ආසාවක් ඉෂ්ඨ කරන හැම මොහොතකම මගේ ඇස්වලට සතුටු කඳුළු එනවා. ඉතින් ගීතය පටිගත කරද්දීත් මගේ ඇස්වලට මගේ කවී වෙනුවෙන් සතුටු කඳුළු ආවා.
ඝරසර්ප මංගල දර්ශනය බලන්න කවින්ද්‍යා වගේම සමිතාත් ආවනෙ... දුවගේ රංගනය ගැන මොකද හිතුණේ...?
ගොඩක් සතුටු හිතුණා. ඇත්තටම මගේ ඇස්වලට කඳුළු ආවා. ඒ සතුටු කඳුළුයි. මගේ දරුවා වෙනුවෙන් තමයි ඒ කඳුළු ආවේ. මම බලාපොරොත්තු වුණාටත් වඩා එයා හොඳට රඟපාලා තිබුණා. කවීගේ මේ පළමු රංගනයයි. ඇත්තටම මුළු චිත්‍රපටයම මමයි පුතායි හරිම ආසාවෙන් බැලුවා.
කවින්ද්‍යා රූපගත කිරීම් කළ හැම දවසකම ඔබත් ගියාද...?
මෙහෙමයි. හැම දවසකමනම් යන්න ලැබුණේ නෑ. මම බාරගත්තු සමහර වැඩ නිසා සමහර දවස්වලනම් මම ගියේ නෑ. හැබැයි ඒ මම ගිය නැති දවසට එයාගේ තනියට අපේ සහෝදරියක් ගියා. මම ගිය හැම දවසකම කවීගේ මල්ලිත් ඒ රූපගත කිරීම් බලන්න ගියා.
අක්කා රඟපාද්දී මල්ලි මොකද කිව්වේ...?
අපි දෙන්නා ෂූටිං බලන්න ගියාම කවී ගොඩක් සතුටු වුණා. කොහොමටත් අපි තුන්දෙනා හරිම එකතුයි. ගෙදර ඉඳිද්දී අක්කායි මල්ලියි හරිම යාළුයි. කවී මල්ලිට හරි ආදරෙයි. මල්ලිත් කවීට හරි ආදරෙයි. ඉතින් මල්ලි ෂූටිං බලන්න ආවම කවී සතුටු වුණා. හැබැයි එක දෙයක් කියන්නට ඕනෙ. මමවත් මගේ දරුවන් දෙන්නවත් කිසිමදෙයකට ගොඩක්ම ගොඩක් සතුටුවෙන තුන්දෙනෙක්නම් නෙමේ. අපි තුන්දෙනාම හරිම මධ්‍යස්ථව ඉන්න තුන්දෙනෙක්. කිසිමදෙයකට ඕනෑවට වඩා සතුටු වෙන්නෙවත් දුක් වෙන්නෙවත් නෑ.
කවින්ද්‍යාගේ රඟපෑම ගැන චිත්‍රපටය නැරඹූ අය මොකද කිව්වේ...?
එදා මංගල දර්ශනය බලන්න ඇවිත් හිටපු හැමෝම කවී හොඳට රඟපාලා තියෙනවා කියලා තමයි කිව්වේ. ජයන්ත අයියා ගොඩක් කවීව අගය කළා. ඒ වගේම ජැක්සන් අයියා ගොඩක් වර්ණනා කළා. එයාගේ කටහඬ තමයි කවීට යොදලා තිබුණේ. ඉතින් ජැක්සන් අයියගේ හඬට ගැලපෙන විදිහටම කවී රඟපාලා තිබුණා කියලා කිව්වා. ඉතින්... ඇත්තටම එදා චිත්‍රපටය බලපු හැමෝම කවීව අගය කළා. ඒ ගැන ඇත්තටම සතුටුයි.
කවින්ද්‍යා රඟපෑ ඔබගේ හිතට වඩාත්ම දැනුණු කොටසක් තියෙනවද...?
ඇත්තටම කවී රඟපෑ හැම කොටසක්ම මගේ හිතට තදින්ම දැනුණා. ඒ හැම කොටසක්ම මට විශේෂයි.
කවින්ද්‍යා දිගටම සිනමාවට සම්බන්ධ වෙයිද...?
ඇත්තටම ඒක තීරණය කරන්න මම කවීට බාරදෙනවා. මට මගේ දරුවන් දෙන්නා ගැන විශ්වාසයි. ඒ දෙන්නා හොඳ දෙයක් කරන දරුවන් දෙන්නෙක් කියන විශ්වාසය මගේ හිතේ තියෙනවා. ඒ නිසා කවී හොඳ තීරණයක් ගනීවි.
► Text – Dishani / Pic - Internet