2018 ජුලි 07 වන සෙනසුරාදා

ගෑනුන්ට ඔය තදියම එන්නේ හඳත් එක්ක

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 280

කර්ම භූමි-16

එදා රෑ මුළු ගෙදරම මහා කලබලයක්. මම නිදිමරගාතේ කොහු බේරෙන මෙට්ටයේ අනික් පැත්තට හැරුණා විතරයි කවුදෝ ඇවිත් මාව කීද්දුවා. 
කෝ නැගිටපන්.. නැගිටපන්...
මොකද තාත්තේ මේ මහ රෑ?

ඇයි උඹට ඇහෙන්නේ නැද්ද කුඩම්මා විලි රුදාවෙන් කෑ මොර දෙනවා..? පලයන් ගිහින් කරත්තයක් හරි අරන් වරෙන් කුඩම්මව ඉස්පිරිතාලෙට අරගෙන යන්න. 
මේ මහ රෑ මම කොහෙන් කියලා වාහන හොයන්ටද තාත්තේ? 

ඒ ගෑනි දාලා මම කොහොමද ගෙදරින් එළියට යන්නේ.. පලයන් පලයන් විගහට... අහල පහල ගෑනියකුත් එක්ක වරෙන් හැකි විගහට... කෝ ගල් මූසලයා වගේ නිදාගෙන ඉන්නෙ නැතුව කිව්වම අහලා පලයන් ඉතින්.. 
මම එහෙට මෙහෙට විසික් වෙවී ඇඳෙන් නැගිට්ටා. තාත්තා ඒ ටිකටත් ආයෙත් කුඩම්මා ළඟට ගිහින්. මොන මළ සමයමක්ද මේ.. ගෑනුන්ට ළමයි හම්බෙන්නෙත් යක්කු ගස් නගින වෙලාවටද අප්පා.. ඒකෙන් මේකෙන් මට නිදා ගන්නත් නෑ.. ෂික් මොන කරුමයක්ද මන්දා.. මගෙ අම්මටවත් පේන්නෙ නැද්ද මම විඳින දුකක්.. වේදනාවක්... ඇයි අම්මාවත් මේ කුඩම්මාගේ වදෙන් මාව බේරා ගන්නේ නැත්තේ...? මම අඳින්න කමිසයක් හෙව්වෙත් තනියෙන් කියවා කියවා. 
කෝ උඹ තව ගියෙ නැද්ද? ඒ අස්සේ තාත්තා කෑ ගහනවා ඇහුණා. 

මම ගෙයින් එළියට බැස්සේ රෑ කළුවරේ තනියම ඇවිදින්න තිබුණු බයේ ගැහි ගැහී... මේ මහා රෑ මම කොහෙන් කියලා වාහන හොයන්නද? කාට කියලා කතා කරන්නද? මිනිස්සු ගොරවා ගොරවා නිදියන වෙලාව... මාව ගෙදර තියලා තාත්තා එන්න එපැයි... කළුවර හරි ඝනකම් විදිහට ඉහිරිලා තිබුණා... ඒ කළුවර මකන්න හඳවත් රෑ අහසට ඇවිත් තිබුණේ නෑ. තරු හරි මලානික විදිහට අහසේ තැනින් තැන ඉහිරිලා තිබුණා. කවුදෝ පිටිපස්සෙන් එනවා එනවා වගේ දැනෙද්දී හොල්මන් අවතාර ගැන තිබුණු බයත් එක්ක මම එකපාරටම දුවන්න පටන් ගත්තා. දුවලා ගිහින් ඉස්සරෝම හම්බවුණ ගෙදර දොරකඩ ළඟ නතර වුණත් ඒ ගෙදර ඉන්නේ කවුද කියලවත් මම දැනගෙන හිටියේ නෑ... මම ඒ ගෙදර දොරට තඩිබාගෙන තඩිබාගෙන ගියා...
මොන යකෙක්ද මේ රෑ මේ දොරට තඩි බාන්නේ?
මම...... ම..... මම අමර්..
මොන අමරෙක්ද?
සමර්කාන්ත් ලාලාජීගේ පුතා අමර්...
ආ.. ආ.. මේ අපේ සමර්කාන්ත් මහත්තයාගේ..
ඔව්.. ඔව්.. හදිස්සියක් ඉක්මනට දොර අරින්න.
මැදිවියේ පිරිමියෙක් ඇවිත් දොර ඇරියේ ඇස් දෙකේ කබ ගුලි පිහදාන ගමන්...
මේ ගෙදර නැන්දා කෙනෙක් නැද්ද මාමේ?
ඒ මොකටද?
අපේ කුඩම්මාට දරුවෙක් ලැබෙන්න යනවා කියලා තාත්තා කීවා ගෑනු කෙනෙකුයි වාහනේකුයි අරන් එන්න කියලා.
අපේ ගෑනි පහුගිය පෑවිල්ල කාලේ මැරුණනේ බං.. දැන් ඉන්නේ මම විතරයි. උඹද මේ මහ රෑ ගෑනු හොයන් එන්න කියලා තාත්තා එව්වේ? යස මිනිහා සමර්කාන්ත් මහත්තයා.. හිටපිය මම එන්නම් උඹේ තනියට.. යමං නිර්මලාගේ ගෙදරට.
නිර්මලා කීවේ?
උඹට ඒ පණ්ඩිතකම්වලින් වැඩක් නෑනේ... කෝ හිටපං හුළුඅත්තක් පත්තු කරගන්නකම්. කෑලි කපන්ට කළුවර. හඳත් නැති දාක උඹේ කුඩම්මට අමාරුව ආව එකයි පුදුම.. ගෑනුන්ට ඔය තදියම එන්නේ හඳත් එක්ක කියලා මම හිතන් හිටියේ.
තාත්තා කිව්වා කුඩම්මා අමාරුලු.
මොන ගෑනිටද බං විලි රුදා හැදෙද්දි අමාරු නැත්තේ? කෝ පය ඉක්මන් කරපං..
මම ගියා නොවේ දිව්වා.. ඒ ගිහින් ඒ මාමා නතර වුණ ගේ ඉස්සරහා නතර වෙලා ඒ ගෙදර දොරට තඩි බාන්න ගත්තා.
ඔහොම තඩි බාන්න එපා කොල්ලෝ.. මිනිස්සු බයවෙයි. හිටපං මම කතා කරනකම්... එහෙම කියලා ඒ මාමා ඒ ගෙදර මිනිස්සුන්ට කතා කළා.
නිර්මලා.. නිර්මලා... කීප වතාවක් කෑ ගැහුවත් කිසිම හාවක් හූවක් ඇහුණේ නෑ..
යක්ෂ නින්දක්නේ බං.. මේ ගෑනි මැරිලද මන්දා... යමං ඔන්න ඔතනින් ඔය පල්ලෙහා ගෙදරට...
පල්ලම බහින්න අඩිය තිබ්බා විතරයි තෙත කොල ගොඩේ මාව සුරුස් ගාලා ලිස්සලා ගියා.. පොළොවට බර තියලා අඩිය තියපන්කෝ.. කෝ පස්ස පැත්ත මඩ එකයි නේද?
ඒකටනම් කමක් නෑ.
කෝ.. හිටපන්.. නර්මදා.. නර්මදා.. මාමා දෙතුන් විටක් කතා කරද්දි ගේ ඇතුළෙන් කවුරු හරි කතා කළා.
කවුද?
මම කපිල්... කෝ වරෙන්කෝ මේ සමර්කාන්ත් මහත්තයාගේ දෙවෙනි නෝනට විලිරැදාව හැදිලලු.. මේ කොල්ලා ඇවිත් කවුරුහරි ගෑනියක් එක්ක යන්ට කියලා උගේ තාත්තා කීවා කියලා.
මාමා එහෙම කියද්දිම වැඩි වයසක් නැති නැන්දා කෙනෙක් ඇවිත් දොර ඇරියා...
මොකද මාමේ කීවේ.. විලි රුදාව හැදිලා කියලා..
ඔව්.. හනික වරෙන්කෝ යන්ට සමර්කාන්ත් මහත්තයාගේ ගෙදර.
මාමේ තාත්තා කරත්තයක් හරි කමක් නෑ හොයන් එන්න කීවා.
කරත්ත කොහෙද බං මේ රෑ..? වාහනයක් තියෙන ගෙදරක් උඹට මතකද නර්මදා?
මම තනියම දුවලා යන්නම් සමර්කාන්ත්ගේ ගෙදර.. මාමලා යන්න වාහනයක් හොයාගෙන එන්න.
මේ මහ රෑ උඹට පුළුවන්ද තනියම යන්න..?*
මේවා පුරුදු පාරවල්.. මට තනි නෑ..
උඹලගේ තාත්තාගෙත් ලෝබකම්නේ.. නැත්නම් මොකද උඹලගේ තාත්තාට සල්ලි නැද්ද වාහනයක් ගන්න.. මාමා ආඩපාලි කිය කියාම පය ඉක්මන් කර කර පටු පාර දිගේ ඉස්සරහට ගියා..