2018 ජුලි 14 වන සෙනසුරාදා

උඹට කවුද ළමයි වඩාගෙන ඉන්න කීවේ?

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 76

කර්ම භූමි 17

මේ අම්මණ්ඩිටත් පුදුම වෙලාවකනේ විලි රුදා හැදුණේ.. ඔන්න ඔය උඩ ගෙදර තියෙනවා පරණ කාර් එකක් 
ඒ ගෙදරට යන්න මේ කන්ද නගින්න ඕනැද?

ඇයි උඹටත් විලි රුදාවද? මේ වයසක මමත් කඳු නගිද්දී උඹට බෑ මේ ටික නගින්න 
මේ රෑ කළුවරේ කොහොමද මාමේ මේ ගෙවල් ගානේ බඩගාන්නේ? 
යකෝ විලිරුදාවෙන් දඟලන්නේ මගේ කවුරුත්ද?
මගෙත් කවුරුත් නෙවෙයි මාමේ
උඹෙත් කවුරුත් නෙවෙයි.. උඹ මහ යක්ෂ කොල්ලෙක්නේ.. යකෝ ඒ උඹේ කුඩම්මනේ

එයා හරි නපුරුයි මාමේ
මා කුඩා කඳු ගැටය පාමුල සිටියදීම මාමා කන්ද නැග ගියාය. ටික වෙලාවකින් මාමා පැමිණියේ පරණ ඉන්දියානු මොඩලයේ මෝටර් රථයකය.
නැගපන් ඉක්මනට... රියදුරු අසුනේ සිටි තරුණ පෙනුමැති පුද්ගලයා මා හා සිනාසී යළි රිය පණගැන්වූයේය.
එදා රාත්‍රිය ගෙවෙන තුරුම කිසිවකු නිදා ගත්තේ නැත. කුඩම්මා ඉස්පිරිතාලයට රැගෙන ගිය පසු මම වෙන දෙයක් වෙච්චදෙන් කියා ගොස් ලී කැඩී ගිය ඇඳේ පැත්තක ගුලි ගැසුණෙමි. ඉරී ගිය මෙට්ටය අතරින් මතු වූ කොහු ඇනීමෙන් පිට සියුම් ඉඳිකටු තුඩු ඇනෙන්නාක් මෙන් වේදනාවකින් රිදුම් දෙන්නට විය. තාත්තා රෑ පැමිණ පසුදා උදේ යළිත් ඉස්පිරිතාලයට යාම සඳහා සූදානම් වූයේය.

කඩෙන් පාන් රත්ත්ලක්වත් ගේන්න.. අද දවසටම බත් නෑ
අමු පිටි පාන් කඩේ තියෙන්නේ.. ඒවගේ මැද කටේ ඇලෙනවා 
අනේ උඹෙත් තියෙන මහ ලොකුකම්.. එහෙනම් ඉතින් බඩගින්නේ හිටපන් 
තාත්තා ඉස්පිරිතාලේ ඉඳන් එද්දී කඩේ කෑම එකක් ගෙනාවනම් ඉවරයිනේ 

ඒ මොකටද නිකම් සල්ලි නාස්ති කරන්න
&සල්ලි නාස්ති කරන්න නෙවෙයි බඩගින්නට කන්න
ඇයි උඹට පාන් කැවෙන්නේ නැද්ද? 
කැවෙනවා නෙවෙයි ගිලෙනවා.. මැටි වගේ
තාත්තා කිසිත් නොකියා එළියට බැස්සේය. මා උදෑසන සිට බඩගින්නේය. තාත්තත් කුඩම්මත් හවස් වරුවේ නිවෙසට පැමිණියේ කුලී රථයකය.
මෙන්න අමර්ට නංගි කෙනෙක් 

තාත්තගේ මූණේ තිබුණේ සතුටත් දුකත් මිශ්‍ර හැඟීමකැයි මට සිතුණි.
කෙල්ලන්ට දෑවැදි දෙන්නත් එපැයි.. ගේ දොරේ වැඩ ටිකවත් හොඳට උගන්වන්න තියෙන්නේ මට නම් හුඟක් සතුටු කොල්ලෙක්ම හිටියනම් 
කෙල්ලක් වුණත් කොච්චර වටිනවද? ගෙදරක් සිරියාවෙන් පුරවන්නේ කෙල්ලක්.. මේ මදැයි බත් පින්ගුත්තරයෙක් වගේ කොල්ලෙක් ඉන්නෙ
මට කුඩම්මා දිහා කෙලින්ම බැල්මක් බැලුණා.
මට එහෙම බෑ ඔය ළමයි බලාගන්න.. මට ඉස්කෝලේ වැඩ තියෙනවා

උඹට කවුද ළමයි වඩාගෙන ඉන්න කීවේ?
වඩාගෙන ඉන්න නෙවෙයි... මට බෑ ළමයින්ගේ රෙදි හෝදන්නනම් 
කුඩම්මා අලුත් බබත් අරගෙන ගෙට ගියේ ගස්සාගෙන. අමාරුවෙන් වගේ ඇවිද්දත් කුඩම්මාගේ නපුරුකමේනම් අඩුවක් තිබුණෙ නෑ. මගේ නැගණිය ගැන මගේ හිතේ පුංචි ඊර්ෂ්‍යාවක් මෝදු වෙමින් තිබුණා. ඇයට නම් තැබුණේ නේනා කියලා. මම කුඩම්මා එහෙට මෙහෙට වෙනකම් ඉඳලා නේනා ළඟට ගියා. නේනගේ කම්බුල් මත තිබුණේ ළා රෝස පැහැයක්. ඇස් හරි පැහැදිලියි. මගේ වගේම ලොකුයි. මට පළමු වතාවට මගේ නැගණිය ගැන කියන්න නොතේරෙන ආදරයක් ඇති වුණා.

► අනුවර්තනය : චන්දන වරාවිටගේ &  සංජු