2018 ජුලි 14 වන සෙනසුරාදා

අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින..

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1170

තාත්තා වුණත් 
මා බත සරි කරන 
අම්මා නුඹයි 
මගෙ දරු දැරියන් රකින 

මට පෙර උරුම ආලය දරු කැළට දෙමින් 
රෑ දහවල් දෙකේ වෙහෙසෙන විටදි නොහිම් 
ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින් 
උතුරයි මසිත තව නුඹ වෙත තුරුලු වෙමින් 

බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ 
අතදරු පුතුගෙ මුව කමලෙහි ඇත නිබඳ 
අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස 
නොහැඟෙයි ළඟින් හිඳ මගෙ හිස සිඹින සඳ 

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය     - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය     - පණ්ඩිත් ඩබ් .ඩී අමරදේව

මැක්සිම් ගෝර්කි මගේ මතකයට නැගේ. ඒ ලෝකය නිර්මාණය වී තිබෙන්නේ හිරුගේ කිරණින් සහ මවගේ කිරෙන්යැයි කීවේ ගොර්කී නිසාය. ගෝර්කි කී ඒ හිරුගේ කිරණ ස්වාමියෙකුගේ සෙනෙහස ශක්තියයැයි මට විටෙක  සිතේ. බිරිය මවක වූ පසු ඈ  ළය ලෙය කිරට හැරෙන්නේ ඈ කුස යහන ජනිත දරු පැටවුන් වෙනුවෙන්ය. විශ්වයේ හෙට දවස ඒ හිරු සහ කිරියැයි යන ගැඹුරේ පතුල මම සිඹිමි. මෑත කාලයේ මම කියවූ ළහිරු කිතලගම කවියාගේ කවුළු ඇස පාමුල කවි පොතේ එන කවියක් මගේ මතකයට නිරායාසයෙන් නැගෙන්නේ ඒ පතුල එසේ සිඹිද්දීය. (සමාවෙන්න - පත් ඉරුවේ ඉඩ කඩ සීමිත නිසා ළහිරුගේ පද බෙදීම අනුවම ඒ කවිය ලියන්නට මට බැරිය. එහෙයින් ළහිරු පද වෙන්කළ තැන්වලින් වෙන් නොකර මම ඒ කවිය මෙසේ සටහන් කරමි.)

උයනවනම් බත් කටවල් 
දෙක තුනක් වුව සෑහේ 
බෙදලා දෙනවද හිතවත්කමේ කොළපතක?

ඉඳහිට වෙච්ච වරදක් අතුගා දමන්නට 
ප්‍රේමයේ ඉරටු 
එක්කාසු වෙන්නැතිද 
සමාවේ ඉලපතක? 

කේශනාලිකා දිග හැඟුම් එහෙ මෙහේ නලියන 
ඔය වයසෙදීත් 
කොන්ක්‍රීට් බැමි බැන්දෙ කොහොමද 
එඳෙල් වැනි හදවතක?

අධිවේගීව ගෙවෙන දිනයක අග්ගිස්සෙදී 
ආපසු හැරී බලන විට 
කැලතෙන් නැද්ද 
බොරදියේ නිල් මතක?

තනිකමේ ක්ලාන්තය පණ සුඟ අදින විට 
නූල් ඉහිරුණ ගෝනි මාල්ලක්වත් 
එළා දෙනවද ඔය හිතේ අගුපිලක?


තරුණ ස්වාමියකු තම බිරියගෙන් බලාපොරොත්තු වෙන ආදරය සැලකිල්ල ගෞරවය බෙදාහදා ගැනීම නොලැබී දියාරු වෙමින් යන පසුබිමක ඒ ආත්ම ප්‍රකම්පනය දයාබරව කියන්නට ගත් උත්සාහයක් සේ මට ඒ කවිය හැඟේ. ඉන් එහා ඒ කවිය නිර්වචනය නොකර එහි පතුල විනිවිද ස්පර්ශ කර බලන්නයැයි මම සහෘද පාඨක ඔබටම ඇරයුම් කරමි. දරු පැටවුන්ගේ කිරි සුවඳින් කැදැල්ල පිරී ඉතිරී යද්දී ඒ, දරුවන්ගේ නිමක් නැති හුරතල් කතා දඟකාරකම්වලින් කැදැල්ල ආදරණීය වෙද්දී, දරුවන් වෙනුවෙන් දලුලන සෙනෙහසින් කැදැල්ල තව තවත් උණුසුම් වෙද්දී, බිරියගෙන් තමන්ට පෙර   ලැබුණු සෙනෙහස සැලකිල්ල සහ අනුරාගී බැඳීම් දුරස් වී යතැයි චෝදනා නගන සැමියන්ට, දොස් පරොස් නගන සැමියන්ට තාත්තා වුණත් මා බත සරිකරන අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින ගීතය නවමු ඇසකින්, දයාවේ ඇසකින් දරු සුරතල් අතර සරණ  බිරියක දෙස බලන්නට රචකයා කරන ඇරයුමක් වැන්න. එමෙන්ම මේ ගීයට ප්‍රස්තුත වූ මේ සියුම් සංවේදී නිමිත්ත කලාතුරකින් ගීයකට කවියකට හෝ වෙනත් නිර්මාණයකට වස්තු විෂය වූ නිමිත්තක් බවද කිවයුතුමය.

මා බත සරි කරන.. යන යෙදුමෙන් නිවෙසේ ආර්ථිකයට උර දෙන්නේ, ඔවුන්ගේ ජීවිත භෞතික සැපසම්පත්වලින් මුදුනතක ඔසවා තබන්නට වෙහෙසෙන්නේ නිවසේ ස්වාමියා, දරුවන්ගේ තාත්තා බව කියයි. මා මහා කුළුනක්ව එසේ මගේ ජීවිතය හා බැඳුණු ඒ ජීවිත නගා සිටුවද්දී මගේ දරු පැටවුන් රකින නිවන සනසන දේවතාවිය නුඹම නොවේදැයි අසන්නේ ඒ සැමියාය.


තාත්තා වුණත් 
මා බත සරි කරන 
අම්මා නුඹයි 
මගෙ දරු දැරියන් රකින 

ගී පද රචකයා මේ කියන සැමියා බෝසත් ගතිගුණ හද පිරූ ඉවසිලිවන්ත සැමියෙකි. එහෙත් එවන් බෝසත් ගුණැති සැමියන් මෙන්ම බිරින්දෑවරුද මේ සමාජයේ සුලබ සාධකයක් නොවේ. දරු පැටවුන් ලද්දත් ජීවිතය යුතුකම් වගකීම් අතර කොතෙක් සැරිසැරුවත් සෑම සැමියෙක්ම බිරියක්ම පාහේ සෙනෙහස සැලකිල්ල රැකවරණය උනුන් වෙතින් අපේක්ෂා කරයි. ඒ අපේක්ෂාවන් බිඳී විසිරෙන විට, ජීවිතයේ හා ආදරණීය අනුරාගී හැඟීම්වල ඇති ළතෙත් බව වියැකී යන විට ජීවිතයේ මහා කර්කශ බවක් විඳින වග ඔවුන්ට දැනෙයි. හදවතේ හිස්තැන් පුංචි සිදුරු කාලයාගේ ඇවෑමෙන් මහා කුහර බවට පරිවර්තනය වන බව දැනෙන්නට පටන් ගනියි. ඇතැම්විට ඒ හිස්තැන් ආත්මීය ලෙස දැනෙන බැඳීමකින් පුරවා ගෙන ජීවිතය විඳින්නට හැකි මඟක් සොයයි. හුදෙක් ජීවිතය සම්ප්‍රදායික රාමුවක සිරගතව යුතුකම් වගකීම් ඉටු කිරීමක් පමණක් වූ පසු බහුතරයක් සැමියන් හා බිරින්දෑවරු පත්වෙන මානසිකත්වය මෙය වගට ඇස ගැසෙන සමාජය ඕනෑ තරම් උදාහරණ සාක්ෂි සපයයි. එහෙත් බොහෝ තැන්හිදී හුදු සම්මතයේ නිර්ණායක මත එල්බගෙන ඒකාධිපතිවාදී චින්තනයෙන් ඔවුන් සියල්ලන්ම එකම කුලකයක වැරදිකාරයන් කර ගල් ගැසීම කොතෙක් දුරට සාධාරණදැයි සිතන්නටද ඔබට මම බල කරමි. එහෙත් තාත්තා වුණත් මා බත සරි කරන ගීතයේදී මුණගැසෙන සැමියා තමා කෙරෙන් යම්දුරකට මිදී දරුවන් තමන්ගේ මුළු ලෝකයම කරගත් බිරිය දෙස බලන්නේ අපමණ අධ්‍යාත්මික ප්‍රේමයකිනි.

මට පෙර උරුම ආලය දරු කැළට දෙමින් 
රෑ දහවල් දෙකේ වෙහෙසෙන විටදි නොහිම් 
ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින් 
උතුරයි මසිත තව නුඹ වෙත තුරුලු වෙමින් 

ඇය දරුවන් වෙත කොන්දේසි විරහිතව දන්දී ඇත්තේ පෙර යුගයක පෙර දවසක ඔහු නිවා සනහාලූ ප්‍රේමයයි. ඇගේ වෙහෙස ඔහු ලෙයින් ඇය මේ ලෝකයට බිහිකළ දරුවන්ට යහපත සතුට අරුත පිරුණු හෙටක් හදන්නටය. සැමියා එවන් සිතුවිලි ගඟක කිමිදෙන්නේ ඇය ගැන දොසක් නැගුණු සිතකින් නොවේ. අපිරිමිත භක්තියකින් හා අධ්‍යාත්මික ප්‍රේමයකිනි.

මේ ගීතයේ එන සොඳුරුම දෙපදය මෙයයැයි මට සිතේ.

ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින් 
උතුරයි මසිත තව නුඹ වෙත තුරුලු වෙමින්... 

දුටු මුල් දිනේවත් පළමු හමුවේදීවත් හදේ ඔබ වෙනුවෙන් නොඉපදුණු අසීමාන්තික ස්නේහයක් මගේ හිතේ දැන් උපදින්නේ මානසිකව මා ඔබ වෙත තවත් සමීප කරමිනි. ගී පද රචකයා මේ කියන තුරුලු වීම ශාරීරික තුරුලුවීමක් නොව මානසිකමය තුරුලුවීමකි. ප්‍රේමය යනු රාගය පමණක්ම නොවෙන බව ඒත්තු ගන්වන්නට ගී පද රචකයා මේ පද ඔස්සේ යත්න දරතැයි සිතේ.

බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ...
අතදරු පුතුගෙ මුව කමලෙහි ඇත නිබඳ.. 

ඇගේ සිරුරින් ළය මඬලින් වෑහෙන්නේ කිරි සුවඳය. පුංචි දරු පැටියාගේ කිරි වමනය සුවඳය. බිලිඳු සිරුර තෙත් කළ ළපටි දහදිය සුවඳය. ඒ සුවඳ නුඹ දවස මුළුල්ලේ මගේ දරු පැටවුන් වෙනුවෙන් කරන කැපකිරීම මට පසක් කරයි. නුඹ ගැන බැතිබර හැඟුම් සිතට කාන්දු කරන්නේ ඒ සුවඳය. කිරි කැටියාගේ මුව කමල මත තැවරී ඇත්තේ ද ඔබ දෙසින් හමා එන ඒ මිහිරිතම සුවඳය.

අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස.. 
නොහැඟෙයි ළඟින් හිඳ මගෙ හිස සිඹින සඳ..

තම සැමියා තමන් වෙනුවෙන් කළ කැපකිරීම් කරන, කැපකිරීම් දුන් ජීවිතය ආදරය රුකවරණය ගැන කෘතවේදීත්වයක්, ගෞරවයක්, වටිනාකමක් හදවතේ සදාතනික ඉසව්වක රඳවා ගත් බිරිඳක් සැමියා වෙනුවෙන් යුතුකම් වගකීම් ආදරයෙන් ඉෂ්ඨ සිද්ධ කරයි. එවන් සංවේදී යශෝධරාවකගේ ගුණ හද දරන බිරිඳක කෙරේ සැමියෙකු තුළ වරෙක උපදින්නේ තම මව කෙරේ උපදින තරම් ගෞරව පූර්ව හැඟීමකි. නළලතට දෙන හාදුවක් නොකියා කියන්නේ හදවතේ ඇති ඒ ගෞරවයයි.

මගෙ හිස සිඹින සඳ සොඳුර නුඹ මට තවත් අම්මා කෙනෙකුම මිස බිරිඳක්යැයි නොසිතෙන තරම්ය...

ගීතයේ රස අප මෙවන් ඉසව් කරා රැගෙන ගියත් ප්‍රායෝගික සමාජයේ ඇස ගැසෙන යථාර්ථය වරෙක කටුකය. මෙනයින් සොඳුරු නැත. දයා මෘදු ගුණ හැරුණු විට විටෙක බිරියකගෙන් ලැබෙන්නේ කටුක දෙස් දෙවොල් විය හැක. තේරුම් නොගැනීමේ ආකෘතඥබවේ වාග් ප්‍රහාර විය හැක. විටෙක දරුවන් වෙනුවෙන් වියයුතු යුතුකම්, වගකීම් ඉටු වෙන්නේ බිරිය අතින් නොව දරුවන්ගේ ආච්චිලා සීයලා අතින් විය හැක. සොඳුරු බිරියන් මෙන්ම නරුම බිරියන් ද සොඳුරු සැමියන් මෙන්ම නරුම සැමියන් ද සොඳුරු මව්වරුන් පියවරුන් මෙන්ම නරුම මව්වරුන් පියවරුන් ද අපට මුණගැසෙන්නේ අප ජීවත්වෙන මේ සමාජ සන්දර්භයේදීමය.

නරුම යන වචනය සොඳුරු බවටම පරිවර්තනය වූ ඉසව් ජීවිතයේ සියලු තැන්හිදී කෙසේ වේවා වැඩි තැනකදීවත් මුණගැසෙනවානම්... හුස්මක් වැටෙන හැම ස්ත්‍රී පුරුෂ හදවතකම බලාපොරොත්තුව එයයැයි මට හැඟේ.


► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00