2018 ජුලි 21 වන සෙනසුරාදා

දැහැන

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 159

ජීවිතය කියන්නෙත් Highway එකක්. සංසාරය කියන්නෙත් Highway එකක්. ඒ හැම Highway එකකදීම අපි නොවැරදීම හමු වී ඇති. එහෙම නොවෙන්න විදිහක් නෑ. එහෙම නොවුණානම් මෙච්චර හුරැ සුවඳක් දැනෙන්න විදිහක් නෑ. මෙච්චර මගේකමක් දැනෙන්න විදිහක් නෑ. ජීවිතයේ අනන්ත දුක් වේදනා විඳ දරාගත්ත හදවතකට ඒ කටහඬ අහන්න එක මොහොතක් ප්‍රමාද වුණොත් ජීවිතයම හීතලෙන් ගල් ගැහෙනවා. මෙච්චර කාලයක් හුස්මක් වැටුණා විතරයි. හුස්මක් ගත්තෙ නෑ. දැන් හුස්මක් ගන්නවා. ඒ හුස්මෙ හැමදාමත් දැවටිච්ච  සීතල වෙනුවට දැන් තියෙන්නෙ මහා උණුසුමක්. ඒ උණුසුමේ උපත සරි කරන්නේ ආදරයම මිසක් වෙන කිසිදෙයක් නෙවෙයි. මේ තමයි මගේ ජීවිතය. මගේ සියල්ල. මගේ හුස්ම ............................... මට  වචනවලට එකතු කරන්න බැරි  අනිත් සියල්ල මේ හිස් තිත් පේළියේ හැංඟිලා තියෙනවා.

එදා අපි හිටියෙ ජීවිතය කියන Highway එකේවත් සංසාරය කියන Highway එකේවත් නෙවෙයි. කොළඹ මාතර Highway එකේ. අහස් ගඟ පුරා තරු එහෙ මෙහෙ හැමතැනම. සඳ අපි ගැන කල්පනා කළා වෙන්න ඕනෑ. එයාට ඕනැ වුණේ ඝනකම් කළුවර අස්සෙ අපිව තුරුලු කරන්න. කළුවර කියන්නෙ කවියක්. ඉඳහිටක අපි ඒ කවියේ අරුත් පසිඳින්න ගැඹුරැ හුස්මක් එක්කලත් මතකයි. දකුණු අතින් සුක්කානම හසුරුවන ගමන් වම් අතින් මගේ කරවට දැවටුණා. ඒ හයිය කඩවසම් අත ජීවිතයේ පළමු වතාවට මට කියාදෙන්න පටන් ගත්තු ආදරයේ උණුසුමේ තවත් පරිච්ජේදයක් කියාදෙමින් උන්නා. මගේ දකුණු අත එයාගේ වම් අත අරගෙන සිඹ ගනිද්දී ඒ සිඹ ගැනීම අවසානයේ ඒ ඇස්වලින් ගලාගෙන ගියේ කඳුළු. එයාගේ ජීවිතේ කඳුළු මම කියවලා තිබුණත් මගේ ඇස් ඉස්සරහා වැටුණු එයාගේ කඳුළක් මම මගේ ඇස් දෙකින් දුටු පළමු තත්ත්පරය තමයි ඒ. ඒ කඳුළු අස්සෙ ලොකු කතාවක් තියෙනවා. ඒත් ඒ කතාව ආත්මීයයි. ආත්මීය වෙච්ච දෙයක් අකුරු කරන්න මට සදාචාර අයිතියක් නෑ මට. ඒ මගේ හිතුවිල්ල. ආලවඩන තේරවිල්ල බෝසත්කම සකි ..... Highway එකෙන් කොට්ටාව පිවිසුමට එද්දී වැයුණු ඒ ගී පදය තමයි ඒ ඇස්වලට කඳුළු අරගෙන ආවේ.... සැබෑ ආදරය කියන්නේ බෝසත්කමක්.. ඒත් ඒ බෝධිසත්ව සිතුවිලි... දේවත්වයේ සිතුවිලි.. මනුෂ්‍යත්වයේ සිතුවිලි පිරුණු උත්තරීතර හදවත් අපිට මුණගැහෙන්නේ හුඟක් කලාතුරකින්... ඒ හදවත්වල අයිතිය කියන්නේ මම හිතන්නේ පෙර කුසලයක්... ඒත් ඒ හදවත් කියවන්න ඒ වටිනාකම් තේරැම් ගන්න.. ඒ වටිනාකම් වෙනුවෙන් ඒ හදවත් අස නමස්කාර පූර්වක වෙන්න තරම් සංවේදී වෙච්ච බැතිබර වෙච්ච ඒ හදවත් සංසාර ප්‍රාර්ථනයක් කරගන්න තරම් වන්දනීය වෙච්ච හිත් මුණගැසීමත් එක්තරා අහම්බයක්. ඒ අහම්බය හැබෑවක් වෙච්ච දවසට ප්‍රියානන්ද විජේසුන්දර ලියපු මේ ගී පද ඔයාගේ මතකයට එයි. 

මගෙ ජීවිතේ සතුට රැඳී තිබුණේ 
තව කෙනකුන්ගේ 
නෙත් සඟලේයැයි
හසරැල්ලේයැයි -
සිතුවේ නෑ -
දැනුණේ නෑ
ඔබ දකින තුරා 
මටම හිමිවෙලා මා ළඟ ඉන්න සදා 

මේ කතාව මට කීවේ ජීවිතේට හෙවනැල්ලක් වගේ සමීප යෙහෙළියක්.... ඒ ඇය විඳින ඇගේ ආදරය.....  ආදරය හදවතටම දැනෙන තැන අපි නවතිනවා. කොන්දේසියක් සම්මතයක් සම්ප්‍රදායක් සංස්කෘතියක් මේ අහස පොළොව අතර කිසිම නිර්ණායකයක් ඊට අදාළ නෑ... ප්‍රේමයේ බෝධිසත්ව පාරමිතාවකට ප්‍රේමයම මිස අයිතියක් කුමකටද? ඇගේ ආදරය ගැන මට කියලා ඇය මගෙන් ඇහුවේ එහෙම ප්‍රශ්නයක්. 

මටම හිමිවෙලා 
මා ළඟ ඉන්න සදා.... ඊට වඩා ප්‍රාර්ථනා කරන්න තවත් දෙයක් තියෙනවද?

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00