“Api Machan” කොයි කාලේ ඉඳන් පටන් ගත්තු කණ්ඩායමක්ද?
(අපි මචං) එකතු වෙලා දැන් අවුරුදු දෙකකට කිට්ටුයි. ඇත්තටම මේක මගේ සංකල්පයකට හැදුණු කණ්ඩායමක්. ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ විෂම ආරයකට ගැයුණු ගීත බොහෝමයක් තිබුණු කාලයක් තිබුණා. ඒත් එක්කම එකම ආරයක වීඩියෝ රැල්ලකුත් ආවා. ඒ වීඩියෝ පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න බැරි තත්ත්වයක් තිබුණා. මේ නිසා බොහෝ ගෙවල්වල ගීතයක් යද්දී රෑපවාහිනිය, රේඩියෝව පවා වසා දැම්මා. ඒ නිසා මේ තත්ත්වය පොඩ්ඩක් වෙනස් කරන්න තමයි “අපි මචං”ලා එකතු වෙලා මේ වැඩේ පටන් ගත්තේ.
බොහෝ විට Api Machan පැරැණි ගීතවලට වැඩි කැමැත්තක් දක්වන බවයි පේන්නේ?
ඔව්... ඒක ඇත්ත. Api Machan වැඩිපුරම තෝරාගත්තේ අපේ රටේ පැරැණි ගීත තමයි. පැරැණි ගීත නැවත වතාවක් අපි ගායනා කරද්දී අහන මිනිසුන්ට වඩා ගීත ලියන, ගයන අයට ඒක ආදර්ශයක් වෙයි කියලා හිතලා තමයි අපි මේක පටන් ගත්තේ.
කොහොමද මේ මචං කණ්ඩායම එකතු වුණේ?
ඒ තැන් තැන්වල හමුවුණ හොඳ කට්ටියක් මගේ ඔළුවේ තිබුණා. ඉතින් මේ මගේ වැඩේදී මම ඒ අයට කතාකරලා කියද්දී ඒ හැමෝම හරිම සතුටින් එකතු වුණා. ඉතින් අද (අපි මචං)ලා හත්දෙනයි.
කොහොමද (අපි මචං) වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර?
මුලින්ම (අපි මචං) ගැන දැනගෙන හිටියේ ඉතාමත් සීමිත පිරිසක් විතරයි. හැබැයි (අපි මචං) යම්කිසි මොහොතක ඉතාමත් ජනප්‍රිය වුණා. සමහරැ අපිට කෝල් කරලා (මරු මචං) කියලා කිව්වා. ලංකාවේ කලාව වෙන ඇහැකින් දකින, බොහෝ දෙනෙක් අපිව ප්‍රසංසා කළා. එතන ඉඳන් එකදිගට අපිට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඔය අතරේ සමහරු අපි පැරුණි ගීත ගායනා කරනවා කියලත් එයාලාගේ කනස්සල්ල ප්‍රකාශ කළා. නමුත් අපි ඒවා බොහෝම සුහද ලෙස කතාබහ කරගෙන විසඳගත්තා. මුලදී (අපි මචං) ගීත අහන්න ලැබුණේ යූටියුබ් හරහා පමණයි. නමුත් අද වෙද්දී (අපි මචං) වෙනුවෙන් විවිධ ආරාධනා ලැබෙනවා. ඒ ලැබෙන ආරාධනාවලින් ලැබෙන මුදල් අපි ගයන ගීතවල මුල් නිර්මාණවේදීන් අතරේ සුළු ප්‍රමාණයකින් හෝ බෙදලා දෙන්න පුළුවන් විදිහකුත් අපි දැනට සකස් කරගෙන තියෙනවා. මේ පැරැණි ගීතවල වටිනාකම මෙතකැයි කියන්න බැහැ. නමුත් අපිට පුළුවන් විදිහට ඒ ගීතවලට සාධාරණයක් ලබලා දෙන්න අපි උත්සාහ කරනවා.
(අපි මචං) ලංකාවේ විතරක් නෙමේ පිටරටත් ජනප්‍රියයිනේ... පසුගියදා (අපි මචං) විදේශ ප්‍රසංගයකට සහභාගී වුණා. කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ඔව්.. ලංකාවට වඩා (අපි මචං) පිටරට ජීවත් වන ශ්‍රී ලාංකිකයන් අතරේ හරිම ජනප්‍රියයි. රට අතහැරලා ගියපු ඇතැම් මිනිසුන් ලංකාවේ කලාව පවා අතහැරලයි තිබුණේ. නමුත් අපි විවිධ මාතෘකාවලින් ගීත ගායනා කරපු නිසාම ඒවා ඔවුන් අතරේ ඉක්මණින්ම ජනප්‍රිය වුණා. දැනටමත් අපේ ගීත බොහෝ විදෙස් රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් නරඹනවා. හොඳ ප්‍රතිචාර තිබුණා. අනික අපේ වීඩියෝවල තියෙන්නෙත් ලංකාවේ සුන්දර තැන්. ඉතින් ඒවා දකිද්දී ඒ අයට ලංකාව මතක් වෙනවා. ලංකාවට එන්න හිතෙනවා කියලා කියනවා. පසුගියදා (අපි මචං) ඕස්ට්‍රේලියාවේ ප්‍රසංග දෙකකට සහභාගි වුණා. ඒ අය ගෙවල්වල රාත්‍රී ආහාර පවා ගත්තෙත් අපේ වීඩියෝ එකක් බල බලා කියලයි බොහෝ දෙනෙක් කිව්වේ. ඒ රටවල ජීවත්වෙන අපේ පුංචි දරුවන් පවා අපේ ගීත මුමුණනවා. ඇත්තටම ඒ ගැන හරි සතුටුයි. ඔස්ට්‍රේලියාවේ අපි පවත්වපු ප්‍රසංග දෙකම ඉතා සාර්ථකයි.
(අපි මචං) සමඟ හුස්ම ගන්න මේ ඉරිදට ආරාධනාවක් ලැබිලා තියෙනවා..
ඔව්... (අපි මචං) ලංකාවේ ප්‍රසංග පවත්වලා නැත්තෙ නැහැ. පවත්වලා තියෙනවා. නමුත් ඒ හැමදෙයක්ම කවුරුහරි සංවිධානය කරලා අපිට ආරාධනා කරපුවා. ඉතින් අපිට අපේ අදහස්වලට ප්‍රසංගයක් පවත්වන්න ඕන වුණා. ඒ නිසා අපි අපේ පළමු ප්‍රසංගය පවත්වන්න තීරණය කළා. ඒක ජූලි මස විසි එක්වැනිදා විහාරමහා දේවී එළිමහන් රංග පීඨයේදී පවත්වනවා. ප්‍රසංගයකදී අනුන්ගේ ගීත ගයන කණ්ඩායමක් විදිහට අපේ හිතට දැනෙන දේ අනුව වෙනස් විදිහේ ප්‍රසංගයක් තමයි අපි මෙහදී පවත්වන්නේ. පැරැණි නිර්මාණවේදින්ට අපි මේ ප්‍රසංගයට ආරාධනා කළා. ඔවුන්ට ආරාධනා කරද්දී ඇත්තටම ඔවුන් පුදුමාකාර විදිහට සතුටු වෙලා අපිට ආශිර්වාද කළා. ඇත්තටම ඒක මට හිතාගන්නවත් බැරි සතුටක්. එළිමහන් ප්‍රසංග කලාවට නව අර්ථකථනයක් දෙන්න අපි උත්සාහ කරනවා. ඉතින් මේක වෙනස්ම ප්‍රසංගයක් වේවි. ඔය හදවත පුරා ඒ ගීතවලට රැඳුණු ස්නේහය ආයෙ ආයෙත් අලුත් කරගන්න මෙදිනට පුළුවන් වේවි. ඉතින් ඉදිරියේදී මේ ප්‍රසංගය රට පුරා හුස්මත් එක්ක අරගෙන යන්න අපි තීරණය කළා.
දවස-21 වේලාව - හවස 6.30-9.30 තැන - විහාර මහාදේවි එළිමහන් රංගපීඨය. ඇවිත් යන්න එන්න ඉතින්
Text – Dishani